මරණ දඩුවමෙන් බේරුණු දුමින්ද සිල්වාගේ රට සවාරි තහනම් කරන්න උසාවි යයි

මරණ දඩුවමෙන් බේරුණු දුමින්ද සිල්වාගේ රට සවාරි තහනම් කරන්න උසාවි යයි

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට වරදකරු වී මරණ දඬුවම් ලබා සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතීඥ ගසාලි හුසේන් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වන්නේ නීතිපතිවරයායි.

මරණ දඩුවම් ලබා සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 සහ 34 (1) වගන්තී යටතේ බැවින් එම වගන්තීන්ට අනුව මරණ දඩුවම් ලැබුවන්ට ජනාධිපති සමාව ලබා දීමට ප්‍රථම ඒ පිළිබඳ වාර්තාවක් ඔවුන්ට දඩුවම් නියම කළ විනිසුරුවරුන්ගෙන් කැඳවිය යුතු බවයි පෙත්සමේ සඳහන් වෙන්නේ.

සමාව දීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ජනාධිපති වරයාට පවරා ඇති නමුත්, අධිකරණයෙන් හා නීතිපති වරයාගෙන් උපදෙස් ද, අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ද ලබා ගැනීමෙන් තොරව එම බලය “අත්තනෝමතික ලෙස, අභිමත පරිදි” යොදා ගත නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිට ජූනි මාසයේ යවන ලද ලිපියකින් දැනුම් දී තිබුණි. මරණ දඩුවම ලැබ සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලියේදි මේ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බවයි පෙත්සම්කාර ගසාලි හුසේන් අධිකරණයට දන්වා ඇත්තේ.

කුමන පදනමක් මත සිරකරුට සමාව දුන්නේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පැහැදිලි කිරීමක් කළ යුතු බව ද හිටපු මානව හිමිකම් කොමසාරිස් පෙන්වා දෙයි.

මෙම කරුණු මත දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාවලිය නීතියට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කාර මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, ඒ මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ද ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලා සිටි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට 2016 සැප්තැම්බර් 08 වැනි දින දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. එම නඩු විභාගයට ගැනීමෙන් පසු විත්තිකරුවන් 05 කට මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කොට මරණ දඩුවම් නියම කෙරිණි. තමන්ට මරණ දඬුවම පැනවූ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා සහ තවත් දෙදෙනකු ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් 2018 ඔක්තෝබර් 11 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කරණ ලද අතර ඔවුන්ට කොළඹ මහාධිකරණය පැනවූ මරණ දඩුවම ඒකමතිකව යළිත් අනුමත කෙරිණි.

එසේ මරණ දඩුවම තහවුරු කරනු ලැබ සිටි ආරක්ෂක අමාත්‍යංශයේ අධික්‍ෂණ මන්ත්‍රි ලෙස වත්මන් ජනාධිපති ආරක්‍ෂක ලේකම්ධුරය දරන කාලයේ ඔහු යටතේ කටයුතු කළ දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්ව දැවුරුද්දක් ගතවෙත්ම සමාව දී නිදහස් කර හරින ලදී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න