Language Switcher

V2025

2024ට ලෑස්තියි : බැසිල් කුට්ටම අනයි : තනතුරු කිහිපයක් මෙන්න !

දෙදහස් විසි හතර පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වන විට තම හිතමිතුරන් දේශපාලන සහ ආර්ථික මර්මස්ථානවලට පත්කර ගනිමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එහිදී යම් යම් චෝදනා එල්ලවී ඇති ඔහුගේම හිතවතුන් රජයේ තනතුරුවලින් ඉවත්කර ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියේ වගකීම් වලට අනුයුක්තකර තිබෙන බවත් සියලු දෙනා ම ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කටයුතු කර ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මෙහිදී විශේෂ අවදානයක් යොමුව ඇත්තේ බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ වෙතයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට උතුරේ ආණ්ඩුකාර ධුරය බාරගන්නා ලෙස ජයන්ත කැටගොඩගෙන් කරතිබූ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර අනතුරුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට ජයන්ත කැටගොඩවව පත්කරමින් ලිපියක් එවා ඇතත් ඔහු එම තනතුර ද ප්‍රතික්ෂේප කර ඇත.

උතුරේ ආණ්ඩුකාර චාල්ස් මහත්මිය වෙනුවට ජයන්ත කැටගොඩව ඒ සඳහා පත්කිරීමට නියමිතව තිබුණත් එම තනතුර ඔහු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊට බැසිල් රාජපක්ෂගේ වෙනත් ගෝලයකු පත්කිරීමේ සූදානමක් ගැනත් තොරතුරු වාර්තා වෙයි.

තවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේම ගෝලයෙක් වන විලී ගමගේ වෙනුවට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණේ ආණ්ඩුකාරවරයා කිරීමේ සූදානමක් ගැනත් තොරතුරු වාර්තා වෙයි. ඒ දකුණු පළාත් දේශපාලනඥයන් වන ඩලස් - කාංචන වැනි පිරිස් සමඟ බැසිල් රාජපක්ෂගේ සම්බන්ධතා දුර්වල නිසා බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම රාජා කොල්ලුරේ ඉවත්කර විලී ගමගේව වයඹ ආණ්ඩුකාරයා කිරීමටත් බැසිල් රාජපක්ෂ තීන්දු කර ඇති බවත් වාර්තා වෙයි.

පෙන්නුම් කරන ආකාරයට පළාත් සභා මැතිවරණයක් සඳහා දින නියමයක් නොමැති බැවින් බැසිල් රාජපක්ෂගේ මෙවර සූදානම ආණ්ඩුකාරවරුන් හරහා ක්‍රියාත්මකවීමය. ඒ ලැබෙන පළමු අවස්ථාවේම මහ මැතිවරණයක් සඳහා යාමට විය හැකියි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරය අනුව නම් එළඹෙන හදිසි මහ මැතිවරණයක පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂයි.

එසේම ආණ්ඩුවේ සිටින බැසිල්වාදී කොටස්ද මේ වන විටත් පවසමින් සිටින්නේ තම නායකයා 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ අග්‍රාමාත්‍යවරයා ලෙස බවයි.

මේ අතර ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මෙන්ම කඳවුරේ නායකයා තමන් බවට සිදුකල නොනිල දැනුම්දීමක් ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී බැසිල් රාජපක්ෂ සිදුකළ බවටත් කරුණු වාර්තා වෙයි.

කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන්ට අසුන් පනවන සම්ප්‍රදායක් තිබෙන අතර ඊට අනුව ජනාධිපති අගමැති ලගින්ම අසුන් ගන්නේ ජ්‍යෙෂ්ඨම ඇමතිවරුන් වන අතර ඒ ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙලටයි. එය 1948 සිටම පැවති සම්ප්‍රදායක්..!

එහෙත් ඊයේ , ජූලි 12.. කැබිනට් රැස්වීම සඳහා සහභාගීව ඇති බැසිල් රාජපක්ෂ අසුන්ගෙන ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ අසලම පැවති අසුනේ බවයි වාර්තා වන්නේ. ඊට පෙර පැවති කැබිනට් රැස්වීම් වලදී එම අසුනේ අසුන්ගෙන සිට ඇත්තේ මහාචාර්ය GL පීරිස්. නමුත් ඊයේ GL පීරිස් වෙනත් අසුනකට යොමුකර තිබෙන බවත් දැනගන්නට ඇත.

වඩාත් විශේෂ කරුණ වන්නේ හිටපු කතානායක වගේම ජ්‍යෙෂ්ඨ ඇමති කෙනෙක් වුවත් චමල් රාජපක්ෂගේ අසුනත් කැබිනට් රැස්වීමේ මැද පෙළට යොමුකර තිබීමයි.

ආණ්ඩුව අභ්‍යන්තරයේ පවා අවධානය යොමුව ඇති තවත් විශේෂ කරුණක් වන්නේ , කැබිනට් සංශෝධනයකට පෙරම බැසිල් රාජපක්ෂ තම මුදල් අමාත්‍යංශය ආශ්‍රිත ආයතනවලට පත්කර සිටි පිරිස් මාරු කරන්නට ගෙන තිබීමයි. විශේෂ කරුණ නම් ඔවුන් අතර බැසිල් රාජපක්ෂගේ යාලු මිත්‍රාදීන්ද සිටීමයි.

ඒ අනුව වාර්තා වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස මේ වන විට කටයුතු කරමින් සිටින , කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කිරීමට යාමේ සූදානමයි. එසේම බැසිල්ගේ හොඳම හිතවතෙක් වන අනිල් කොස්වත්තව ලිට්රෝ සමාගමෙන් ඉවත්කර වෙනත් ඉහලම තනතුරකට පත්කිරීමේ සූදානමක් ගැනත් තොරතුරු වාර්තා වෙයි.

මුදල් අමත්‍යන්සේ ආරංචිමාර්ග වලට අනුව රජයේ බැංකු සඳහාත් අලුත් පත්කිරීම් සිදුකිරීමේ සූදානමක් පවතී.

මේ ආකාරයට බසී රාජපක්ෂ වෙතින් ඉහළම තනතුරු ලබන පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණී ගුණරත්නද සිටින බව සඳහන්ය.

එසේම බැසිල් රාජපක්ෂගේ 2024 ජනාධිපති අපේක්ෂක මෙහෙයුම දැනට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට භාරදී ඇති අතර මාතර නිපුණ රණවක මන්ත්‍රීවරයාද සැලකිය යුතු දායකත්වයක් දෙමින් සිටින බවත් වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට බැසිල් සුළඟ හමන්න ගෙන ඇති අතර වහල සෙවිලි කර තිබුණු බොහෝ ටකරන් තහඩු ඒ සුළඟට ගහගෙන යාම අනිවාර්යයක්. දේශපාලන විචාරක අදහස වී ඇත්තේ විමල් ගම්මන්පිළ පමණක් නොව නාමල් ගැන පවා මේ හමුවේ අනාවැකි පැවසීම දුෂ්කරව ඇති බවයි.

කෙසේවෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ බැසිල් අමාත්‍යවරයා තමන්ගේ දේශපාලන කඳවුර දවසින් දවස ශක්තිමත් කර ගනිමින් ජනාධිපති අපේක්ෂාව යථාර්තයක් කරගන්න නොනිදා වැඩ කරමින් සිටින බවයි.

දේශපාලන වාර්තාකරු