(Gamini Muthukumarana): මගේ අලුත්ම කෘතිය "නොනිමි අරගලයක මතක පතී" ඊයේ (සැප්තැම්බර් 13), අපේ ආදරණීය ‘පතී’ සහෝදරයාගේ ගම්පියස වන රාගමදී, ඉතා සංවේදී මෙන්ම අර්ථවත් මොහොතක ජනගත විය.
රාගම ‘හේෂාන්’ ශාලාවට එක්ව සිටි විශාල පිරිස දෙස බලන විට මට සිතුණේ, මේ කෘතිය යනු කාලයක් තිස්සේ අප හදවත් තුළ නිහඬව ජීවත් වූ මතකයන් නැවත සජීවී වචන බවට පත්වීමක් ලෙස ය.
එදා අඳුරු භීෂණ සමයක පතී සමග එකට සිටි, එකට සටන් කළ, එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ අභීත සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුට මෙම කෘතිය ප්‍රදානය කිරීමට ලැබීම ඊයේ දවසේ උත්සවයට වෙනස්ම අරුතක් එක් කළේ ය. කාලය අපෙන් බොහෝ දේ උදුරාගෙන තිබුණ ද, ඇතැම් සටන්කරුවන් ගේ අමරණීය මතකය උදුරා ගැනීමට කාලයට නොහැකි ය. අද ඒ මතකය පොතක් වී ඔබ හමුවේ ඇත.
පිටුවක් පෙරළන විට මතකයක් හමුවේ. තවත් පිටුවක් පෙරළන විට, අතීතයේ මිනිසුන්ගේ හඬ ඇසෙන්නට පටන් ගනී. ඒ සමහර හඬවල් අද අප අතර නැත. ඒ නිසාම මේ පොතට “නොනිමි අරගලයක මතක” යන්න තරම් සුදුසු නමක් තවත් තිබේදැයි මට සිතෙන්නේ නැත. මතකය යනු අතීතය දෙස බලා සිටීම පමණක් නොවේ. සැබෑ මතකය යනු අතීතයෙන් වර්තමානයට ප්‍රශ්නයක් රැගෙන ඒමයි.
ඊයේ දින පැමිණි සහෘදයින් කිහිප දෙනකු ම පොත පිළිබඳව අගනා අදහස් දැක්වූහ. චූලානන්ද සමරනායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ, ගීතිකා ධර්මසිංහ, තිලීණා වීරසිංහ, උදේනි සමන් කුමාර සහ අනුර බමුණුආරච්චි ඇතුළු පිරිසගේ අදහස් හා මැදිහත්වීම් එම අවස්ථාව තවත් අර්ථවත් කළේ ය.
අද පොතක් ජනගත වූවා පමණක් නොවේ. මෙය එක් පරම්පරාවක නිහඬ මතකය, තවත් පරම්පරාවකට අභිමානයෙන් භාර දුන් මොහොතක් විය.
මේ විශේෂ අවස්ථාවට එක්වී අපව දිරිමත් කළ සියලු ම සහෝදර සහෝදරියන්ටත්, ආදරණීය හිතමිතුරන්ටත්, මෙම කෘතිය එළිදැක්වීම වෙනුවෙන් මැදිහත්ව කටයුතු කළ "පතී" සහෝදරයා ගේ සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කීර්ති චන්ද්‍ර ප්‍රනාන්දු Keerthi Chandra Fernando ඇතුළු පවුලේ සියලු ම සොයුරියන්ටත් මාගේ හදපිරි ස්තූතිය පුද කරමි.

මෙතැන් සිට "පතී" කෘතිය මරදාන සූරිය ප්‍රකාශකයෝ වෙතින් ඔබට ලබාගත හැකි ය.
සූරිය ප්‍රකාශකයෝ,
අංක 114, එස්. මහින්ද හිමි මාවත,
මරදාන, කොළඹ 10. දුරකථන: +94 112 693 607

ගාමිණී මුතුකුමාරණ (කර්තෘ)
පතී" ජනගත වූ මොහොතේ විශේෂ අවස්ථා කිහිපයක්






newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
