ඩොලරය 300 ට යයි - දහස් ගණනකට රැකියා අහිමි වෙයි : ඊළඟ අනතුර රනිල් පෙන්වයි !

ඩොලරය 300 ට යයි - දහස් ගණනකට රැකියා අහිමි වෙයි : ඊළඟ අනතුර රනිල් පෙන්වයි !
තේ හා ඇඟලුම් හැර මෙරටට විදෙස් විනිමය ලැබුණු ආර්ථික මූලාශ්‍ර අහිමිව ඇති පසුබිමේ ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් අහිමි වුවොත්  රුපියලේ වටිනාකම බාල්දුවී ඩොලරයකට  රුපියල් 300 ක පමණ මුදලක් ගෙවන්න සිදුවිය හැකි බවත් එසේම රැකියා දහස් ගණනක් අහිමිවීමේ අවධානමක් සම්බන්ධව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක  රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීමක් සිදුකරයි.
 
අදාළ අනතුරු ඇඟවීම සිදුකර යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම ගැන අද  (13) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
 
එම විශේෂ ප්‍රකාශය වීඩියෝවක් හරහා මාධ්‍ය වෙත යොමුකර ඇති අතර එහිදී දැක්වුණ අදහස් පහත දැක්වෙයි.
 
යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. ප්ලස් බදු සහනය 2017 දී ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට අපේ ආණ්ඩුව කටයුතු කළා. බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගළුම් කර්මාන්තයෙත්, ධීවර කර්මාන්තයෙත් ලොකු දියුණුවක් ඇති වුණා.
 
ලංකාවට ලැබුණු මෙම ජී.එස්.පී. ප්ලස් බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුව තුළ අද ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මෙම සහනය නැති වෙනු ඇතැයි අපට අවවාද කරලා තියෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් අපේ සංචාරක ව්‍යාපාරය මේ අවස්ථාවේ අවදානමකට ලක්වෙලා තිබෙන්නේ. නෞකාවේ ප්‍රශ්නයත් සමඟ අපේ ධීවර කර්මාන්තයටත් ගැටළු මතු වෙලා. විදේශ රැකියාවලට යන අය අඩු වෙලා. එම නිසා අපේ විදේශ විනිමය පහත වැටිලා.
 
විදේශ විනිමය අඩුවීමත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාව බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ගත්තා. මේ වන විට අපේ ආර්ථිකයට විදේශ විනිමය ගෙනඒම වෙනුවෙන් ඉතිරිව ඇත්තේ තේ කර්මාන්තය හා ඇගළුම් කර්මාන්තය පමණයි.
එවැනි අවස්ථාවක අපට ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් අහිමි වුනොත් රුපියලේ වටිනාකම බාල්දු වෙලා ඩොලරයකට අපට රුපියල් 300 ක පමණ මුදලක් ගෙවන්න සිදුවේවි. ඒ වගේම රැකියා දහස් ගණනක් අහිමි වෙන්නත් පුළුවනි.
 
මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර ජී.එස්.පී. ප්ලස් සහනය ආරක්ෂා කරන්න වහාම රජය කටයුතු කළ යුතුයි. ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු කරන්න එපා. රට විනාශ කරන්න එපා කියා මම ආණ්ඩුවට කියනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න