පාර්ලිමේන්තුව එක පවුලකට නීති හදන තැනක් වෙලා - අනුර

පාර්ලිමේන්තුව එක පවුලකට නීති හදන තැනක් වෙලා - අනුර

එක පවුලකට සහ එක කණ්ඩායමකට මහා ධනයක් ලබා දීම සඳහා එක් සමාගමකට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරදීමට මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කුමකට දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළේ ය.

ඔහු එම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමිනි.

“එදා හම්බන්තොට වරාය විකුණන විට කිසිදු රාජපක්ෂවරයෙක් පාර්ලිමේන්තුවේ දී ඊට විරුද්ධව කතා කරලා තිබෙනවාද. පුළුවන්නම් එහෙම තැනක් මට පෙන්වන්. මෙය දේශපාලන ව්‍යාපෘතියක් වගේ ම යම් පවුලක ව්‍යාපෘතියක්. මම එලෙස කියන්නේ මෙම ක‍්‍රියාවලියේ මෙරට පැත්තෙන් මෙම පිරිස සිටින විට අනිත් පැත්තෙන් සිටින්නේ චයිනා හාබර් සමගමයි. හම්බන්තොට හෙක්ටයාර එකසිය දාසයක් අනූ නම වසරකට හිමිකරගෙන තිබෙන්නේ ඔවුන්. තව වසර අනූ නමයක් යනකොට අත්සන් කරපු ඔවුනුත් නැහැ. මේ කතා කරන මමත් නැහැ. ඒ වගේ ම මෙය අසා ගෙන සිටින ඔබත් නැහැ.

මෙම චයිනා හාබර් සමාගමට අයත් පුද්ගලික බැංකුවක 013359190 දරන ජංගම ගිණුමක් තිබෙනවා. මෙම ජංගම ගිණුමෙන් 2014-12-12 වැනි දා 981321 දරන චෙක්පත මගින් රුපියල් මිලියන 35ක් නිදහස් කරනවා. ඒ වගේ ම එම ගිණුමෙන් 2015 – 01- 07 වැනි දා 981328 දරන චෙක්පත මගින් රුපියල් මිලියන 25ක් නිදහස් කරනවා. එසේ ම 2015-01-02 වැනි දා 911333 දරන චෙක්පත මගින් තවත් රුපියල් මිලියන 25ක් නිදහස් කරනවා. ඒ වගේ ම 2014-12-31 වැනි දා 981319 සහ 981320 දරන චෙක්පත් මගින් රුපියල් මිලියන පනස් අටක් නිදහස් කරනවා. මේ මුදල් සියල්ල නිදහස් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන්.

පෝට් සිටි ආසන්නයේ තමයි සී අයි සී ටී සමාගම තිබෙන්නේ. මෙම සමාගම තමයි කෝටි ප‍්‍රකෝටි ගණන් වියදම් කරමින් මේ රටේ දේශපාලන චෞරයන් නිර්මාණය කරන්නේ. මා දන්නා ඇතැම් ස්වාමීන් වහන්සේලාට පවා එම සමාගම මුදල් ලබා දී තිබෙනවා. එම නිසා මෙහි ඇත්තේ පාරිශුද්ධත්වය පිළිබඳ හෝ නීතිය පිළිබඳ ප‍්‍රශ්නයක් නෙවෙයි. මෙහි ඉතා කැත වර්ගයේ ගනුදෙනු තිබෙනවා.

මේ මහජනයාගේ දේපල සහ මහජනතාවගේ ධනයයි. යටින් ලැබෙන මුදල් කුට්ටි මත සම්පාදනය කරන නීතියක් තමයි මේ. මම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රී කණ්ඩායමෙන් විමසා සිටින්නේ එක කණ්ඩායමකට එක පවුලකට සමාගමක් විසින් මහා ධනයක් ලබා දී එම සමාගමට ඕනෑ පරිදි පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කර දෙන්න ඔබතුමන්ලා මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කුමකට ද යන්නයි.

(එමනිසා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න