" අපි අවුරුදු 500ක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුරෝපා පාලනයන්ට යටත් වෙලා ඉඳලා නිදහස ලබපු ජාතියක්. ඒ ලබාගත් නිදහස අපිට හරි වටිනවා. අපි අද නිදහස් ස්වෛරී ජාතියක් ලෙස වැජඹෙන්නේ, අයිතිවාසිකම් භුක්ති විඳින්නේ ඒ නිදහස නිසා. නමුත් දේශප්‍රේමය විකුණගෙන බලය ලබාගත් මේ ආණ්ඩුව මොකද කරන්නේ ? ඔබලා ඒ උත්තරීතර නිදහස නේද මේ නැති කරන්න යන්නේ. චීනය ඉන්දියාව ඇමරිකාව මැද අපේ නිදහස පාපන්දුවක් කරන්නද යන්නේ කියන සැකය මතුවෙනවා." යැයි හිටපු රාජ්‍ය මුදල් අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න චෝදනා කරයි.
"මම අහන්න කැමතියි ඔබලා දේශප්‍රේමීන් නම් ඔබලාගේ හෘද සාක්ෂිය මොකද කියන්නේ කියලා ? නැත්නම් ඔබලාට තියෙන්නේ බිල්බෝඩ් දේශප්‍රේමයක්ද ? පේන්න තියෙන විදිහට ඔබලාට තියෙන්නේ බිල්බෝඩ් දේශප්‍රේමයක්." යයනුවෙන් ද ඔහු ප්‍රශ්න කරයි.
මන්ත්‍රීවරයා මේ ආකාරයට ආණ්ඩුව ප්‍රශ්න කර සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ දෙවැනි දිනයට පැවැත්වෙන කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත් කෙටුම්පත් විවාදය ආරම්භ කරමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
බිල්බෝඩ් දේශප්‍රේමීත්වයේ තරම : ව්‍යවස්ථාව කඩපු පණත ගෙනාවේ ජනාධිපති !
මේ බිල්බෝඩ් දේශප්‍රේමීත්වයේ තරම කියන්නේ , කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ පනත් කෙටුම්පත තුළ, එක පනතක් වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 26 වතාවක් උල්ලංඝනය කරලා. වරක් දෙවරක් නෙවෙයි 26 වතාවක්. අවාසනාව කියන්නේ මේ පනත ඉදිරිපත් කරේ ජනාධිපතිතුමා.
නව වතාවක් ජනමතවිචාරණයකට යන්න වෙන තරමට උල්ලංඝනය කරලා , 17 වරක් තුනෙන් දෙකක බලයක් අවශ්‍ය තරම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. පෙනුනා නේද ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය.
කෝ ඔබලාගේ දේශප්‍රේමිත්වය ? ඔබලාගේ හෘද සාක්ෂියට මොකද වුණේ ? රටේ ස්වෛරීත්වය නේද නැති කරන්න ගියේ ? එක දවසයි අවස්ථාව තිබුණේ, මේ රටේ ස්වෛරීත්වය නැති කරන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව නොදෙන්න පනතත් එක්ක ස්වෛරීත්වයේ මළගමත් සිදුවෙන්න තිබුණා.
අපි වරාය නගරයට විරුද්ධ නෑ : හැබැයි අපි කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත් කෙටුම්පතට විරුද්ධයි !
හරි පැහැදිලිව කියන්න ඕන අපි වරාය නගරයට විරුද්ධ නෑ. ඒක අපි අවධාරණයෙන් කියනවා. හැබැයි අපි කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත් කෙටුම්පතට විරුද්ධයි. අපි නිවැරැදි බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය තුළ තහවුරු වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ සලකා බැලුවේ පණත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද ? නැද්ද ? යන්න පමණයි.
දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන අනූව පනත සම්මත කරන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. නමුත් ප්‍රශ්නය ඉවර නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ කටයුත්ත සිදුවෙලා තියෙනවා. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුත්ත සිදුකරන අවස්ථාව. එතනදී ව්‍යවස්ථානුකූල වීම පමණක් ප්‍රමාණවත් නෑ. මේක ඓතිහාසික වගේම තීරණාත්මක පනතක්. අන්න ඒ නිසා මේ පනතේ අරමුණ, ප්‍රශ්න ගැන අපි අනිවාර්යයෙන් සළකා බලන්න ඕන. දේශපාලන, සමාජීය, ආර්ථික, වගේම විදේශ සම්බන්ධතා ගැන සලකන්න වෙනවා. ජාතික අභිලාෂය අනූව ප්‍රතිපත්තිය සකස්කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක්.
දැන් බලන්න මේ වරාය නගර ආර්ථික කොමිසමේ අරමුණු මොනවාද ?
- One stop shop - අනුමැති සියල්ල එක තැනකින් ඉක්මනින් කරගන්න අවස්ථාව සැලසීම,
- විශේෂ ආර්ථික කලාපය වෙනුවෙන් ආයෝජකයන් ආකර්ශනය කරගැනීම
- රටට ඒ හරහා ලැබෙන ආර්ථික ප්‍රථිලාභ සහ රැකිරක්ෂා ඇතිවීම.
වරාය නගර ආර්ථික කොමිසමේ අයිතිය කාටද ?
මෙහෙම අරමුණු පෙළගැස්සුවට ලොකු ගැටළුවක් තියනවා, මේක කාටද අයිති කියන එක සම්බන්ධව. දැනට තියෙන්නේ රුපියල් මිලියන 400 ක අරමුදලක්. ඒක විදේශ අයිතියක් විදියට තියෙන්නේ. ඒක සුදුසු නෑ.
මේ වරාය නගර ආර්ථික කොමිසමේ, වාණිජ භාෂාවෙන් කිව්වොත් මේ කොම්පැනියේ, නැත්නම් ඒ සංස්ථාවේ අයිතිය අපිට, ලංකාවට තියෙන්න ඕන. අන්න ඒ නිසා,මේක අපේ කරගන්න, අපි යෝජනාවක් ඉදිරිපත් කරනවා.
ඒ තමයි අනුමැතියෙන් මේකට මුදලක් වෙන්කරවන්න.එතකොට ඉබේටම ඒක අපේ වෙනවා. මොකද ඒක රජයේ අරමුදලක්. එතන විගණකාධිපති බලයට යටත් වෙනවා.
මේ ගැන අපේ යෝජනා වලදී ඉදිරිපත් වෙයි. ඊළඟ අවධානය යොමුකරන්න ඕන, මෙහි සංයුතිය ගැන. නැත්නම් කොම්පැනියේ, සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධව. එහි දැනට පත්වීම් කරන්නේ ජනාධිපති. අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම සම්බන්ධව තනි පුද්ගලයෙකුට තනි බලයක් ලැබීම ප්‍රශ්නයක්. අපි දන්නවා මීට පෙර ජනාධිපති කරන පත්කිරීම් ව්‍යවස්ථාදායක සභාව හරහා නියාමනය කෙරුණා..
නමුත් දැන් තියන පාර්ලිමේන්තු සභාවේ ඒ තත්ත්වය නෑ. එක පුද්ගලයෙක් සියල්ල පත්කරන, තීන්දු කරන තත්ත්වය මෙවැන්නකට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. රජයන් මාරු වෙනවා. ජනාධිපතිලා මාරු වෙනවා. වගකීමක් වගවීමක් ඇතුව මේ අධ්‍යක්ෂ මණ්ඩල සකස් වෙන්න ඕන. අන්න ඒ නිසා සංයුතිය වෙනස් වෙන්නම ඕන. අපේ සංශෝධනය තමයි, දැන් තිබෙන ක්‍රමය වෙනස් කරලා, 7ක් වෙනුවට අධ්‍යක්ෂ මණ්ඩලයට 9ක් පත්කරන්න. 6ක් නිලබලයෙන් පත්වීමටත් 3ක් පමණක් දේශපාලන වශයෙන් පත්වීමටත්.
එතැනදී මුදල් අමාත්‍යංශයේ ලේකම් හෝ ජේෂ්ඨ නිලධාරියෙක් , ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, නාගරික සංවර්ධන අධිකාරියේ ජේෂ්ඨ නිලධාරියෙක්, මධ්‍යම පරිසර අධිකාරියේ ජේෂ්ඨ නිලධාරියෙක්, විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ ජේෂ්ඨ නිලධාරියෙක්, ලංකා ආයෝජන මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරියෙක් ඇතුළු 6 දෙනෙකු නිල බලයෙන් පත්වෙන්න ඕන. එතකොට තමයි වගකීමක් වගවීමක් ඇතුව කටයුතු සිදුවෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ.
නිලබලයෙන් මේ සංස්ථාවට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් බහුතරය පත්විය යුතුයි : එය අනිවාර්යයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.
එහෙම නැතුව බහුතරය ලාංකිකයන්, ප්‍රධානියා ලාංකිකයෙක් වගේ කතා මෙතැනදී වැදගත් වෙන්නේ නෑ.
මොකද එක පුද්ගලයෙක් කරන පත්වීමක් නම් කතා කරලම වැඩක් නෑ. අන්න ඒ නිසා නිලබලයෙන් මේ සංස්ථාවට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් බහුතරය පත්විය යුතුයි. එය අනිවාර්යයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.
ඊළඟට මේ ගරු සභාවේ අවධානය යොමුකරන්න කැමතියි,වරාය නගර ආර්ථික කොමිසමේ නියාමනය සම්බන්ධව. අක්වෙරළ බැංකු කටයුතු ඇතුළු සංකීර්ණ මුල්‍ය ක්‍රියාවලියක් මේ තුළ දියත් වීමට නියමිතයි, අන්න ඒ නිසා මෙරට මුල්‍ය ආයතන නියාමනය වන ආකාරය ඊට අදාළ විය යුතුයි. උදාහරණයක් ලෙස, අපි දන්නවා බැංකුවක් වෙනුවෙන් මේ රටේ අවසර දෙන්නේ මුදල් මණ්ඩලය විසින්.
ඒ බැංකුව නියාමනය වෙන්නෙත් මුදල් මණ්ඩලය හරහා. ඒ ආකාරයට ලංකාවේ තියන නියාමන අධිකාරි විසින් මේ සංස්ථාව නියාමනය විය යුතුමයි.
අපි දන්නවා මේ ලෝකයේ තියන විශේෂ ආර්ථික සහ වෙළඳ කලාප දෙවර්ගයක් තියන බව. එක වර්ගයක් තමයි, ඒකාධිපති පාලන ජුන්ටා විසින් පාලනය කරන රටවල තිබෙන විශේෂ ආර්ථික කලාප. safe haven කළු සල්ලි සුදු කරන්න පහසුකම් සැපයීම ඇතුළුව නීති විරෝධී මුල්‍ය ජාවාරම් සඳහා තමයි ඒවා ප්‍රසිද්ධ. පැනමා පේපර්ස් කියලා පසුගිය සමයේ විකිලීක්ස් හරහා ලෝක ප්‍රසිද්ධ වුණේ එවැන්නක්.
නමුත් තවත් විශේෂ ආර්ථික සහ වෙළඳ කලාප තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් සහිත ශිෂ්ට සම්පන්න රටවල. ඒවයේ ක්‍රියාත්මක වෙන්නේ Know Your Customer (KYC) ක්‍රමය.
ඒවායේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධව නීති තියනවා, ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් පොම්ප කිරීමට අවස්ථා අහුරා, නීති රීති හරහා ආරක්ෂණ ක්‍රමවේද සකසා තියෙනවා. ඒවට තමයි ලෝකයේ පිළිගැනීමක් තියෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරනවා, මේ වරාය නගර ආර්ථික කොමිසමේ නියාමනයට අදාළ කාරනා පැහැදිළිව දක්වන්න කියලා.
ඒ වගේම අවශ්‍ය කරුණක් තමයි, මේ තුළ පොලිස් සහ නාවුක මුරපොලක් ස්ථාපිත කිරීම.මේ දේවල් ඉල්ලන්න වෙලා තියෙන්නේ, රටේ ස්වෛරීත්වය ගැන අබමල් රේණුවක් තරම්වත් නොසළකා මේ පණත ඉදිරිපත් කළ නිසයි. අපේ භූමී ප්‍රමාණය අප සතු වෙන්න ඕන, වෙනසක් වෙන්න බෑ.
ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතීන් කිසිවක් මේ තුළ උල්ලංඝණය වෙන්න බෑ. වරදක් සිදුවුණාම, අල්ලස දුෂණයේ සිට ඕනෑම කරුණක් සම්බන්ධව අපේ රටේ නඩු කියන්න, අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්න ඕන.
ශ්‍රේෂ්ඨාධිකරණය පවා පළාත් සභා මේ වන විට අක්‍රීය නිසා ඒ ගැන නොතකා තිබෙනවා : බලය බෙදීමේ මූලධර්මය නොසළකා කටයුතු කර තිබෙනවා !
දැන් බලන්න, සාමාන්‍යයෙන් මෙවැන්නක් සඳහා අවසර දෙනකොට පළාත් සභා වල ඒ නියමිත අනුමැතිය ගන්න ඕන. නමුත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පවා පළාත් සභා මේ වන විට අක්‍රීය නිසා ඒ ගැන නොතකා තිබෙනවා.
එය සුදුසු දෙයක් නෙවෙයි. පළාත් සභා අක්‍රීය වෙලා තිබීමට වගකියන්න ඕන මේ පාර්ලිමේන්තුව. ඒ නිසා බලය බෙදීමේ මූලධර්මය නොසළකා කටයුතු කර තිබෙනවා. එය විය නොයුත්තක් බවයි අපේ හැගීම. කණගාටුවට කරුණ දේශප්‍රේමී කියන මහත්වරු, මේ පනතේ තියන one country two systems එකට එකඟ වුනේ කොහොමද කියලයි.
ලංකාවේ නියාමන අධිකාරි නොතකා කටයුතු කරන්න, පාර්ලිමේන්තු බලය, මුල්‍ය බලය මේ ආදී බලතල නොදන්නා අය ඉන්න ආයතනයකට දෙනකොට බිල්බෝඩ් දේශප්‍රේමීන් සද්දයක් නෑ. අනේ, ඒත් අපේ රටේ සහෝදර ජනතාවට බලය බෙදීමක් කරන්න හැදුවොත් බලන්න ඕන එතකොට. ඕක තමයි බොරු දේශප්‍රේමය කියන්නේ.
ඉතාම හදිස්සියේ සම්මත කරගන්න යන්නේ තව අවුරුදු 20-30- වගේ කාලයකින් ප්‍රතිලාභ ලැබෙන්න තියන ව්‍යාපෘතියක්. අපි මතක තියාගන්න අවශ්‍යයි , ඉන්දියන් සාගරයේ, ලංකාවේ පිහිටීමේ, උපායමාර්ගික වැදගත්කම. අපි වගේ මර්මස්ථානයක තියන පොඩි රටකට තියන එකම ආරක්ෂාව තමයි නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය. ඒ වගේම මේ වරාය නගරයේ ප්‍රතිලාභ ලබන්න නම් අසල්වැසි ඉන්දියාවේ වගේම ලෝකයේ ඕන රටක ආයෝජකයන්ට මෙහි අවස්ථාව තියෙන්න ඕන. අපේ විශාලතම අපනයන වෙළඳපොල ඇමරිකාව. ඊළඟට යුරෝපය සහ මැදපෙරදිග. ඉන්දියාවත් විශාල වෙළඳ පොළක්. මේ දේවල් ආරක්ෂා කරගෙන තමයි වරාය නගරය ගොඩනගන්න ඕන. අපේ රට ඒකපාර්ශවීය කරන්න ගිහින් අවධානමේ දාන්න එපා.
දකුණු අතට එක නීතියක්, වම් අතට තව නීතියක්, සම්මත කරන්න උත්සාහ කරන ආණ්ඩුවක් !
අපිට පෙන්න තියෙන්නේ දකුණු අතට එක නීතියක්, වම් අතට තව නීතියක්, සම්මත කරන්න උත්සාහ කරන ආණ්ඩුවක්.
දැන් ජන්ද පොරොන්දුත් අමතක වෙලා. එක රටක් එක නීතියක් කියලා නේද කිව්වේ ? ඔබතුමන්ලා දේශප්‍රේමීන් කියලා ඇවිත් දේශයේ සැබෑ ද්‍රෝහීන් වෙන්නද හදන්නේ ? අපි මේ කටයුත්ත හදිසි නොවී කල්පනාකාරීව කරමු. අද අපි ගන්න මේ තීරණ නුපන් පරම්පරාවටත් බලපානවා. 70 වසරක නිදහස ඇතුලේ ගත්ත තීරණ ගැන විවිධ මත තියනවා. අද මේ පාර්ලිමේන්තුවෙන් හරි තීරණ වගකීමෙන් ගන්න ඕන. ඒ නිසා අපි ඉතා පැහැදිළිව කියනවා, මේ පනතට අදාළ අපේ යෝජනා 8ක් තියනවා. ඒ කරුණු තීරණාත්මකව රටට සහ ජනතාවට වැදගත්. නූපන් පරම්පරා වලටත් වැදගත්. ඒ නිසා එම යෝජනා මේ පණතට ඇතුලත් වෙන්න ඕන කියන ස්ථාවරයේ අපි ඉන්නවා.
මේ යන විදියට ඉදිරියේදී "රට - ජනතාව" කියන වචන වලටත් ඔබලා බය වෙයි !
අද සරල බහුතරයක් ගැන කතා කරන්නේ , මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා තුනෙන් දෙකේ බලය , මහ ජනවරම ගැන, පම්පෝරි ගහපු ආණ්ඩුවක්. අද තුනෙන් දෙකට වගේම ජන වරමටත් බයවෙලා. මේ යන විදියට ඉදිරියේදී "රට - ජනතාව" කියන වචන වලටත් ඔබලා බය වෙයි. ජනතාව අද මේවා ගැන අවධානයෙන් ඉන්නේ.
මතක තියාගන්න, ඔබලාට මේ වරාය නගර ආර්ථික කොමිසම පනත හදිස්සි වුණාට, රටේ මිනිස්සු කොරෝනා වසංගතයෙන් මරබියේ පණ අදිමින් ඉන්නේ. ජනතාව මග බලාගෙන ඉන්නේ වැක්සීන් එක ලැබෙනකල්. ජනතාවගේ ජීවිත ගැන හිතන්න ඕන වෙලාවේ මේ පණත මොකටද ? ඒ නිසා අපි අවධාරණය කරනවා මේ පනත කල්දාන්න කියලා.

