කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පණත් කෙටුම්පත සම්බන්ධව අදහස් දක්වන ජාතික හෙළ උරුමය පක්ෂය "රටේ ජනතාවට, ව්‍යාපාරික ප්‍රජාවට සර්ව සාධරණ ලෙස සැළකීමට මෙම පණත් කෙටුම්පත අපොහොසත් වී ඇති බැව් හෙළිදරව් වී තිබේ. එසේම නීතියේ සාධාරණත්වයට අනුනකූල නොවන බැව්ද කියා ඇත. මේ අනුව, ආණ්ඩුව මෙම පණතම යළි සංශෝධනයකර, පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් අනුමත කරගැනීමට උත්සාහ කෙරේ නම් එය මුළුමනින්ම තවත් අංග විකල පණතකට ඉඩ සැලසීමකි. කූට කුමණ්ත්‍රණයක තවත් දිගුවකි." යැයි චෝදනා කරයි.
ජාතික හෙළ උරුමය පක්ෂය මෙසේ චෝදනා කරන්නේ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන සහ පවතින විවාදාත්මක තත්ත්වය සම්බන්ධව පක්ෂ ලේකම් බන්දුල චන්ද්‍රසේකර විසින් නිකුත්කළ නිවේදනයක් හරහා ය.
ජාතික හෙළ උරුමය පක්ෂය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
පසුගිය අප්‍රේල් 8 දින, ආණ්ඩුව විසින් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පණත් කෙටුම්පත” අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සියල්ල විභාග කිරීමෙන් අණතුරුව ලබාදුන් තීන්දුව, ආණ්ඩුවේ දේශද්‍රෝහී උත්සාහය තීරණාත්මකව පරාජය කිරීමකි.
රටේ ජනතාවටත්, විරුද්ධ දේශපාලන පක්ෂවලටත්, බහුජන සංවිධානවලටත් හොර රහසේ පාර්ලිමේන්තුව තුළින් මෙම දේශද්‍රෝහී පණත් කෙටුම්පත අනුමත කරගැනීමට කැස කැවූ පොදු පෙරමුණ ආණ්ඩුව, රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරයිභාවයත් කෙළසීමට ගත් උද්ධච්ච මුග්ධ උත්සාහය අද වනවිට අන්ත පරාජයකට පත්ව ඇත. එක් වැඩකරන දිනයක් තුළ දී පණතට අභියෝග කළ, මෙරට ජනතාවගේ පුරවැසි අයිතිය වෙනුවෙන් පෙණී සිටි සියළුම විරුද්ධ දේශපාලන පක්ෂ හා බහුජන සංවිධානවලට ජාතික හෙළ උරුමයේ දේශමාමක ගෞරවාදරය පුද කර සිටිමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ද, පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක බලය හැල්ලූ කරමින් ද, රටේ අනුලංඝණීය භූමි භාගයක්, චීන රාජ්‍ය සමාගමක් ඇතුළු විදේශීය ජාවාරම්කාරකරුන්ට කොල්ලකෑම පිණිස ලබාදීමට අනීතික උත්සාහයක යෙදුණු පොදුපෙරමුණු ආණ්ඩුවේ මෙම නින්දිත වෑයම පරාජය කළ, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ එහි ඓතිහාසික තීන්දුවට අපි ගරු කරමු. රටේ ඉහළම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් රට රැක ගැනීම වෙනුවෙන් පෙණී සිටි අගවිනිසුරු ඇතුළු විනිසුරු මඬුල්ලට අපගේ ස්තූතිය පුද කරමු.
ජනාධිපතිවරයාත් ඔහුගේ පොදු පෙරමුණු ආණ්ඩුවත් බලයට පැමිණියේ දේශප්‍රේමී ජාත්‍යාලය වපුරමින් ය. වසරක් ගතවීමටත් පෙර අද එකී දේශප්‍රේමයේ සළු පිළි උනා දමමින්, විදේශීය ආර්ථික බලවතකුගේ අන්ධානුකරණ සුරතලෙකු වීමටත්, එමඟින් රාජපක්ෂ පවුල් පාලනයේ මන දොල සැපුරා ගැනීමටත්, විධායකය ගන්නා නිහින උත්සාහය ගැන තවදුරටත් ජනතාව දැණුවත් විය යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මෙම පණත් කෙටුම් පත, රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝණය කිරීම පමණක් නොව රටේ නීතිමය අණපණත් රැසක් ද නොතකා හැර ඇති බැව් හෙළිදරව් කළේය.
රටේ ජනතාවට, ව්‍යාපාරික ප්‍රජාවට සර්ව සාධරණ ලෙස සැළකීමට මෙම පණත් කෙටුම්පත අපොහොසත් වී ඇති බැව් හෙළිදරව් වී තිබේ. එසේම නීතියේ සාධාරණත්වයට අනුනකූල නොවන බැව්ද කියා ඇත. මේ අනුව, ආණ්ඩුව මෙම පණතම යළි සංශෝධනයකර, පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් අනුමත කරගැනීමට උත්සාහ කෙරේ නම් එය මුළුමනින්ම තවත් අංග විකල පණතකට ඉඩ සැලසීමකි. කූට කුමණ්ත්‍රණයක තවත් දිගුවකි.
බරපතල ලෙස රටම වෙලාගත් කෝවිඩ් වසංගතය පිළිබඳව පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගේ අවධානය යොමු කරගනිමින්, ඒ සඳහා බහුවිධ දේශපාලන සහ පරිපාලන ක්‍රමවේදයක් අනුගමනය කීරීම බරපතල හා අත්‍යවශ්‍ය කරුණක් ව තිබියදී, රටේ අනාගත දේශපාලන ආර්ථිකය හා ජාතික ආරක්ෂාව තීන්දුවන මෙවැනි අණ පණතක් හදිසියේ සාකච්ඡාවට ගැනීම, ආණ්ඩුවේ උද්ධච්ච මුග්ධ භාවය යළි ප්‍රකාශ කිරීමකි. මෙය, මළමිනී මතින් වුව තම දේශපාලන සහ ජාවාරම්කාර බල සම්බන්ධතා ඉටුකර ගැනීමට කරන වෙර දැරීමක් විනා අන් කුමක්ද?. ආණ්ඩුවේ මෙම ජනතාද්‍රෝහී උත්සාහය, ජාතික හෙළ උරුමය බලවත් සේ හෙළා දකිමු.
කොළඹ වරාය නගර කොමිෂම සභා පණත හුදු පරිපාලනමය හා නීතිමය ව්‍යුවහයක් පමණි. එනමුත්, මෙම ව්‍යාපෘතිය මඟින් රට තුළ ඇතිකරන දේශපාලන- ආර්ථික බලපෑම සුළු පටු නොවේ. එය රටට ආර්ථිකමය වාසි ගෙන දෙන ව්‍යාපෘතියක් ලෙස පරිවර්තනය කරගැනීමේදී, සමතුලිත විදේශ ප්‍රතිපත්තියක සහ ප්‍රයත්නයක පිහිටීම ඉතා වැදගත් වේ. එසේම, ලෝක දේශපාලනය තුළ මතුවෙමින් පවතින අලුත් බලඅරගයන්හි ඉත්තෙකු නොවී, අප රටේ භූ දේශපාලන යථාර්ථයන්ට නිසි වටිනාකමක් ලැබෙන පරිදි එය සිදුකළ යුතුය.
මෙම දිවයින, තවදුරටත් ජාතියේ දූ දරුවන්ගේ රුධිරයෙන් තෙත් නොවන සාමකාමී භූමිභාගයක් ලෙස අනාගතයට උරුමකර දිය හැකි, එහි ජාතික ආරක්ෂාව බාහිර බලවේගයන්ගෙන් තර්ජනයට ලක් නොවන පරිදි තහවුරු කළ යුතු භාරදූර කාර්යයක් යැයි සියළු පාර්ශවයන් වගකීමෙන් යුතුව තේරුම් ගත යුතුය. ඒ සඳහා සියළු දේශපාලන පක්ෂ තම වගකීම ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන අතරේ පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගේ අවධානය ඒ සඳහා යොමු විය යුතු බැව්ද දැඩිසේ අවධාරණය කරමු.
ඒ සඳහා මෙම පණත හා ව්‍යාපෘති ක්‍රියාකාරිත්වය, 2019 දී පැවැති රජය විසින් අත්සන් කළ ගිවිසුමට ප්‍රමුඛතාවය ලබා දී, දේශපාලන කුහකකමින් තොරව සහ පටු තීරණ තීන්දුවලින් අත්මිදී රටේ ස්වාධීපත්‍යයත් ආර්ථික සුභ සිද්ධියත් ආරක්ෂා කෙරෙන දිසාවකට යොමුකර ගන්නා ලෙස, ජනාධිපතිවරයා ඇතුළු සියළු වගකිවයුත්තන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

