Language Switcher

V2025

තෙල්දෙණිය ජාතිවාදී ගැටුම් පිටුපස මඩවල පන්සලේ නම

තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික ගැටුමක් ජාතිවාදී කෝලාහලයක් බවට පත්කිරීම පිටුපස චීවරධාරීන් කිහිපදෙනෙකු සිටින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.

බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරන ලෙස මඩවල පන්සලේ සිටින චීවරධාරියෙකුද ප්‍රදේශයේ තරුණයන් කුපිතකරවූ බවට තොරතුරු ලැබී ඇති අතර මේ වන විට ලැබී තිබෙන බුද්ධි තොරතුරු සනාථ කර ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

එසේම සමාජ ජාල මාධ්‍ය යොදාගෙන ප්‍රහාරයට පිරිස් එකතු කළ පාර්ශව, ප්‍රහාරය සම්බන්ධව පටිගතවී ඇති වීඩියෝ දර්ශන වල සිටින පාර්ශව හඳුනා ගැනීම සඳහාද බුද්ධි විමර්ශන නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

මහනුවර ගැටුම් ඇතිකරන්න උත්සාහ කල පිරිසත් ඇවිල්ලා

එසේම පසුගිය සමයේ මහනුවර නගරයේ ජාතිවාදී කෝළාහල සිදුකිරීමට මුලික වූ සිවිල් වැසියන් කිහිපදෙනෙකුද මෙම ජාතිවාදී ප්‍රහාර මෙහෙයවා ඇති බවත් ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද බුද්ධි අංශ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ අතර ජනාධිපතිවරයාද අදාළ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇති අතර අග්‍රාමාත්‍යවරයාද පොලිස්පතිවරයා හරහා ගැටුම් මැඩපැවැත්වීමට නියෝග නිකුත් කොට ඇත.

ගැටුමේ මුල ලොරි- ත්‍රීරෝද රථ රියදුරු ගැටුමක්

දැනට වාර්තා වන ආකාරයට මෙම සිදුවීමට මුල්වී ඇත්තේ බීමත් ත්‍රීරෝද රථ රියැදුරන් තිදෙනෙකු සහ ලොරි රියැදුරෙකු අතර සිදුවූ ගැටුමක් දුර දිග යාමය. ත්‍රීවීල් රියැදුරන්ගේ පහර දීමකින් තුවාල ලැබූ ලොරි රියැදුරා දින 5 ක් පමණ රෝහල් ගතව සිට ඇති අතර පසුව මියගොස් තිබේ.

ලොරි රියැදුරාගේ මරණය සිදුව ඇත්තේ මාර්තු 03 (සෙනසුරාදා) වන අතර ඒ සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භවී ඇත. එසේම මාර්තු 04 (ඉරිදා) වනදාද මුස්ලිම් විරෝධී ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

මිය ගිය පුද්ගලයාගේ අවමගුල 5 වනදාට යෙදී තිබීමත් පසුගියදා අම්පාරේ සිදුවීම්ද හේතු කොට ගෙන තෙල්දෙනිය ප්‍රදේශයේ ආරම්භ වූ ගැටුම දිගන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් දක්වාම වර්ධනය වී ඇත.

ඝාතනයට සැකපිට 4ක් පොලිස් අත්අඩංගුවේ

අදාළ සිදුවීමට සැකපිට ත්‍රීරෝද රථ රියැදුරන් තිදෙනා සහ තවත් අයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර එහෙත් ප්‍රදේශයේ චීවරධාරීන් කිහිපදෙනෙකු සහ තවත් කණ්ඩායමක් එකතුව තරුණයාගේ මරණයට එරෙහිව ජාතිවාදී ප්‍රහාරයක් ආරම්භ කර ඇත.

මේ අතර 04 වනදා පහරදීම් වලට සම්බන්ධව සැක පිට පුද්ගලයන් 24 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයන් නිදහස් කරන ලෙසටද චීවරධාරීන් පෙරටුකරගත් කලහකාරීන් බලපෑම් කර ඇත. පොලිසියට එම පිරිස් විසුරවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරන්නට සිදුව ඇත.

මේ වන විට තෙල්දෙණිය ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදා ඇති අතර 06 අඟහරුවාදා උදෑසන 6 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවු බව පොලිස් මුලාස්ථානය නිවේදනය කර ඇත.

කළාහාකාරීන් හෙව්වෙම ව්‍යාපාරික ස්ථාන

බියට පත් වී සිටින තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ මුස්ලිම් ජනයා එම ප්‍රදේශය අතහැර ගොස් ඇති අතර එම නිවාස රැසක්ද කළහාකාරීන් ගිනිතබා ඇති බව වාර්තා වෙයි.

එසේම කළහකාරී පිරිස් වල ගොදුරු බවට පත්ව තිබෙන්නේම ව්‍යාපාරික ස්ථාන බවත් ජාතිවාදී පදනමින් සිදුවන බොහෝ ප්‍රහාර පිටුපස ඇත්තේ ව්‍යාපාර කටයුතු අඩපන කිරීම බවට විමර්ශන වලදී හෙළිවී ඇති බවද බුද්ධි අංශ ආරංචිමාර්ග අවධාරණය කරයි.