ශ්‍රී ලංකාව පොකුරු බෝම්බ සම්මුතියට එක්වෙයි

ශ්‍රී ලංකාව පොකුරු බෝම්බ සම්මුතියට එක්වෙයි

2018 මාර්තු 01 වෙනිදා සිට ශ්‍රී ලංකාව පොකුරු බෝම්බවලට එරෙහි ඔස්ලෝ සම්මුතියට එක් විය.

පොකුරු බෝම්බ භාවිතය, නිෂ්පාදනය, පැවරීම සහ රැස් කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ නෛතික ලියැවිල්ලට ශ්‍රී ලංකාව අත්සන් තැබූ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සිකුරාදා (මාර්තු 02) නිවේදනය කළේය.

ඒ අනුව පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (ඔස්ලෝ සම්මුතියට) අත්සන් තැබූ 103 වෙනි රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ශ්‍රී ලංකා රජප පවසයි.

යුද ගැටුම් පැවති අවධියේදී ශ්‍රී ලංකාව විසින් පොකුරු බෝම්බ භාවිත කරනු ලැබ ඇති බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, 'ශ්‍රී ලංකාව කිසි දිනෙක පොකුරු බෝම්බ භාවිත කර නොමැති බව සහ ඉදිරියේදී ද භාවිත නොකරන බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය යයි බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත්විය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන සමයේ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද මුක්ත කලාපයට පහර දීමේ දී පොකුරු බෝම්බ යොදා ගත් බව දැක්වෙන ඡායාරූප ඇතුළත් සාක්ෂි තිබෙන බවට පසුගිය කාලයේ චෝදනා එලල්වී තිබුණි.

bomb search

උතුරේ යුද කලාපයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත වෙමින් සිටි කණ්ඩායම්වලට පුපුරා ගිය සහ පුපුරා නොගිය පොකුරු බෝම්බ හමු වී තිබුණු බවට ද මාධ්‍ය වාර්තා පලවී තිබුණු අතර ශ්‍රී ලංකා ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකාව පසුගිය වසර අවසානයේ පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියේ 163 වෙනි රාජ්‍ය පාර්ශ්වය බවට පත්වෙමින් එයට ද අත්සන් තැබීම සිදුකෙරිණි.

2017 දෙසැම්බර් 13 වෙනිදා ශ්‍රී ලංකාව එම සම්මුතියට එක් වූ අතර 'ඔටාවා සම්මුතිය' නැතහොත් 'බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතිය' යනුවෙන් මෙය සාමාන්‍යයෙන් හැඳින්වේ.

'පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතා කිරීම, රැස් කිරීම, නිෂ්පාදනය කිරීම, හා පැවරීම තහනම් කිරීමේ සහ ඒවා විනාශ කිරීම පිළිබඳ මෙම සම්මුතියේ අරමුණ වනුයේ ලොව පුරා පුද්ගල නාශක බිම්බෝම්බ භාවිතය අවසන් කිරීමය.

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන්, 2018 මාර්තු 5 වැනිදා සිට 7 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමටද නියමිතයි.

එහිදී උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයක ද නිරත වීමට නියමිත විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතායතන මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවනු ඇත.

බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා මේ තාක් සිදු කරන ලද කාර්ය භාරය මෙන්ම වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම සඳහා පිළියෙළ කර ඇති සිය සැලසුම් විදහා පෙන්වීමට විශේෂ නියෝජිතවරයාගේ සංචාරයෙන් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න