දැනට ඇති විදුලි ජනන සැලැස්ම අනුව පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමට අපේක්ෂිත විදුලි ධාරිතාවය සියයට 70ක් වුවත් ඉදිරියේ දී එම සැලසුම් වෙනස්කරමින් ඊට වඩා වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමට හැකිවන පරිදි එම සැලසුම් සකස්කරන බව බලශක්ති අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
විපක්ෂ මන්ත්‍රීවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා අද පැවසුවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගන්නා විදුලිය පද්ධතිය තුළට උපරිම අයුරින් ලබාගැනීමට හැකිවන සේ විදුලි සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කරන බවත්, එහි එක් පියවරක් ලෙස සාම්පූර්-කප්පල්තුරෛයි විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය මෙගාවොට් 300 සිට මෙගාවොට් 600 දක්වා වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත්, තවත් විදුලි සම්ප්‍රේෂණ පද්ධති 04ක් ගොඩනැගීමට කටයුතු කරන බව යි.
මෙහි දී විශේෂයෙන් උතුරු 400kV විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ඉදිකිරීම සදහා රජයේ මුදල් ආයෝජනය කරන ලෙස පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානයක උපදෙස් ලබාදුන් අතර සුනිත්‍ය බලශක්තිය හැකි උපරිම ප්‍රමාණයෙන් ජාතික විදුලි පද්ධතිය තුළට ලබාගැනීම මෙහි අරමුණ වන බව ද තව දුරටත් ප්‍රකාශ කළේ ය.
ශාන් මොහොමඩ් - අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
