අද (19) දිනයේ මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිත බව තහවුරු කළ රෝගීන් 15දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
මෙම රෝගීන් 15 ම කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටින පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වු මුළු කොරෝනා රොගීන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ගේ පාලනයක් ගැන ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයින් පවසන්නේ සත්‍යක්ද යන්න කෙරෙහි යළි යළිත් සිතා බැලීමට බලකෙරෙන තත්ත්වයක් පෙන්නුම් කරයි.
නාථ දෙවියන් ගේ උපදෙස් අනුව මැතිවරණයට දින තියන්න එපා - මංගල
මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අද විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දී මූලික ව අවධාරණය කර ඇත්තේ "මැතිවරණයට දින නියම කළ යුත්තේ, නාථ දෙවියන්ගේ උපදෙස් අනුව නොව, විශේෂඥයින්ගේ නිර්දේශ මත" බවත්ය.
එසේම මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කළ යුතුව ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ, කොවිඩ් 19 සටන් කිරීමේ කමිටුවේ සභාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුලු අනෙකුත් විශේෂඥයන් මෙන්ම ඒ අයගේ ලිඛිත නිර්දේශ මත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත පමණක් බව ද ඔහු අවධාරණය කර ඇත.
හිටපු අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
හෙට අප්‍රෙල් මාසේ 20 වෙනිදා කොරෝනා වෛරසයට එරෙහි සටනේ ඉතාමත්ම තීරණාත්මක දිනයක්. ජනතාවගේ මළමිනි මතින් මැතිවරණයකට යනවාද නැද්ද කියන එක මැතිවරණ කොමිසම තීන්දු කරන දිනයක්. තවමත් රජයේ සංඛ්‍යා ලේඛන අනුව පවා තහවුරු කරන්නේ කොරෝනා වෛරසය දිනෙන් දිනම ව්‍යාප්ත වන බවයි.
එපමණක් නොව, නිල නොවන මට්ටමට මෙය ව්‍යාප්ත වන බව යම් අය චෝදනා කරනවා. එසේ තිබියදීත් මළමිනි මතින් හෝ මැතිවරණයක් තියන්නට මේ රජය උත්සාහ කරනවා.
රජයේ උවමනාව අනුව මැතිවරණයක් තියන්නට හදන මේ මොහොතේ, මැතිවරණ සමයේදී කොරෝනා වෛරසයෙන් ඇති විය හැකි සෑම මරණයකටම එවැනි තීන්දුවක් ගතහොත් මැතිවරණ කොමිසම වගකිව යුතු වෙනවා. එම නිසා මැතිවරණයක් තියන්නට පුලුවන් කියන මෙම සටනේ සිටින සියලු ප්‍රධානීන්ද ඒ බව ලිඛිතව මේ රටට සහතික කරන්නට අවශ්‍යයි.
ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා, කොවිඩ් 19 සටන් කිරීමේ කමිටුවේ සභාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඇතුලු අනෙකුත් විශේෂඥයන් මෙන්ම ඒ අයගේ ලිඛිත නිර්දේශ මත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත මැතිවරණ කොමිසම ප්‍රායෝගිකව මැතිවරණයක් තියන්නට හැකි දිනයක් තෝරාගන්නට ඕනේ. රජයේ උවමනාවට හදිසි තීරණ ගන්නේ නැතුව ඇත්ත වශයෙන්ම මැතිවරණයක් තියන්න පුලුවන් දිනයක තැබිම තමයි මැතිවරණ කොමිසමේ වගකීම.
නාථ දෙවියන්ගේ උපදෙස් අනුව වැඩ කරන මේ රජයේ ටයිම් ටේබල් එකට හදිසි දින නියම නොකර ප්‍රායෝගික ඡන්දදායකයන් සහ ප්‍රායෝගිකව මැතිවරණ රාජකාරියේ යෙදෙන සියලු රජයේ නිලධාරින්ට ජීවිත අවධානමක් නැති දිනයක් මැතිවරණ කොමිසම විසින් නියම කරන්නට ඕනේ. එසේ නොවුනොත් දරාගත නොහැකි මරණ සංඛ්‍යාවකට, සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ආසාදිතයන් සංඛ්‍යාවටකට, ළමයින්ගේ ජීවිත අනතුරේ දැමීමට, යළි ගොඩ එන්නට නොහැකි ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් සිදු වන්නට ඉඩ තිබෙනවා. මෙතෙක් කරපු කැපකිරීම් අපතේ නොයැවිමේ වගකීම මැතිවරණ කොමිසම භාරගත යුතු වෙනවා.