කොවිඩ් අස්සේ : මුස්ලිම් විරෝධී වෛරය පැතිරීම වලක්වන පියවර මොනවාද ? එක්සත් ජාතීන් ජනාධිපති ප්‍රශ්න කරයි !

කොවිඩ් අස්සේ : මුස්ලිම්  විරෝධී වෛරය පැතිරීම වලක්වන පියවර මොනවාද ? එක්සත් ජාතීන් ජනාධිපති ප්‍රශ්න කරයි !

කෝවිඩ් 19න් මියයන රෝගීන්ගේ සිරුරු අනිවාර්යයෙන්ම ආදාහනය කරන්නට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව නිසා රෝගීන් සම්බන්ධයෙන් වාර්තා වීමේ අවදානමක් ඇතැයි අනතුරු අඟවන එක්සත් ජාතීන්ගේ සංවිධානය වසංගතය සමග  උත්සන්න වෙමින් පවතින මුස්ලිම් විරෝධී වෛරය පැතිරීම වැලැක්වීමට ගන්නා පියවර කවරේදැයි ද ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබේ. 

මල සිරුරු වල දැමීමට මුලින් තිබුණු අවසරය හතර වැනි වතාවටත් කරන ලද මාර්ගෝපදේශ සංශෝධනයකින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අහෝසි කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ගැටෙන  බව දැනුම් දෙන ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් එම ඉල්ලීම කර ඇත්තේ ආගමික, සුළු වාර්ගික, සෞඛ්‍ය සහ ත්‍රස්ත විරෝධී කටයුතුවලදී මානව හිමිකම් රැකීම ආදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කර ඇති විශේෂඥයන් සිව් දෙනකු විසිනි. 

කෝවිඩ් 19 රෝගයෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු බලධාරීන් විසින් වල දැමීම ඥාතීන්ගේත් මුස්ලිම් ප්‍රජා නායකයන්ගේත් විරෝධයට හේතුවී තිබුණි.

“මුස්ලිම් ප්‍රජාවට අයත් කෝවිඩ් 19 පීඩිතයකු ගේ දේහය පවුලේ සාමාජිකයන් විමසීමකින් හෝ ඔවුන්ගේ කැමැත්තකින් හෝ තොරව 2020 මාර්තු 31 දා මීගමුවේදී ආදාහනය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ හතරවැනි වතාවට සංශෝධනය කරනු ලැබූ බව අපේ වැටහීමයි,” යනුවෙන් එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය පිටු හයකින් යුත් තම ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. 

“කෝවිඩ්-19 සන්දර්භයෙහි ලා ගත් කළ මල සිරුරක් ආරක්ෂිතව කලමනාකරණයේදී ආසාදනය වැලැක්වීම සහ පාලනයට අදාලව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්පාදිත මාර්ගෝපදේශ සමග මෙම සංශෝධනය නොගැලපීම ගැන අපේ අවධානය යොමුවී තිබේ. 

මීට අමතරව, විවිධ ප්‍රජාවන්ද, ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික සිරිත් ද කෙරේ සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ සැලකිල්ලක් නොදැක්වීම හා සංවේදී නොවීම අපි සැලකිලිමත් වී සිටිමු.” ආණ්ඩුවේ ‘හිතුවක්කාර’ තීන්දු ජාතීන් අතර අසමගිය වර්ධනය වීමට මගපාදමින් ගන්නා මෙයාකාර හිතුවක්කාර තීන්දු ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ජාතිකයන්ගේ හා ආගමිකයන්ගේ මූලික මානව අයිතිවාසිකම් වලට හරස්ව යන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය රෝගීන් හඳුනා ගැනීමටද  එය බාධාවක් වනු ඇති බවට අනතුරු අඟවා සිටී. 

“කෝවිඩ් 19 වැළඳී මියයන්නන්ගේ සිරුරු බැහැර කිරීම සම්බන්ධයෙන් හිතුමතේ තීන්දු ගැනීම නිසා තමන්ගේ සමීපතමයන්ගේ අවසන් කටයුතු සහ භූමදාන නිසියාකාර සිදුකර ගැනීමට බැරි වෙතැයි බියෙන් ඥාතීන් සහ ප්‍රජා කණ්ඩායම් කෝවිඩ් 19 ආසාදන වාර්තා කරන්නට මැලි වීමේ ප්‍රතිවිරුද්ධ බලපෑම ඇතිකරන්නටද ඉඩ තිබේ. ප්‍රශස්ත කාරිය වන්නේ අදාළ සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් මෙන්ම වෙනත් සෞඛ්‍ය විශේෂඥයන් සහ පාර්ශවකරුවන් විමසා එවැනි ප්‍රතිපාදන සංශෝධනය කිරීමයි.”

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය දැක්වෙන සිව්වැනි සංශෝධිත මාර්ගෝපදේශ සංග්‍රහය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කර තිබුනේ ලංකා වෛද්‍ය විශේෂඥ විද්‍යාලය සහ වසංගත රෝග ඒකකය සමග හවුලේය.

ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ (IDH) අධ්‍යක්ෂ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රධාන වෛද්‍යවරුන් 14 දෙනකු විසින් සම්පාදනය කරන ලද පිටු 43 කින් යුත් සංග්‍රහයේ එන තවත් උපදේශයක් වූයේ කිසිම තත්වයක් යටතේ හෝ මල සිරුරක් නොසේදිය යුතු අතර එය සීල් කරන ලද මල්ලක දමා මිනී පෙට්ටියක බහා ලිය යුතු බවයි. 

එයද ජාත්‍යන්තර ප්‍රමිතියට පටහැනි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ ජනාධිපතිට සිහිපත් කර දී තිබුණි. 
“මියගිය තැනැත්තා සුදානම් කිරීමේදී, සේදීම, පිරිසිදු කිරීම, කොණ්ඩය සකස් කිරීම, නියපොතු කැපීම හෝ රැවුල බෑම වැනි කටයුත්තක පවුලේ සාමාජිකයකු හෝ ආගමික නායකයකු වැනි පුද්ගලයකු නිරත වීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වලක්වා නැත. කිසියම් පුද්ගලයකු තමන්ගේ චාරිත්‍රානුකූල හෝ ආගමානුකූල හෝ වත් පිළිවෙත් අනුව එසේ කරන්නට තීරණය කළහොත් ගතයුතු ආරක්ෂක හා සෞඛ්‍ය උපදෙස් එයින් ලබා දී තිබුණි,” යි විශේෂඥ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලියු ලිපියේ සඳහන් වේ.

වෛරක්කාරී කතා :
91665685 1111706935851029 1293288500493287424 o                                                      image copyright  Ethics Eye


කෝවිඩ්19 න් ඉස්ලාම් බැතිමතකු මියගිය විට අවම ආගමික චාරිත්‍ර අනුගමනය කොට සිරුරු භූමදාන කිරීමට මුස්ලිම්වරුන් කළ ඉල්ලීම නොතැකීම සමගම, රෝගාතුර වූ හෝ එයින් මියගිය සුළුතර ප්‍රජා සාමාජිකයන් ගර්හාවට ලක් කෙරෙන ආකාරයෙන් ඇතැම් බලධාරීන් විසින් ජාතිය දක්වා හැඳින්වීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය ලක්වී තිබුණි.

“කිසියම් වාර්ගික හෝ ආගමික ප්‍රජාවක් කෝවිඩ් 19 වසංගතයට වගකිව යුතු බවට කෙරෙන චෝදනා හෝ දොස් පැවරීම්  වාර්ගික හෝ ආගමික ගැටුම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිස්සෙන ආකාරයේ වෛරී පණිවිඩ නිකුත් කිරීම හෝ පතුරුවා හැරීම සඳහා උත්සාහ කරන කවරකු හෝ වේවා තරාතිරම නොතකා ඔබතුමාගේ ආණ්ඩුව විසින් තදින් හෙලා දැකීමේ වැදගත්කම අවධාරණය කිරීමටද අපි මෙය අවස්ථාව කරගනිමු,” යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යවන ලද ලිපියේ සඳහන් වේ. 

වසංගතයෙන් මියගිය දෙදෙනකු මුස්ලිම්වරුන් ලෙස කෝවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ නායක හමුදාපතිවරයා විසින් වරක් ජනමාධ්‍ය හමුවේ හඳුන්වා දෙන ලද අතර මුස්ලිම්වරුන් රෝග වාහකයන් ලෙස ඇඟවීමට ප්‍රකට මාධ්‍යවේදීන් හා හිටපු ඇමැතිවරුන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් ගන්නා උත්සාහය බොහෝ දෙනාගේ හෙලා දැකීමට ලක්ව තිබුණි.

“කෝවිඩ් 19 රෝගීන්ගේ හෝ එයින් මළ’වුන්ගේ හෝ අනන්‍යතාව ආරක්ෂා කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඇතුළු වාර්ගික හා ආගමික සුළුතර ප්‍රජාවන්ට එරෙහි වෛරී භාෂණය උත්සන්න වීමේ ඉඩකඩ වැලැක්වීම සඳහා ගන්නා ලද පියවර කරුණාකර දැනුම් දෙන්න,” යි විශේෂ නියෝජිතයන් පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

එක්සත් ජාතීන්ගේ ලිපියට යවන පිළිතුරු හෝ ඊට ප්‍රතිචාර වශයෙන් අලුතින් සම්මත කරගන්නා අණපනත්, රෙගුලාසි හෝ ප්‍රතිපත්ති පැය 48 ක් ඇතුලත එක්සත් ජාතීන් විසින් සිය වෙබ් අඩවියේ පල කිරීමට අමතරව මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන වාර්තාවටද ඇතුලත් කිරීමට නියමිත බව ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.  

එම ලිපිය යවා තුන් දිනක් ගත වෙද්දී සොඛ්‍ය අමාත්‍යවරිය විසින් පල කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් කෝවිඩ් 19 රෝගාතුර වී මියයන්නන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය බව නැවතත් තහවුරු කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න