අතුරුදහන්වූවන්ට සහන සලසන්න : රාජපක්ෂ සහෝදරයන්ට සිහිකැඳවීමක් !

අතුරුදහන්වූවන්ට සහන සලසන්න : රාජපක්ෂ සහෝදරයන්ට සිහිකැඳවීමක් !

කොරෝනා ව්‍යසන සමයේ සහනාධාර සැපයීමේ සැලසුමට අතුරුදහන් වුවන්ගේ පවුල් ඇතුලත් කරගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට යුක්තිය ඉටුකිරීම සඳහා පිහිටුවා ඇති ආණ්ඩුවේ ආයතනය රටේ ඉහලම බලධාරීන්ගේ අවධානයට යොමු කර තිබේ. 

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ජනාධිපති, අගමැති සහ ආහාර බෙදාහැරීමේ කාර්ය සාධක බලකා ප්‍රධානියාට යවා ඇති  ලිපියකින් සිහිපත් කර දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායම් අතරින් ආගිය අතක් නැතියවුන්ගේ සහ අතුරුදහන් වුවන්ගේ දරු පවුල් වඩාත්ම අන්තරායකාරී තත්වයට මුහුණ පා සිටින පිරිසක් බවයි. 

ඒ අතර ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂක අංශ වල සාමාජිකයන්ගේ පවුල්ද ඉන්නා බව OMP ප්‍රධානී සාලිය පීරිස් විසින් ගෝඨාභය, මහින්ද සහ බැසිල් යන රාජපක්ෂ සහෝදරයන් තිදෙනාට අප්‍රේල් 7 දා යවා ඇති ලිපිවල සඳහන් වේ.

Saliya 09“කාන්තාවන්, අඩු ආදායම්ලාභී පවුල් හා සෘජුවම අවදානමට ලක්වූ පුද්ගලයින් සඳහා විශේෂ අවධානය යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීම” ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ වගකීමක් ලෙස ගැසට්ගත කොට ඇති බව OMP කාර්යාලය විසින් පෙන්වා දී ඇත.

“අතුරුදහන් හා ආගිය අතක් නැති බොහෝ පවුල් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් අතර වඩාත් අන්තරායට මුහුණ පා සිටින්නේ පවුලේ එක සාමාජිකයකුගේ දවස් පඩියෙන් ජීවත්වූ වයෝවෘද්ධයන් සහ කාන්තා මූලික නිවෙස්,” බව OMP ප්‍රධානී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ලියු ලිපියේ සඳහන් වෙයි. 

අයවැයෙන් වෙන්කළ මුදල් !

එක් පවුලකට රුපියල් 6000 බැගින් ගෙවීම සඳහා 2019 අයවැයෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි පනහක මුදල අතුරුදහන් වුවන්ගේ ඥාතීන් අතරේ බෙදා හැරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුතුවද පසුගියදා ආණ්ඩුවට ආයාචනය කර තිබුණි. 

OMP ප්‍රධානියා විසින් රාජපක්ෂ සහෝදරවරුන්ට දන්වා ඇති පරිදි අනුමත කර ඇති මුදලින් කිසිත් මේ ආණ්ඩුවේ පාලන කාලය තුලදී අතුරුදහන් වුවන්ගේ පවුල්වලට ලබාදී නැත. 

“OMP වෙත ලැබී තිබෙන තොරතුරුවලට අනුව, රුපියල් මිලියන 11 ක් පමණ වන මුදලක් 2019 නොවැම්බර් 11 දක්වා ප්‍රතිලාභීන් 153කට ගෙවා ඇත,” යි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් ලියන ලද ලිපියේ සඳහන් වේ. 

ඥාතීන්ගේ විස්තර දැනටමත් ග්‍රාම නිලධාරීන් සතුව ඇති බව තම ලිපියෙන් පෙන්වා දෙන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියා රජයෙන් ඉල්ලා ඇත්තේ එම තොරතුරු උපයෝගී කරගෙන කෙටි කාලීන පියවරක් ලෙස වියලි සලාක හෝ ලබා දීමට කටයුතු කරන ලෙසයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න