Language Switcher

V2025

මුඛ ආවරණ නොපැළඳීම ගැන ලෝක මතය වෙනස් අතට !

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීම සදහා මහජනතාවට මෙතෙක් නිකුත් කර තිබූ මාර්ගෝපදේශ වෙනුවට නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයන් මේ වන විට සලකා බලමින් සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුශාසක මණ්ඩලයේ සභාපති මෙන්ම එම සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය ඩේවිඩ් හේමන් විසින් මේ බව අනාවරණය කළ බව ඕස්ට්‍රේලියානු ඒ.බී.සී. ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් දැරූ ස්ථාවරය වන්නේ කොරෝනා රෝගීන්ට සහ ඔවුන් සමග කටයුතු කරන අයට පමණක් මුඛ ආවරණ පැළදීම සුදුසු බවයි.

ශ්‍රී ලංකාව ද දැනට මෙම ස්ථාවරය අනුගමනය කරන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ වෛද්‍ය ප්‍රභා පළිහවඩන මීට පෙර ප්‍රකාශ කළාය. ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ස්ථාවරය වෙනස් කළහොත්, ශ්‍රී ලංකාව එය වෙනස් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් සිය ස්ථාවරය ප්‍රකාශ කර නැත.

සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සැන් ප්‍රැන්සිස්කෝ සරසවියේ ජ්‍යෙෂ්ඨ විද්‍යා පරියේෂකයකු වූ ජෙරමි හොවාර්ඩ්, දකුණු කොරියාවේ සහ ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය සංසන්දනය කරමින් ප්‍රකාශ කරන්නේ, දකුණු කොරියානු රජය සෑම පුරවැසියෙකුටම මුඛ ආවරණ ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමත් සමග කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පහළ වැටුණු බවයි.

එහෙත්, ඉතාලිය මුඛ ආවරණ පැළදීමට මහජනතාව තල්ලු නොකළ අතර, ඉතාලියේ සීඝ්‍රයෙන් කොරෝනා ව්‍යාප්ත වූ බවද ඔහු  අවධාරණය කරයි.

මුඛ ආවරණයක් මිලදී ගත නොහැකි නම් ගෙදර සකස් කර ගන්නා ලද මුඛ ආවරණයක් හෝ පැළදීම ඉතා වැදගත් බව් ජෙරමි හොවාර්ඩ් පෙන්වා දෙයි.

එසේම, සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවයේ ජ්‍යේෂ්ඨ විශ්ලේෂක ජේම්ස් ග්‍රිෆිත්ස් එම ප්‍රවෘත්ති වෙබ් අඩවියට විශ්ලේෂණ ලිපියක් ලියමින් කියා සිටින්නේ "ආසියාව කොරෝනා වෛරසය සහ මුඛ ආවරණ පිළිබඳ දැරූ ස්ථාවරය නිවැරැදි බවත්, ලෝකයේ සෙසු රටවල් ද ඒ අනුව පෙළ ගැසෙමින් පවතින බවත්"ය.

මේ අතර තමන් විසින් නිවසේදී මුඛ ආවරණයක් සකස් කර ගන්නේ කෙසේද? යන්න ගැන වීඩියෝවක් සිය වෙබ් අඩවියට නිකුත් කරමින් සිය ග්‍රාහකයක් දැනුවත් කිරීමට සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය ක්‍රියා කරමින්, මුඛ ආවරණ පැළදීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

කැස්ස සහ කිවිසුම් මගින් වෛරසය විහිදී යා හැකි දුර පරාසය !

මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ වෙනස් කිරීම සම්බන්ධයෙන් සලකා බැලෙන්නේ කැස්ස සහ කිවිසුම් මගින් කලින් විශ්වාස කළාට වඩා වැඩි දුරකට මෙම වෛරසය විහිදී යන බව පර්‍යේෂණ මගින් පෙනී යාම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුශාසක මණ්ඩලයේ සභාපති මහාචාර්ය හේඩන් ප්‍රකාශ කර ඇත. ඒ අනුව කැස්ස මගින් මීටර් හයක් දක්වාත්, කිවිසුම් මගින් මීටර් අටක් දක්වාත් මෙම වෛරසය විහිදී යා හැකි බව පෙනී ගොස් තිබේ.

Donald Trupඅමෙරිකානු සමාජ මාධ්‍ය පුරාද ට්‍රම්ප් ජනාධිපතිවරයා විවේචනයට ලක් වෙමින් තිබේ...

මේ අතර, මුඛ ආවරණ සම්බන්ධයෙන් ඇමෙරිකාව මෙතෙක් දැරූ සිය ස්ථාවරය වෙනස් කර ඇත. ඔවුන් මෙතෙක් දැරූ ස්ථාවරය වූයේද රෝගීන් සහ ඔවුන් සමග කටයුතු කරන අය පමණක් මුඛ ආවරණ පැළදිය යුතු බවයි.

එහෙත්, ඇමෙරිකානු රෝග මර්දන සහ වැළක්වීමේ මධ්‍යස්ථානය ලබා දුන් නවතම උපදෙස් අනුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උණුසුම් අභ්‍යන්තර විවාදයකින් අනතුරුව, ඇමෙරිකාව මුඛ ආවරණ පිළිබඳ මෙතෙක් දැරූ ස්ථාවරය වෙනස් කරමින්, "ඇමෙරිකානු රෝග මර්දන සහ වැළක්වීමේ මධ්‍යස්ථානය කියන බැවින්, කැමති නම් මුඛ ආවරණ පළදින ලෙසත්, එහෙත්, තමා මුඛ ආවරණ නොපළදින බවත්, " ආන්දෝලාත්මක ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු වැසියන්ට දැනුම් දුන්නේය.

මේ ප්‍රකාශයත් සමග එහි ඇති දෙබිඩි බව සී.එන්.එන්. ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය විවේචනයට ලක් වූ අතර, අමෙරිකානු සමාජ මාධ්‍ය පුරාද ට්‍රම්ප් ජනාධිපතිවරයා විවේචනයට ලක් වෙමින් තිබේ.

ලෝක වෙළදපලේ මුඛ ආවරණ තොග පිළිබඳ විශාල අර්බුදයක් !

Coronavirus: China's surgical mask shortage ripples through global ...

මේ අතර, ඇමෙරිකාව මුඛ ආවරණ සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස් කිරීමත් සමග ලෝක වෙළදපලේ මුඛ ආවරණ තොග පිළිබඳ විශාල අර්බුදයක් මතුව ඇත.

ඇමෙරිකානු ෆයිනෑන්ස් ටයිම්ස්, සී.එන්.එන්. ඇතුලු මාධ්‍ය දක්වන ආකාරයට එම අර්බුදය මතුව තිබෙන්නේ ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා රටවල් ඇතුළු රටවල් ගණනාවක් එකී රට වලින් කරන ලද ඇණවුම් වලට අනුව නිෂ්පාදනය කරන ලද මුඛ ආවරණ ඇමෙරිකාව සහ තවත් රටවල් විසින් උදුරා ගෙන ඇති බවට චෝදනා එල්ල කිරීමත් සමගයි.

ප්‍රංශය විසින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙය "මුඛ ආවරණ යුද්ධයක්" ලෙස හදුන්වා තිබේ. ඇමෙරිකානු හැසිරීම "නූතන මුහුදු කොල්ලයක්" බවට ජර්මනිය චෝදනා කරයි. එයට හේතුව වී ඇත්තේ බර්ලිනයේ පොලිසිය වෙත චීනයෙන් ඇණවුම් කළ මුඛ ආවරණ ලක්ෂ දෙකක තොගයක් ඇමෙරිකාව විසින් බැංකොක් වලදී ඇමෙරිකාව වෙත හරවා යැවීමත් සමගයි.

මේ අතර ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය අරන්චා ගොන්සාලෙස් ලායා ප්‍රකාශ කරන්නේ මුදල් ගෙවා ස්පාඤ්ඤ විසින් වෙන් කර ගෙන තිබූ මුඛ ආවරණ තොගයක් තුර්කි රජය විසින් එම රටේ පාවිච්චියට ගැනීම සදහා රදවා තබා ගෙන ඇති බවයි.

මුඛ ආවරණ වර්ග තුනක් තිබේ:

1 - N95:   මේවා ඉතාම හොදින් ගැලපෙන මුඛ ආවරණ වන අතර ඒවා නාසය සහ මුඛය වටා මුද්‍රා තබා කුඩා වායු අංශු වලින් 95% ක්ම නතර කිරීමට හැකි පරිදි සකස් කර ඇත. ඒවා මගින් වාතයේ මීදුම් අංශු ලෙස පවතින වායුගෝලීය වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වනු ඇත. එම හේතුව නිසා, ඒවා සෞඛ්‍ය සේවා සේවකයින් විසින් විශේෂිත වෛද්‍ය ක්‍රමවේදයන් සඳහා භාවිතා කරනු ලැබේ,

2 - ශල්‍ය හෝ වෛද්‍ය මුඛ ආවරණ: මේවා ලිහිල් ගැළපෙන, වඩාත් නම්‍යශීලී ඉවත දැමිය හැකි මුඛ ආවරණ වන අතර ඒවා ද කතා කිරීම, කැස්ස හෝ කිවිසුම් යාමෙන් මුදා හරින විශාල ජල බිඳිති වලට එරෙහිව පලදායී බාධකයක් ලෙස සැලකේ. කොවිඩ් 19 සම්ප්‍රේෂණය වන ප්‍රධාන ක්‍රමය එයයි.

3 - නැවත භාවිතා කළ හැකි රෙදි මුඛ ආවරණ: බොහෝ ස්වේච්ඡා සේවකයන් මේවා බෙදා හැරීම සඳහා මහනවා ඔබ දැක තිබෙන්නට පුලුවන. එක්සත් ජනපදයේ සමහර රෝහල් වෙනත් මුඛ ආවරණ හිඟය හේතුවෙන් අවසාන ප්‍රයත්නයක් ලෙස ඒවා ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, ඒවායේ කාර්යක්ෂමතාව පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කර නොමැති අතර එය රෙදි වර්ගය මත රඳා පවතින බව ටොරොන්ටෝ හි හම්බර් රිවර් රෝහලේ බෝවන රෝග විශේෂඥ සහ කාර්ය මණ්ඩල ප්‍රධානී වෛද්‍ය මයිකල් ගර්දම් පවසා තිබේ.

මුලාශ්‍රය : Face masks debate: WHO consider evidence for widespread face mask use, as US set to change its advice