සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ, පිඹුරෙකු සමඟ නර්ථනයේ යෙදෙන කාන්තාවකගේ වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ මූලික විමර්ශනයකින් අනතුරුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
වනජීවී නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ, මෙම සිදුවීම පසුගිය 2026 මාර්තු 20 වන දින රාත්‍රියේ කොළඹ රෝයල් මාස් එරීනා පරිශ්‍රයේදී පැවැත්වූ "CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය - 2026" තරඟාවලියේදී සිදුව ඇති බවයි. එහිදී එක් අපේක්ෂිකාවක විසින් සිය දක්ෂතා ඉදිරිපත් කිරීම සඳහා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත උරගයකු වන පිඹුරෙකු (Python molurus) යොදාගෙන තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකාරිය මෙම පිඹුරා පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000ක මුදලකට කුලී පදනම මත ලබාගෙන ඇති බවයි. තරඟය අවසන් වූ වහාම සත්වයා නැවත එම පුද්ගලයා වෙත භාර දී ඇති බවද ඇය ප්‍රකාශ කර ඇත.
ආරක්ෂිත සත්වයෙකු මෙලෙස ප්‍රදර්ශනය කිරීම හා සන්තකයේ තබා ගැනීම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 (1) (ඈ) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදකි.
ඊයේ (මාර්තු 24) වනජීවී නිලධාරීන් විසින් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට (අංක 05 අධිකරණය) ඉදිරිපත් කරන ලදී. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක විනිසුරුතුමිය, සැකකාරිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ සත්වයා ලබා දුන් පුද්ගලයා ඇතුළු අනෙකුත් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා බෙල්ලන්විල පිහිටි කොළඹ දිස්ත්‍රික් අඩවි ආරක්ෂක කාර්යාලය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. නඩුවේ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ලබන 2026 මැයි 15 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතයි.


