මේ දිනවල දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල වෙත බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බවත්, එම TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන්නේ නිශ්චිත කාර්යයන් කිහිපයක් සඳහා පමණක් වන බවත්, එබැවින් අත්යවශ්ය අවශ්යතාවයක් පවතින පුද්ගලයින් පමණක් ඒ සඳහා යොමු වන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්රනාන්දු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.
වයස අවුරුදු 18ට වැඩි සැමට ලියාපදිංචිය අනිවාර්යයි
වසර 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ (සංශෝධිත) 102(3) වන වගන්තිය සහ 2023 මැයි 31 දිනැති අංක 2334/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව, 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ හෝ 2024 ජනවාරි 01 දිනෙන් පසු වයස අවුරුදු 18 එළඹෙන සියලුම වාසික පුද්ගලයින් TIN අංකයක් ලබා ගැනීම අනිවාර්ය වේ.
ඒ අනුව, ලියාපදිංචි වන සෑම තැනැත්තෙකුටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් TIN සහතිකයක් නිකුත් කරනු ලබයි.
TIN සහතිකය අනිවාර්ය වන නිශ්චිත කාර්යයන් 8ක්
නමුදු, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දුන් විධිවිධානවලට අනුකූලව 2026 නොවැම්බර් 01 දින සිට ක්රියාත්මක වන පරිදිවලංගු TIN සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන්නේ පහත සඳහන් නිශ්චිත කාර්යයන් සඳහා පමණි:
බැංකුවක හෝ මූල්ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, මෝටර් වාහන බලපත්රය අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, ණය කාඩ්පතක් (Credit Card) ලබා ගැනීම
කාර්යාලවලට නොපැමිණ ඔන්ලයින් (Online) මඟින් අයදුම් කිරීමේ පහසුකම
ඉහත සඳහන් කාර්යයක් සඳහා TIN අංකය අවශ්ය වන පුද්ගලයින් දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණීම වෙනුවට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල ඊ-සේවාවන් (e-Services)අතුරුමුහුණත ඔස්සේ අන්තර්ජාලය හරහා පහසුවෙන් TIN අංකයක් සඳහා අයදුම් කළ හැකිය.
මුද්රිත පිටපත ද නිල සහතිකයක් ලෙස පිළිගැනේ
එමෙන්ම, යම් පුද්ගලයෙකුට දැනටමත් TIN අංකයක් තිබේදැයි දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා පරික්ෂා කර තහවුරු කරගැනීමට ද පහසුකම් සලසා ඇත. සාර්ථකව තහවුරු කරගැනීමෙන් පසුව සපයනු ලබන, ජාතික හැඳුනුම්පත් අංකය (NIC) සහ TIN අංකය පැහැදිලිව දක්වෙන මුද්රිත පිටපතක් ද නිල TIN සහතිකය වෙනුවට අදාළ කාර්යයන් සඳහා බාරගනු ලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
යම් අයෙකු දැනටමත් TIN අංකයක් ලබා ගෙන නොමැතිනම් TIN අංකයක් ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ - සේවාව හරහා (https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHea
der). ඉල්ලුම් කළ හැකි බවද එම කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කළාය.
ජේ.මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
