රනිල්ගේ ආරක්ෂකයාට පහරදීමක්: ඉලක්කය වී තිබුණේ රනිල් ද?
රනිල් නඩුවට පෙනී සිට නැවත අධිකරණයෙන් පිටතට එන අවස්ථාවේ වූ සිදුවීමක් සමාජ මාධ්‍ය මෙන්ම විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය කලඹන්නට හේතු විය.ඒ එක්තරා විද්‍යුත් මාධ්‍ය නාලිකාවක කැමරා ශිල්පියකු විසින් රනිල්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි ආරක්ෂක නිලධරයකුගේ හිසට කැමරාවෙන් පහර දීමයි. පහරදීම සිදුවූ ස්ථානයේ සිට රනිල් සිටි තැනට තිබුණේ අඩි තුන හතරක පරතරයක් පමණි.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සභාපති වජිර කීවේ රනිල් අධිකරණයට එන විට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා නොතිබූ බවට මෙය හොඳම සාක්ෂියක් බවයි. අධිකරණයේ සිට රනිල්ට පෙර එළියට පැමිණියේ අදාළ ආරක්ෂක නිලධාරීන්ය.රනිල් ආවේ ඊට පසුවයි.අදාල පුද්ගලයාගේ ඉලක්කය වී තිබුණේ රනිල් ද?ආරක්ෂක නිලධරයා මඟ හරස් කිරීම නිසා පහර දීම සිදුවීදැයි සැක සංකා මතුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.
වසර 76ක ඉතිහාසය වෙනස් වෙලා!
එමෙන්ම එදින ලැබුණු නඩු තීන්දු වලින් රනිල්ගේ නඩුව කල්යාම, නාමල්ට ඇප ලැබීම,ආදී සිදුවීම් නිසා අදාළ මාධ්‍ය ආයතනය කිපී සිටියාදැයි ඊට පසු දින මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපති වජිර පැවසීය.මෙතෙක් 76 වසරක් චෝදනාව තිබුණේ දේශපාලකයන් පොලිසිය සහ හමුදාව මාධ්‍යයට පහර දෙන බවයි.ඉතිහාසයේ පළමුවරට මාධ්‍යවේදීන් පොලිසියට පහරදීමට පටන්ගෙන ඇත. මේ පහර දීමේ ඉලක්කය පොලිසිය ද රනිල්ද කියා පැහැදිලි සැකයක් තිබෙනවා.යනුවෙන්ද වජිර එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
Rata Next සංවිධානයේ දැඩි කනස්සල්ල සහ අවධානය

අදාල සිද්ධියෙන් පසු Rata Next සංවිධානයද දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කළේය" කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියකු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට ශාරීරිකව පහරදීමක් සිදුවූ බවට වාර්තා වන සිදුවීම සම්බන්ධයෙන් Rata Next සංවිධානය සිය දැඩි කනස්සල්ල සහ අවධානය පළ කරයි.
මාධ්‍යවේදීන්ට තම වෘත්තීය කටයුතු නිදහසේ සිදුකිරීමට ඇති අයිතිය අපි දැඩිව පිළිගන්නා අතරම, එම අයිතිය සමඟම අනෙකුත් පුද්ගලයන්ගේ ශාරීරික ආරක්ෂාව සහ වෘත්තීය ගෞරවයද ගරු කළ යුතුය.
ආරක්ෂක නිලධාරියෙකුගේ රාජකාරිය ඉටුකිරීමේදී ඔහුට ශාරීරික බලපෑමක් එල්ල කිරීමක් සිදුවී ඇත්නම්, එවැනි හැසිරීමක් කිසිසේත්ම වෘත්තීයමය හෝ සදාචාරාත්මක මාධ්‍ය භාවිතයකට අනුකූල නොවන බව Rata Next සංවිධානය අවධාරණය කරයි" යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.
සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්
උසාවියේ සිදුවීම ආරංචි වූ විගසම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇමතුමක් ලබාදුන්නේය. සජිත් විමසා සිටියේ උසාවියේදී සිද්ධියක් ඇතිවුණා නේද යයි කියාය. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාට කරුණු විස්තර කළේය. සජිත්ගේ පිළිතුර වූයේ පහරදෙන ඔක්කොම කැමරාවල තියනවානේ කියාය.
පෝල්දූවේ උද්ඝෝෂණය සහ සජිත්ගේ නිහඬ පිළිවෙත

විපක්ෂයේ සියලු පක්ෂ වල ප්‍රධාන මාතෘකාව බවට පත්වී ඇත්තේ සජිත්ගේ නායකත්වය මත ඉදිරි වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්නයි. 22ට එරෙහිව පෝල්දූව මංසන්ධියේ සංවිධාන කර තිබූ උද්ඝෝෂණයට සජිත් ඇතුළු සුළුතර කල්ලියක් විසින් අනෙක් පක්ෂ සඳහා එපා වාහෙට හොදි බෙදන්නා වාගේ සලකා තිබිණි. මරික්කාර් කියා තිබුණේ උද්ඝෝෂණයට ආරාධනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි.මේ කතන්දර නිසා පොදු ජන පෙරමුණ ඇතුළු සියලු පක්ෂ එම උද්ඝෝෂණයට යෑමෙන් වැළකී සිටියේය.
"මරිකාර් එහෙම කතාවක් කිව්වා කමක් නෑ කියමුකෝ. ඒත් නායකයාගේ වගකීම තමයි ඒක නිවැරදි කරන එක.සජිත්ගේ නිහඬ පිළිවෙත නිසා විපක්ෂයේ පක්ෂ හිතන්නේ ඒ කතාවට නායකයාගේ විරුද්ධත්වයක් නැති බවයි" විපක්ෂයේ බොහෝ පක්ෂවල නායකයන් රනිල්ට එසේ තම ස්ථාවරය ප්‍රකාශ කර තිබිණි.
අයවැය සහ IMF ගිවිසුම ගැන රනිල් නැගූ ප්‍රශ්න

"ලබන නොවැම්බර් 12 බජට් එක ඉදිරිපත් කරනවා. දැන් වෙනකොට අයිඑම්එෆ් එකට යනවාද නැද්ද කියන කාරණය ගැන ආණ්ඩුව තීරණය කරල තියෙන්න ඕන.ඒ ගැන තීරණය නොකර බජට් එක හදන්නේ කොහොමද?අන්තිම මොහොතේ තීරණයක් අරගෙන බැහැනේ.ඒකෙ වගකීම තියෙන්නෙ ජනාධිපතිට. එයා මේක ප්‍රකාශ කරන්න ඕනනේ. ඩීසල් මිල පාලනය කරන්න බිලියන 40 ක් යොදවලා තියෙනවා. අයිඑම්එෆ් එක ඒකට එකඟ වෙනවද? ඒක අයි.එම්.එෆ් ප්‍රතිපත්ති වලට පටහැනියි. හැම රටක්ම කරන්නේ තෙල් මිල වැඩි වුනොත් භාවිතය සීමාකරන එක.ගිවිසුම කඩලා එතෙන්ට යන්නේ කොහොමද?" රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රශ්න කළේය.
අපේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද?

විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගොස් පලස්තීනය සම්බන්ධයෙන් කතා කිරීම ගැන අදහස් කුමක්දැයි රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ශානුක කරුණාරත්න මෙහිදී රනිල්ගෙන් විමසීමක් කළේය.
" ඔක්කොම බලාගෙන ඉන්නෙ පලස්තීනෙ චන්දෙ මොකක්ද වෙන්නේ කියලා.අනෙක් කණ්ඩායමට බහුතරයක් හම්බ වුනොත් ඒක වඩා වාසි සහගත තත්වයක් කියලයි බොහෝ අය හිතන්නේ.මූලික ප්‍රශ්නය තියෙන්නේ ඉරානය.අවුරුදු දෙකක් තුළ අපේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද කියලා විදේශ ඇමති දැනගන්න ඕනනේ" රනිල් පැවසීය.
ජනාධිපතිවරණ සමයේ රහස් හෙළිදරව්ව

අනතුරුව රනිල් අතීතය මතක් කිහිපත් කළේය.
"2024 ඡන්දෙට යනකොට ගොඩක් අය ඡන්දෙ දෙන එක ගැන තීරණය කරලා තිබුණේ නෑ.කවුරුත් බිමේ තත්ත්වය සංවිධාන කරලා තිබුණේ නෑ අනුරත් ඒක දැනගෙන හිටියේ නෑනේ .මගෙන් ඇහුවා ඡන්දෙ තියෙනවද නැද්ද මොකක්ද කියලා. ඊට පස්සේ මෙම දැනුම් දුන්නා ඡන්දෙ තියෙනවා කියලා" රනිල් එසේ කීය.
කෙසේ වුවද රනිල් සහ අනුර අතර එදා පණිවිඩ හුවමාරුවට මැදිහත්කරුවකු වී සිටියේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයාව සිටි දිනිත් චින්තක කරුණාරත්නයි.ඔහු අනුරගේ සරසවි මිතුරෙකි.
22 වන සංශෝධනයට ගැන ජී. එල්. පීරිස්ගේ මතය

මන්ත්‍රී කණ්ඩායම හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පැවසූයේ 22 වන සංශෝධනය දිගුකලක් තියෙන සංශෝධනයක් කියා විශ්වාස කරන්නේ නැති බවයි.
ඒ වගේම අනාගත පාර්ලිමේන්තුවකට සම්පූර්ණ බලය තියෙනවා ඒක අහෝසි කරන්න.බලය තියෙනවා කියන එක නෙවෙයි. ඒක යුතුකමක් මෙන්ම වගකීමක්.
වෙන කිසිම දවසක සිදු නොවෙච්ච විදිහට සමාජයේ මේකට පුදුම විදියේ විරෝධයක් තිබුණා.ඒ කියන්නේ මීට විරුද්ධව පෙත්සම් 67ක් ඉදිරිපත් වුණා.
මහා සංඝරත්නය, කතෝලික රදගුරු සම්මේලනය, ඇංග්ලිකන් සභාව, නීතිඥ සංගමය, වෘත්තීය සමිති 43ක්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, සිවිල් සමාජය නියෝජනය කරන ආයතන රාශියක් මේකට දැඩි විරෝධය ප්‍රකාශ කළා. ඒ කියන්නේ සමාජයේ තිබුණේ 22ට ලොකු ප්‍රතික්ෂේප කිරීමක්.
ඒ නිසා මේකට දීර්ඝ ආයුෂයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. 22ට ඉස්සෙල්ලා සංශෝධන 21න් හුඟක් සංශෝධන ක්‍රියාත්මක වුණේ කෙටි කාලයකට. එම නිසා අපි තරයේ විශ්වාස කරනවා මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට ඉතාමත් අහිතකර දෙයක්. ඒ හින්දා ඊළඟ පාර්ලිමේන්තුව මේක අවලංගු කළ යුතුයි.
ආණ්ඩුවේ දෙවසරක ප්‍රගතිය මැනීමට විශේෂ සමීක්ෂණයක්
ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා.අපි කරගෙන යනවා සමීක්ෂණයක්. ආර්ථිකයේ කොහොමද?මොකක්ද ප්‍රගතිය. එහෙම නැත්නම් කඩා වැටීමක්ද කියලා එක එක ශීර්ෂ යටතේ. ඒ සමීක්ෂණය කරනවා.
ඒ කියන්නේ කෘෂිකර්මය, මධ්‍යම පන්තිය මුහුණ දෙන ප්‍රශ්න, රෝහල් වල, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් වල ප්‍රශ්න, අධ්‍යාපනය, අපනයන ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ එක එක වෙනම අරගෙන අපි සමීක්ෂණය කරනවා.
පහුගිය අවුරුදු දෙකේ මොකක්ද වුණේ. අපේ ජනතාවට හොඳක් වුණාද, එහෙම නැත්නම් තිබුණට වඩා විශාල දුකක් විඳින්න සිදු වුණාද කියලා අපි හොයනවා.විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය ගැන විමසිලිමත් වෙනවා.
ඒ පිළිබඳව අපි සමීක්ෂණයක් කරලා අපි ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ජී.එල් ගේ සත්කාරක වැඩසටහනක් ඉකුත් සතියේ කොළඹදී පැවැත්විණි.
"මගේ පොත්වලින් එන ඔක්කොම royalty මම භාරකාර අරමුදලට බැර කළා. ඒ ඇරෙන්න මගේ පෞද්ගලික මුදල්වලින් මම ලක්ෂ 10ක් විතර ඒ මේ trust එකට යෙදෙවිවා. ඒ කියන්නේ legal research. විශ්වවිද්‍යාලයේ law faculty එක හා law college එකේ ඔය නීති පර්යේෂණ ඒ වගේ කටයුතු සඳහා.
ඒ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, නීති පීඨයේ පීඨාධිපතිතුමා හා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා ,මහාචාර්ය සවිත්‍රී ගුණසේකර මැතිනිය අදහස් පළ කළා.
මගෙන් නීතිය ඉගෙන ගත්ත මගේ ශිෂ්‍යයන් වෙච්ච ජනාධිපති නීතිඥවරු 10 දෙනෙක් විතර ඒකට ආවා.ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා නීති පර්යේෂණ වගේ කටයුතු වලට සහයෝගයක් ලබාදීමට.ජී.එල් එම කාරණය ගැන විස්තර කළේ එසේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
