Image

බිණු නාගාර්ජුනගේ මතකවත 08 - නාගාර්ජුන ගේ 'සිහින යානයක' නිමාව

බිණු නාගාර්ජුනගේ මතකවත 08 -  නාගාර්ජුන ගේ 'සිහින යානයක' නිමාව

‘අනාරාධයෙන්ම එන්නේ ය. අනාරාධනයෙන්ම යන්නේ ය.’ මේ ප්‍රකට බෞද්ධ ඉගැන්වීම හැම ජීවියෙකුට ම අදාළයි. අනුබුද්ධ නාගාර්ජුනයන් වියවුල් වූ මගේ මනස සකසන්න උත්සාහ කරනව.

මෙට්‍රපොලිටන නාගරිකයා

තරුණවියට පිය නගන විටම බිණු නාගාර්ජුන හොඳටෝම මෙට්‍රපොලිටන නාගරිකයෙක් වෙලයි හිටියේ. එයා හිතුවේ ඒ මොහොත ගැන විතරයි; එය සතුටෙන් විනෝදයෙන් ගත කරන්න හැමදෙයක්ම කළේ. එයාට ඕන වුණේ වාණිජ කලාව [ Commercial Art] කරන්න. සරසවියේ [UCA – University of Creative Art] ඉගෙන ගත්තේත් ඒ නිසාම යි. කොළඹ සිටි මගේ මිත්‍රයන් හරහා එයා ප්‍රධාන දැන්වීම් සමාගම් කීපයකම මේ වෙනුවෙන් පුහුණුව ලැබුව. පස්සෙ කැනේඩියානු සමාගමක කලා අධ්‍යක්ෂ [Art Director] කෙනෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්ත. ඒ වන විට පූර්ණකාලීන ලේඛකයෙක් බවට පත් වූ මගේ බොහොමයක් අඩුපාඩු පිරිමැහුවේ බිණු නාගාර්ජුන.

පිළිකා මාරයා එයාගේ ශරීරයට ඇතුළු වී ඇති බව දැන ගත්තේ බොහෝම ප්‍රමාද වෙලා. ශක්තිමත් තරුණ සිරුර, රැකියාවේ අවිවේකය නිසා එහි සංකූලතා නොදකින්න ඇති.

මම මරණයට බිය නොවෙමි...

prostate

“මේ පිළිකාව හැදුනම සනීප කරන්න පුළුවන් පස් දෙනෙකු ගෙන් එක් කෙනෙක් විතරයි. ඒ සනීප කළත් නිරෝගී ජීවිතයක් නැවත ලැබෙන්නේ නෑ. මම මැරෙන්න බය නෑ..!”

ඒයා, එයා වෙනුවෙන් වැලපෙන අපි සැනසුව. ඒ වෙන විට සති තුනක් මම එයා ළඟ. මම බිණූ නාගාර්ජුන මට මඟ හැරුණු කාලය ම මගේ ජීවිතයට එකතු කර ගත්ත. එයාගේ ඇඳ ළඟ ඉන්න අතරේ අපි දෙන්න අතරේ තිබුණු බැඳීම්, කැඩීම්, මගේ මතකයට ගලා එන්න පටන් ගත්ත. එයා ඉතාම සාමකාමී කෙනෙක්. මගේ පැවැත්මේ සම්පූර්ණ අනික් පැත්ත. කවදාවත් කිසිමකෙනෙක් එක්ක රණ්ඩුසරුවල් වෙන්න ගියේ නෑ.

අපි අතරේ අවසාන ගැටුම ඇති වුණේ එයා දකිමින් සිටි සිහිනයේ අවසන් සතියේ. රෝහලට ඇතුළු කර දවසේ එයට නැවත ප්‍රතිකාර ආරම්භ කරන්න වෛද්‍යවරුන් සුදානම් වූ මොහොතේ අපි දෙන්න රණ්ඩුවක් ඇල්ලුව. එයා තවදුරටත් ප්‍රතිකාර එපා කියල දෙන කැමැත්තට අත්සන් කරන්න සුදානම් වුණා. මම ඒක උදුර ගත්ත. එයා තරහෙන් මෙහෙම කිව්ව.

“ මට මැරෙන්න දෙන්න. මේ වේදනාව මට දරන්න බෑ. මට යන්න දෙන්න.”

මම ඒකට ඉඩ දුන්න.

හිස් බව පසක් කරගැනීම

hospital

අනුබුද්ධ නාගාර්ජුන මුලමාධ්‍යමික චාරිකාවේ දී මෙහෙම කියනව

‘යමෙකුට හිස්බව පසක් කළ හැකිද, ඔහුට සියල්ල කළ හැකි ය’

අපි දෙන්නම ඒ වන විට ‘හිස්බව’ පසක් කර ගනිමින් හිටියේ. එයා දකිමින් සිටි සිහිනය බොඳ වී යමින් තිබුණේ.

ගෙවුණු අප්‍රියෙල් 01 හැන්දෑවේ රෝහල්ගත කර සිටි බිණූ නාගාර්ජුනගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා. ඒ වන විටත් එයාගේ ශරීරයට අධි මාත්‍රාවලින් ‘මෝෆීන්’ වේදනා නාශකය දින හයක් පුරා ඇතුළු කරමිනුයි තිබුණේ. පිළිකා මාරයා ගිල ගත් එයාගේ ශරීරය හොඳටෝම දුර්වල වෙල තිබුණේ. අධිමාත්‍රා මෝෆීන් නොතිබෙන්න එයාට ඒ වේදනාව දරන්න බැරි වෙනව. මම දැන ගත්ත එයාගේ මේ සිහිනයෙන් යන්න සුදානම් වෙන බව. ඒ වගේම මගේ තවත් දිගැස්සෙන මේ සිහිනයේ එතැන් පටන් එයාගේ මතකය සිහිනයක් වන බව. මම විටින්විට එයාගේ දිව වතුරු බිංදුවලින් පෙඟුව. වියළී තිබු තොල්වල බාම් ආලේප කළා. අපේ සමුගැනීම එයාට පහසු කරන්න ඊට වඩා දෙයක් තිබුණේ නෑ.

දින කීපයක් පුරා සිහිසුන්ව වේගයෙන් හුස්ම ගනිමින් සිටි බිණූ නාගාර්ජුන අප්‍රියෙල් දෙවෙනි බ්‍රහස්පතින්දාට හිරු නැඟෙද්දී හුස්ම ගැනීමේ වේගය අඩු කළා. පැය භාගයක් විතර සෙමෙන් හුස්ම ගත් එයා එකවරම උස් සුසුමක් පිට කරා. ඒ තමයි එයාගේ අවසාන හුස්ම. අවුරුදු 35වත් සම්පූර්ණ නොකරපු අපිත් සමඟ ගෙවූ එයාගේ ‘සිහින යානය’ අවසන් වුණේ ගෙවුණු එදින 02 අලුයම 5.00 පසු වී විනාඩි 8 ගෙවෙද්දී. එයා මේ ලෝකෙන් පිටවෙන්න අවසන් හුස්ම ගන්නා වෙලාවේ මම එයාගේ අත අල්ලගෙන හිටියේ.

දැන් එයාට කිසිම දෙයක් ඇහෙන්නේ දැනෙන්නේ නැති බව දැන දැනත් මම මෙහෙම කිව්ව.

ලස්සන හීනයක දි නැවත හමුවෙමු

cancer

“ බිණූ නාගාර්ජුන, මගේ හීනය කෙළවර වෙන්න කලින් මට තව පොත් හත අටක් ලියන්න තියෙනව. ඒක, මම, මටම බාර කරපු බරපතළ වගකීමක්. ඔයා යන එක හොඳයි. ඔයා ඉපදෙන කොට තිබුණු ලෝකය එහෙම පිටින්ම වෙනස් කරන්න අපට බැරි වුණා. මේ එන යුද්ධය මොන වගේ වේද මම දන්නේ නෑ. ඉතාම සාමකාමී අහිංසක මනුෂ්‍යයෙකු වූ ඔයා, ඒක නොදකින එක වඩා හොඳ දෙයක්. ඉතින් බිණු නාගාර්ජුන කුමාරයානෙනි, අපි තවත් නපුරු හීනයක නෙවෙයි ලස්සන හීනයක හමුවෙමු.”

එයා සදාකාලික සුසුමක් හැටියට මගේ හීන යානයට ඇතුළු වුණා.

එතැන් පටන් අපි සමග දුටු සිහිනය අවසන් කරල එයා සති තුනක්ම හිටියේ ශීත කාමරයක. එයාගේ අම්ම කිව්ව “අනේ මගේ පුතා හීතලේ ඇත්තේ. එයාට සීතල දරන්න බෑ. අනේ, කොහොම ඉන්නවද දන්නේ නෑ..!”

ශූන්‍යත්වයට පත් වූ එයාට උණුසුම - සීතල නොදැනෙන බව මම කියන්න ගියේ නෑ.

අපි අද භවස [20/04/26] බිණූ නාගාර්ජුන, හැන්වර්ත් [Hanworth] අදාහනාගාරයේ දී ශූන්‍යත්වය පත් කරනව. ඊට පෙර අපි මහායානිකයන්ගේ අති පුරාණ චාරිත්‍රයක් ඉටු කරනව.

ඔබ සැම දකින සිහිනය සුබම සුබ සිහිනයක් වේවා...!

bemini

‘සීහළවත්ථු’ [අති පුරාණ සිංහල බණ කතා] අනුව අනුරාධපුර යුගයේ මහා සාගත [බැමිණිටියා සාය] පවතින කාලවල මිනිස්සු දකුණු ඉන්දියාවට මාරු වෙනව. එහෙම යන උදවිය හුදකලාව කාංසිය නැති කරගන්න හැන්දෑවල රැස් වෙල උපන් රටේ යට ගියාව සිහිකරනව. අපිත් එයා ශූන්‍යත්වයට පත් කිරීමට එයා ගේ මතක සිහිකර පැරණි සිරිත වර්තමානයට ගේනව.

එයා ශූන්‍යත්වයට පත් වෙන්නේ නාග ගෝත්‍රික මුතුන්මිත්තන් ශූන්‍යත්වයට පත් නොවූ ආගන්තුක රටක දි; ආගන්තුක නගරයක දී. එහෙම වුණත් එයා, මා දකින මේ සිහිනය අවසන් වෙන තාක් ඒ තුළ ඉදිවී. පාළුවට යමින් තිබෙන මගේ සිහිනය පුරාම වෙනදා වගේම හිස වනමින් සිනාසෙමින් ප්‍රිය තෙපුල් තෙපලාවි.

ඉතින්, ‘බිණු නාගාර්ජුනගේ මතකවත’ මෙතැනින් සමාප්ථයි. කිය වූ, නොකිය වූ ඔබ සැම දකින සිහිනය සුබම සුබ සිහිනයක් වේවා...! එයා ශූන්‍යතාවයට පත්වීම සිහි කළ හැම ම සුවපත් වේවා...!!

සමාප්තයි.

නන්දන වීරරත්නනන්දන වීරරත්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න