Image

මගේ ජීවිතයේ “මංගල” සලකුණ!

මගේ ජීවිතයේ “මංගල” සලකුණ!

මීට වසර පහකට පෙර සියල්ල අවාසනාවන්ත ලෙස අවසන් නොවී තිබුණා නම් අද හිමිදිරි උදෑසනම මගේ දුරකතනයෙන් මෙහෙම ඇමතුමක් ගන්නට තිබුණා.

‘Happy Birthday Mr. Seventy’

එහා කෙලවරෙන් මවාගත් කේන්තියකින් මෙහෙම ප්‍රතිචාරයක් ලැබෙන්නට තිබුණා.

‘Wrong number Mr. Cooray’

අනතුරුව අප දෙදෙනාටම මහ හඩින් සිනාසෙන්නට තිබුණා.

'මේ පැත්තේ එන්නකෝ...'

ඔහු සිනහව අතරින් ආරාධනා කරන්න තිබුණා. මම උදෑසන ම ඔහුගේ නිවසට යනවිට පොඩි ළමයෙකු මෙන් කොට කලිසමකින් සැරසී සීතල අයිස් වීදුරුවක් පානය කරමින් සිටින මංගල සමරවීර නම් 'අපූරු වියපත් තරුණයා' දැකගත හැකි වෙන්න තිබුණා. උදෑසන අයිස් වීදුරුවක් පානය කිරීම ඔහුගේ පුරුද්දක් ව තිබුණාm2

සංග්‍රහශීලි මිනිසෙක් වූ ඔහු, 'මොනවද කන්නේ, මොනවද බොන්නේ?' කියා කෙළවරක් නැතිව මගෙන් අසන්නට තිබුණා.

'මම කළු කෝපි එකක් බොන්නම්'

ටික වේලාවකින් ම’වෙත උණුසුම් කළු කෝපි කෝප්පයක් ලැබෙයි.

ඒ අතර වයස්ගත වීම් ගැනත්, හැත්තෑව ඉක්මවූ චරිත ගැනත් වයස හැත්තෑව වූ විට සිදුවන දේ ගැනත් කියමින් සිනාසෙන මංගලව මට මැවී පෙනෙයි.

එතැන් සිට නොයෙක් විහිළු තහළු මැද රසවත් හෝරාවක් පමණ ගෙවෙයි.

හවස සාදයක දී හමුවෙන්නට තීන්දු කොට අප නික්ම යයි.

 2021 අගෝස්තු 24වන දා නිවී නොයන්නට අද මංගල ස්තීර වශයෙන් ම වෛවර්ණ සාදයක දී මුණ ගැසෙනවාට සැකයක් නැහැ. බොල්ගොඩ වැව අද්දර මංගල ගේ නිවසේ හාත්පස විදුලි එළියෙන් ආලෝකවත් වෙයි. බොල්ගොඩ වැව පවා විදුලි එළියෙන් හැඩවෙයි.

 ඒ සාදයේ විවිධාකාර වර්ණවත් සුන්දර මිනිස්සු සැරිසරමින් හිදියි. එක එක දේශපාලන මත තියෙන මිනිස්සු, එක එක භාෂා කතා කරන මිනිස්සු, විවිධ ඇඳුම්වලින් සැරසුණු, විවිධ විලාසිතා තිබ්බ මිනිස්සු, එක එක ආගම් දර්ශන අදහන මිනිස්සු, එක එක අදහස් උදහස් ඇති මිනිස්සු නිදහස්කාමීව මේ සාදයේ ආශ්වාදය භුක්ති විඳියි.

m1

විදුලි ආලෝකය අතරින් වර්ණවත් කමිසයක් ඇඳගත් මංගල, වියානා සිගාස් දුම් වැටියක වළලු පිටකරමින් හඬනගා සිනාසෙමින් මේ සුන්දර මිනිස් කලාපයට එයි.

එතැන් සිට විහිළු තහළු, තර්ක විතර්ක, දේශපාලනය, කලාව, ආර්ථිකය, ජීවිතය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යනාදි විවිධාකාර මාතෘකා අතර කාලය ගෙවී යයි. මුළු සාදය පුරාම තිබෙන්නේ මංගල සමරවීර ගේ විචිත්‍ර පෞරුෂයේ ආශ්වාදය යි.

යම් හෙයකින් සාදය හමාර වූයේ බොහෝ මත ගැටුම්වලින් පසුව වුවත් නැවත අලුත් දවස මංගල ආරම්භ කරන්නේ පෙර දින වූ මත ගැටුම් සියල්ල අමතක කළ නැවුම් ප්‍රසන්න හැඟීමකින්.

එකට හිතන කුරුල්ලන් එකම අත්තේ වසන බවට කතාවක් තිබුණ ද මංගල වසන අත්තේ ඕනෑම කුරුල්ලෙකුට වසන්නට ඉඩක් වෙන්ව තිබුණා.

මංගල සියල්ල පසුගාමීව නොව, ධනාත්මකව දුටු මිනිසෙක්. නිතර හැඟුම්බර වීම වෙනුවට සැහැල්ලුවෙන් සහ වගකීමෙන් කටයුතු කළ මිනිසෙක්. සෑම මිනිසෙක් ම සතුටින් සිටිය යුතු බවත්, සෑම මිනිසෙකුට ම නිදහසේ ජීවත් වීමට අයිතිය ඇති බවත් විශ්වාස කළ මිනිසෙක්. ඒ වගේම සෑම මිනිසෙකුගේ ම රුචි අරුචිකම්වලට ගරු කළ මිනිසෙක්.

මංගලගේ මේ ප්‍රගතිශීලී නිදහස්කාමී ජීවිතය මාව ආශ්වාදයට පත් කළා වගේ ම ජාතිවාදී ආගම්වාදය පිටු දකින මංගලගේ සිතුම් පැතුම් මාව ආකර්ෂණය කළා. සම්ප්‍රදායික දේශපාලන ජීවීන්ට වඩා වෙනස් චරිතයක් වූ මංගල ගේ පෞද්ගලික සහ පොදු ජීවිතය යන දෙකම විවෘතව තිබුණා. හැම මොහොතකම හෘද සාක්ෂියට එකඟව වැඩ කළ මංගල කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී හිටියා. මංගලගේ දර්ශනය, හෘද සාක්ෂිය වුණා.

 නමුත්,  නිදහස් මතධාරියෙකු වූ මංගල, තමන්ට අවාසිදායක තත්ත්ව තුල දී පවා තමන් විශ්වාස කළ ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් වුණා. ඒ වෙනුවෙන් ඔහු අරගල කළා. තමන් ගන්න තීන්දුව වෙනුවෙන් ඔහු කොන්දේසි විරහිතව පෙනී සිටියා. යම් කලෙක ගත් වැරදි තීන්දුවක් වැරදිනම් වැරදි බවට පිළිගන්නත්, එය නිවැරදි කිරීමට කටයුතු කරන්නත් තරම් අවංක හැඟීමක් ඔහුට තිබුණා.

ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි හිස් අදහස්වලට මංගල අකමැති වුණා. මංගලගෙ ම වචනයෙන් ඔවුන් 'අයිඩියා දාසලා' වුණා.

ජාතිවාදයට, වර්ගවාදයට, අන්තවාදයට විරුද්ධ මතවාදය මරණය දක්වාම රැක ගත්තේ මංගලගේ ලිබරල් චින්තනය නිසයි.

ඔහුගේ අවංක ප්‍රකාශ නිසා සමහරු ඔහුට නිර්ධය ලෙස පහර දුන් නමුත්, මංගල ඒ සියලු දෙනාට ම තාර්කිකව ප්‍රතිචාර දැක්වූවා මිස පෞද්ගලිකව ප්‍රහාර එල්ල නොකර සිටීමට බොහෝ උත්සාහ කළා.

තමන්ව අතිශය පහත් ලෙස විවේචනය කළ පුද්ගලයා සමග පවා ඔහු සිනාසුණා. විවේචන එන්න එන්න ඔහු තව තවත් අවංක වුණා; තව තවත් නිර්භීත වුණා.

මංගල දූපතක සිට මහද්වීපයක දේශපාලනය කළ දැවැන්ත මිනිසෙක්. අන්ධකාරය වෙනුවට ආලෝකයට ආදරය කළ මිනිසෙක්. සැමදාමත් මිනිස් අයිතිවලට ගරු කළ මිනිසෙක්. ජාතීන් අතර විවිධත්වයට, භාෂා සහ ආගමික අනන්‍යතාවයනට සැමදාමත් ගරුකළ අතර ලංකාව දූපතක සීමා වෙනවා වෙනුවට ලෝකය සමග එකතු විය යුතු බව විශ්වාස කළ මිනිසෙක්.

තම දර්ශණය වූ ලිබරල් චින්තනය වෙනුවෙන් මුළු ජීවිත කාලය ම පෙනී සිටි අපූරු මිනිසෙක්.

මංගල මිතුරන් කෙරෙහි දැඩි විශ්වාසයක් පළ කළා. මිත්‍රත්වයෙන් මංගලට කිට්ටු වුණු කිසිම කෙනෙක් මංගල අතහැර නොයන්නේ, ඔහු එතරම් ම විශ්වාසනීය සහ සුන්දර මිතුරෙක් නිසයි.

එකල අපි හැමදාම පාහේ මුණ ගැසුණා. තර්ක විතර්ක කළා. ඔහු මාගේ ඇමතිවරයෙකුව සිටිය දී පවා  යම්යම් අවස්ථාවල ලේක්හවුසියේ මගේ කාර්යාලයට පැමිණ මාව මුණගැසීමට තරම් ඔහු නිහතමානී වුණා.

එමෙන්ම, සෑම මොහොතක ම මට මංගලගේ කාර්යාලයේ හෝ නිවසේ හෝ දොරටු විවෘතව තිබුණා. ඒ සියල්ලට ම වඩා ඔහුගේ හදවතේ දොරටු මා වෙනුවෙන් විවෘතව තිබුණා.

m4

ප්‍රගතිශීලී හෘදයාංගම හැගීම් ඔහු බෙදා හදා ගත්තා.

මංගල ගේ මරණය විසින් කළේ ජීවත්ව සිටි මංගල ගේ ප්‍රතික්ෂේපිත සංකල්පවලට පවා වලංගුතාවයක් එක් කිරීමයි. ඒ කියන්නේ ජීවත්වූ මංගලට වඩා මියගිය මංගල බලවත් බවයි. ඔහු සිය ජීවිතයේ අවසන් කාර්තුව සම්ප්‍රදායික දේශපාලනයෙන් තොරව 'රැඩිකල් තරුණ' මතවාද වෙත විවෘත කළා. ඔහු මියගියේ ඒ අපූරු මතවාදයට හුස්ම එකතු කරමින්.

තියඩෝර් රූස්ට්වෙල්ගේ දියණියක් තම දේශපාලනඥ පියා ගැන මෙවැන්නක් පවසා තිබෙනවා.

“දේශපාලනඥයන් සෑම මළගෙදරක දී ම මිනිය බවට පත් වනවා; සෑම මඟුල් ගෙදරකදී ම මනාලිය හෝ මනාලයා බවට පත් වනවා; සෑම ක්‍රිස්තියානිකරණයකදී ම බිලිඳා බවට පත් වනවා.”

කිසිම දාක මංගල එසේ වුණේ නැහැ.

මංගල කියන්නේ තවමත් කියවා අවසන් කරන්නට නොහැකි විශිෂ්ට ගනයේ පොතක්. මම තවමත් ඒ පොත කියවනවා. විවරණය කොට අවසන් කරන්නට බැරි වර්ණවත් වෘර්තාන්තයක්. මම තවමත් ඒ වෘර්තාන්තය රස විඳිනවා.

මේ සටහන ආරම්භ කළේ මංගල සිටියානම් අද සිදුවන දේ ගැන උපකල්පනය කරමින්. එහෙත්, යථාර්ථය නම් මංගල ජීවතුන් අතරත් නැහැ,  07 7757 6495 දුරකතනයෙන් ඇමතුමක් ආවෙත් නැහැ. පුරුද්දට වගේ ඒ අංකයට මම ගන්න විට ඒ අංකය භාවිතයේත් නැහැ.

Krishantha Cooray1ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න