Image

මේ ආකාස කරණං දැන්වත් ඇති කියල හිතෙන්නැද්ද...?

මේ ආකාස කරණං දැන්වත් ඇති කියල හිතෙන්නැද්ද...?

මේ පුංචි දූපතේ

'සිංහලයකු' ලෙස උපත ලැබීම ගැන

නැවත වතාවක්

තදින් ලැජ්ජාවට පත් වුණෙමි,

ඊයේ - සංස්කෘතික කටයුතු ඇමතිගේ

කාර්යයාලයේ දී...

යොවුන් - තරුණ වියේ දී

යුද්ධය දරුණුතම කාලයේ දී

විශේෂයෙන් 2009 දී

දැනුණා හා ම වේදනාවක් ලැජ්ජාවක් සමග ය අප සියලු දෙනා

'සෙත්සිරි අ/පායෙන්' එළියට ආවේ...

සුනිල් (සෙනෙවි) ඇමතිට

සුනිල් (විජේසිරිවර්ධන) කවියාට

නින්ද යනවාදැ'යි නොදන්නෙමි මේ රාත්‍රියේ...

බඩගින්නේ ම හදිසියේ එහි දිව ආව මොල සෙනෙවිරත්න හිටියේ කෝපයෙනි...

අතීත කාලයක

'ලිපි දෙකක් ලියූ වරදට හිරේට නියම කළ තිස්සනායගම් වෙනුවෙන්' කළ උද්ඝෝෂණයක් සිහිපත් විය;

ෆාදර් සත්ති ඊයේත්

කොන්ක්‍රීට් කාණුවක් මත නැඟ

පිරිස අමතන විට...

එයාට - අපිට තාමත් කතා කරන්නට වී ඇත්තේ එකම මාතෘකා ය...

සාකච්ඡාවෙන් පසු එළියට ආව

'කත්‍යානාගේ' මුහුණ,

'සම්මානි' මගේ අත තදින් අල්ලාගත් මොහොත,

අපි හැමෝටම 'අනූ සිවලිංගම්'ගේ මුහුණ බැලීමට නොහැකිව ගතවූ තත්පර,

මා රිදවයි තවම, නින්ද ද නොයේ මේ මහ රෑ...

'දීපචෙල්වනුත්' තවමත් මහපාරේ - පාන්දර දෙකටත් - මැදවච්චිය පහු කරමින්...

මම කියවමින් සිටිමි,

'දීප'ගේ කවි...

මේ කරුම රාත්‍රිය ගෙවන්නට

වෙන විදියක් නැත...

ගම් අතැර ගියවුන්ගේ ගීතය -දීපචෙල්වන්

26lanka

"මගේ අම්මාත්

නොදත් මාවතක ඔහේ යනු ඇත

බර දරණ පොදියක් මම ද කර තබාගෙන යමි...

අපේ අහස අපෙන් උදුරාගෙන ය

අපේ ම තාරකා අපෙන් උදුරාගෙන ය...

දැන් අප ටෙන්ට් කෑල්ලක් සොයා ඇවිදිනු ඇත...

අපි කළු මිනිස්සු

කළු පොදි දරාගත්

පුංචිම හෙවණක් සොයා

ඉබාගාතේ ඇවිදින..."

(උපුටාගත් කවි කෑල්ල අවසන්)

මෙලෝ හත්තිලව්වක් නොදන්න රේගුව

කෙහෙල්මල් සංස්කෘතික අමාත්‍යංශය

රෙද්දෙ ආරක්ෂක අමාත්‍යංශය

තොපි

තහනම් කරන්නට වාර්තා කැඳවමින් සිටින්නේ මේ වගේ කවි ය...

හෙණ ගහපියව් තොපිට...!

මෙන්න තව කවි කෑල්ලක්...

බංකරයක ඉපදුණු  - දීපචෙල්වන්

''මව්වරුන්ගේ සිඳුණු තන් පුඩුවල

බිඳුණු පා ඇති දරුවන්

තදින් එල්ලී සිටී...

අපිදු

ගොළු වූ දිවවලින්

මේ දරුවන් ගැන කුමක් කියමු ද...''

(උපුටාගත් කවි කෑල්ල අවසන්)

විනාශකාරී යුද්දයට අණ දුන්නු

තුයියකොන්තලා

(වත්මන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්)

කුමන වාර්තාවක් දේවිද

මේ වගේ කවි කියවලා...!

තවත් කවි කෑල්ලක්

නාගයෙකු ගිලගත් බිමක - දීපචෙල්වන්

unnamed1

''ජීවිතය

එහෙටත් මෙහෙටත් නැති නැටුමකි...

අප වෙනුවෙන් තබා තිබූ

කැඳ පොල්කටුව මතට වැටුණි

ශෙල් කැබැල්ලක් -

අපේ සිරුරේ විෂ පැතිර යයි...''

(උපුටාගත් කවි කෑල්ල අවසන්)

අනුර දිසානායකනායක ජනපතිතුමෝ,

තමුන්නැහේලා ගේන්න යන

PSTA එකට අනුව නං,

මේ කවියත් ඇතිවෙයි නේද

'දීප'ව අත්අඩංගුවට ගෙන ජීවිත කාලයක් රඳවාගන්න...

උඹල ආකාස කරණං ගහපල්ලා

ඒකට කමක් නෑ -

ඒත් අපි මහපොළොවෙ

තාම ජීවත් වන බව මතක තියාගනිල්ලා...

මර්දනය උපරිම වින්ද පක්ෂයක

මධ්‍යම කාරක සභාවක අය

බලයේ ඉන්නකොට

මර්දනය මෙහෙම නං;

ඒ පක්ෂයේම පරිධියේ කඹුරපු

සහෝදර සහෝදරියනි,

මේ ආකාස කරණං

දැන්වත් ඇති කියල හිතෙන්නැද්ද...?

මේක

හැමෝගෙම

හෘදය සාක්ෂිය අවධි විය යුතු

ඓතිහාසික මොහොතක්...

එහෙම නෙවෙයි ද...?

surekaසුරේඛා සමරසේන - (2026 අප්‍රේල් 17 රාත්‍රියේ)

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න