ලක්දිව උසස් අධ්‍යාපනයේ ඉතිහාසය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සමග සමීපව බැඳී පවතී.
1921 දී ලංකා යුනිවර්සිටි කොලිජීය (Ceylon University College) විද්‍යාල මන්දිරයේ (College House) දී ආරම්භ කිරීමත් සමග විද්‍යා සහ කලා විෂයයන්හි උසස් අධ්‍යාපනය ලංකාවේ ආරම්භ විය. එම ආයතනයේ උපාධි පිරිනැමුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව ය.

අයිවර් ජෙනිංග්ස්

පූර්ණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙරට ආරම්භ වූයේ 1942 දී කොළඹ විද්‍යාල මන්දිර භූමියේ දී අයිවර් ජෙනිංග්ස් (Ivor Jennings) උපකුලපතිතුමා ගේ නායකත්වයෙන් ලංකා විශ්වවිද්‍යාලය ( University of Ceylon) පිහිටුවීමත් සමග ය. 1950 දශකය මුල දී සුන්දර පේරාදෙණියේ ගොඩනැගිලිවලට ලංකා විශ්වවිද්‍යාලය ගෙන යනු ලැබූ අතර ඇතැම් පීඨ කොළඹ තවදුරටත් පැවැතිණ. ඒ අනුව මුල දී පේරාදෙණියේ සහ කොළඹ ශාඛා සහිතව ලංකා විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක විය.
මහාචාර්ය ඕ.එච්. ද විජේසේකර

1960 දශකය මුල ස්වභාෂා අධ්‍යාපන අවස්ථා පුළුල් වීමත් සමග විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය පිරිස වැඩි වීම නිසා 1963 දී කොළඹ ශාඛාවේ දෙවන ශාස්ත්‍ර පීඨයක් ( Faculty of Arts) ආරම්භ කළේ ය.
ඉන්පසුව 1967 ඔක්තෝබර් 1 වන දා සිට ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ ශාඛාව, කොළඹ විශ්වවිද්‍යාලය (University of Colombo) නමින් වෙන ම විශ්වවිද්‍යාලයක් ලෙස පිහිටුවිණි. මහාචාර්ය ඕ.එච්. ද විජේසේකර ( සංස්කෘත පිළිබඳ මහාචාර්ය) උපකුලපති පදවියට පත් කෙරිණ.
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර

එසේ වුවත් එකල ශිෂ්‍යයෝ ලංකා විශ්වවිද්‍යාලයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් නොසතුට පළ කරමින් විරෝධය පළ කළහ; ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය අගය කළහ.
කොළඹ තුරඟ තරග පිටියේ පිහිටි ගොඩනැගිලි ( Grand Stand & ColomboTurf Club building), දේශන සඳහා යොදා ගත් බැවින් ' අශ්ව විද්‍යාලය' යන නම ද පටබැඳිණි. එම විරෝධයට පිළියම් සොයනු පිණිස 1968 දී කොළඹ විශ්වවිද්‍යාල පරීක්ෂණ කමිටුවක් ද රජය විසින් පත් කරනු ලැබීය. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ ( University of Ceylon, Colombo) නමින් නම් කිරීම සිදු විය.
ඉන්පසුව 1970 දශකය මුල සිදු වූ උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලංකවේ සියලු ම විශ්වවිද්‍යාල තනි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයක් ( University of Sri Lanka) බවට පත් කිරීම නිසා කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ 'කොළඹ මණ්ඩපය' ( Colombo Campus) බවට පත් විය. නැවත වරක් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ කොළඹ මණ්ඩපය නැවත වරක් කොළඹ විශ්වවිද්‍යාලය නමින් ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් වූ අතර එහි උපකුලපති පදවියට පත් වූයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා ය.
මෙහි ලා ලුහුඬින් දැක්වුණේ කොළඹ විශ්වවිද්‍යාලය බිහිවීමේ ඓතිහාසික පසුබිම යි. වැඩි විස්තර සඳහා බලන්න:
https://cmb.ac.lk/college-house-the-cradle-of-sri-lankas...

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා

