විශ්වීය මාරුව: අයින්ස්ටයින් ගේ හයිකු, බ්ලේක් ගේ අංශු සහ වර්ඩ්ස්වර්ත් ගේ දත්ත

විශ්වීය මාරුව: අයින්ස්ටයින් ගේ හයිකු, බ්ලේක් ගේ අංශු සහ වර්ඩ්ස්වර්ත් ගේ දත්ත

(අද ලියන්නේ විද්‍යාවෙි සහ කවියේ බුද්ධිමය ඉතිහාසයකට අදාළ ප්‍රහසනයකි)

ලෝකයේ ඉතිහාසය ලියු අය විසින් කරන ලද ලොකුම අතපසු වීම නම් ඇල්බට් අයින්ස්ටයින්, විලියම් බ්ලේක්, සහ විලියම් වර්ඩිස්වර්ත් යන ශ්‍රේෂ්ටයින් තිදෙනා විසින් කරන ලද කාර්යය පටලවාගනිමින්, ඔවුන් වැරදි ලෙස හඳුන්වාදීම ය; නම් කිරීම ය. සැබවින්ම අයින්ස්ටයින් කළේ කවි ලිවීම ය. ඔහු ගණිතඥයකු හෝ භෞතික විද්‍යාඥයකු නොවේ. සැබැ විද්‍යාඥයින් වුයේ බ්ලේක් සහ වර්ඩ්ස්වර්ත් ය.

අයින්ස්ටයින්ගේ හයිකු කවි

අයින්ස්ටයින් යනු වචන පාවිච්චි කිරීමට ලෝභ වූ වචන මසුරෙකි. ඒ නිසා ඔහු ලීවේ හයිකු කවිය.

හයිකු කවි යනු අඩු වචන ප්‍රමාණයකින් ලෝකයක විශාලත්වය සහ බර කැට් කර පෙන්වීම ය. මේ කවියා එම හපන්කම කළේ ය. සාමන්‍ය කවියන් ' හිරු රැසින් නැහැවී පදාර්ථය දියවී ශක්තිය ගලා යයි' බඳු කවි ලියන විට අයින්ස්ටයින් කළේ පදාර්ථයයි, ශක්තියයි කියන්නේ දෙකක් නොව එකක්මය යැයි කියන මහා ප්‍රේමකාව්‍යය E= mc2 ලෙස ගොනු කරමින් අකුරු තුනක හයිකු කවියක් ලිවීම ය. එය එදා මෙදාතුර ලොව බිහි වු කෙටිම, එහෙත් ගැඹුරුම හයිකු කවිය යි. ඔහු ආලෝක කදම්බයක් මත පැන පැන යෑම ගැන සිහින මැව්වේ ය. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයක් සොයාගත්තේ නැත. ඔහු කළේ කාලය සහ අවකාශය නමැති පෙම්වතුන් දෙදෙනා නම්‍යශීලී රැළි වැටුණ රෙද්දක් මත (අවකාශ රැළි) එකට වැතිර සිටින අයුරු අතිශය සුන්දර රූපකයකින් ඉදිරිපත් කිරීම පමණි.

වර්ඩ්ස්වර්ත්ගේ පරිසර විද්‍යාව

මොහු කවියකු ලෙස වෙස් වළාගත් පරිසර විද්‍යාඥයෙකි (Ecologist). ඔහු ඩැෆඩිල් මල් දෙස බැලුවේ ආදරයට නොව ඒවායේ සංඛ්‍යාත්මක ව්‍යාප්තිය ගණනය කිරීමට ය.

' I wandered lonely as a cloud' මම වලාකුළක් සේ තනිව සැරිසැරුවෙමි"

යන්නෙන් ඔහු අදහස් කළේ වලාකුළුවල උන්නතාංශය සහ වායුගෝලීය පීඩනය පිළිබඳ දත්ත රැස්කිරීම ය. ඇත්ත වශයෙන්ම ඔහු නියැළී සිටියේ සන්තතිමය නියැදි පරීක්ෂණයක ය. ඔහු කළේ සොබා දහමේ විද්‍යාත්මක ප්‍රතික්‍රියා පිළිබඳ පර්යේෂණ වාර්තා රිද්මයානුකූලව ඉදිරිපත් කිරීම ය. ඔහුට අනුව " සොබා දහම මගපෙන්වන්නා" යනු මහා පරිසර පද්ධතියක පවතින ස්වයංපාලන ශක්තියයි.

විලියම් බ්ලේක්, වැලි කැටවලින් ක්වොන්ටම් හෞතිකය සෙවූ සැටි

ඉහත කී දෙදෙනාට ම වඩා විමතිය දනවන චරිතය විලියම් බ්ලේක් ය. ඔහු කවියකු ලෙස රඟපෑව ද සැබවින් ම ලොව ප්‍රථම ක්වොන්ටම් භෞතික විද්‍යාඥයා ය.

විලියම් බ්ලේක්

ඔහු මෙසේ පැවසීය.

To see a World in a Grain of Sand

And a Heaven in a Wild Flower

Hold Infinity in the palm of your hand

And Eterniry in an hour

වැලිකැටයක් තුළ ලොවක් දකින්නට

වන මලක් තුළින් දෙව් ලොවක් දකින්නට

ඔබේ අත්ල මත අනන්තය තබන්නට

හෝරාවක් තුළ සාදාකාලිකත්වය විඳින්නට

මේ බ්ලේක් ඉදිරිපත් කළ හොලොග්‍රැපික් විශ්වය (Holographic Universe) පිළිබඳ ඔහුගේ පර්යේෂණ නිබන්ධයේ සාරාංශය යි. ඔහු පියවි ඇසට නොපෙනෙන පරමාණුක අංශු දුටුවේය. බ්ලේක් සොයාගත්තේ ක්වොන්ටොම් පටලැවිල්ල (Quantom Entanglement) නම් වූ විශ්වීය ප්‍රේමය යි. එක් වැලි කැටයක් ස්පර්ශ කරන විට, ඔබ ඇත්තට ම ස්පර්ශ කරන්නේ තරු බිලියනයකට එපිටින් ඇති එහි ක්වොන්ටම් සහකරු බව බ්ලේක් දැන සිටියේ ය.

quantumක්වොන්ටොම් පටලැවිල්ල

අවසන් නිගමනය

මේ තිදෙනා ගේ හමුවීම වඩාත් උණුසුම් වන්නේ ක්වොන්ටම් පැටලැවිල්ල අසල දී ය. අයින්ස්ටයින් කවියා මෙය දුරතස්රව සිදුවන භූත ක්‍රියාවක් ලෙස සලකා එයට බිය විය. නමුත් බ්ලේක් පෙන්වා දුන්නේ එය විශ්වයේ ස්වභාවය බවය. පරමාණුක මට්ටමේ දී කිසිවක් වෙන් වී නැත. සියල්ල රහසින් එකිනෙකාට පණිවිඩ යවමින් සිටිති.vdsvth

අවසානයේ දී අපට වැටහෙන්නේ මෙයයි. අයින්ස්ටයින් අපට විශ්වයේ සංගීතය ගණිතයෙන් කියාදුන් අතර, වර්ඩ්ස්වර්ත් විශ්වයේ ගණිතය ඇසෙන්නේ කෙසේදැයි කවියෙන් කියා දුන්නේ ය. බ්ලේක් ඒ දෙදෙනාට ම වඩා පියවරක් ඉදිරියට ගොස් ඒ සංගීතයත්, ගණිතයත් යන දෙකම ඔබ අත ඇති වැලි කැටයක් අස්සේ තබා ඇති බව රහසින් කියා දුන්නේ ය. අප ජීවත් වන්නේ පටලැවුන විශ්වයකය.ඔබ මෙහි කරන කුඩා හෝ කාව්‍යමය වෙනසක් එක සැනෙකින් විශ්වයේ අනෙක් කෙළවරකට දැනෙනු ඇත.

(උසස් පෙළ ගණිත අංශයේ ඉගෙන ගනිමින් සිටිය දී රසායන විද්‍යාව එපා වී ගෙදර නවතින්නට හදන ව්ට "තමුසේ කලා පංතියට යනවා" යැයි විදුහල්පති කුලරත්න කීවේ ය. එකල අප අත පැවති සෝවියට් රුසියන් ප්‍රචාරක සාහිත්‍ය වෙනුවට ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන්නැයි උනන්දු කළේ හංගමුවේ පියසේන ගුරු සහ මුද්දුවේ ජයරත්නනාදන් ගුරු ය. කොළඹ දී විද්‍යාවේ දර්ශනය සහ ජාතික චින්තනය ඉගැන්වූ මහචාර්ය නලින්ද සිල්වා සහ ඔහු සමග අනේකවාරයක් පැටලුණ Nirmal Dewasiri දේවසිරි හමුවිය. මේ ප්‍රහසනය අයිති ඔවුන්ට ය.)

 

karu

කරු පරණවිතාන

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න