යුගයක් පහදන දෙනවක ඉතිහාස පොත

යුගයක් පහදන දෙනවක ඉතිහාස පොත

රත්නපුර කහවත්තේ හිරමඩගම වලව්වේ විසු ඊ. ඒ. දෙල්ගොඩ සිය නිවසේ තිබු වටිනා පුස්කොළ පොතක් 1938 පෙබරවාරි 12 වෙනිදා ඉංග්‍රීසි ආණ්ඩුව පත්කළ අත්ලිපි කොමිසමට භාර දුන්නේය. මෙය, අප රටේ එක් රාජධානි යුගයක් සහ විශේෂයෙන් එම යුගයේ රත්නපුරයේ සමාජ දේශපාලන ඉතිහාසය විස්තරාත්මකව ගොඩනැගීමට අදටත් ඉවහල් කරගත හැකි මහඟු ඉතිහාස මුලාශ්‍රයකි.

rathnapuraහිරමඩගම වලව්වමේ දෙනවක අත්තන්හරි අබය අලහප්පෙරුම විජයවර්ධන 1585දී ලියු "සීතාවක සටන' කෘතියයි.

නමුත් මේ පුස්කොළ පිටපත ශුද්ධකර සංස්කරණය කිරීම විවිධ හේතුනිසා ප්‍රමාද විය. ඒ නිසා ලංකාවේ පෘතුගීසි යුගය ගැන ලියු මුල්කාලීන ඉතිහාසඥයන්ටත්, විශේෂයෙන් සබරගමුවේ ඉතිහාසය ලියූ වියතුන්ටත් මේ වැදගත් ඉතිහාස මුලාශ්‍රය මගහැරුණි.

මේ ගැන ආචාර්ය ආනන්ද ගුරුගේ මෙසේ පවසයි.

''සාහිත්‍ය කෘතියක් වශයෙන් මෙහි වැදගත්කම කුමක් වුවද සමකාලීන ඉතිහාසය ගැබ් කොට ඇති ලේඛනයක් වශයෙන් ඉතා වැදගති. මායාදුන්නේ රජු විසින් කෙරුණු ප්‍රධාන සටන් කිහිපය පිළිබඳ මෙතරම් සවිස්තරව තොරතුරු සොයාගත හැකි අන්‍ය ලේඛනයක් සොයාගත නොහැකි තරම්ය"

seethawaka

සීතාවක යුගය (1521-1584) පිළිබඳව පමණක් නොව විශේෂයෙන් මේ යුගයේ රත්නපුරයේ සමාජ දේශපාලන ඉතිහාසය හැදෑරීමේදීත් මේ කෘතියට ඇත්තේ ඉහළ වටිනාකමකි.

මේ කෘතියේ කතුවර දෙනවක අත්තන්හරි අලහප්පෙරුම යනු කෝට්ටේ ධර්මපාල රජු ක්‍රිස්තියානිය වැලඳ ගැනීම නිසා අමනාපයට පත්ව, සීතාවක මායාදුන්නේ රජුට සහ ඔහුගේ පුත් රාජසිංහ රජුට එකතු වී මෙම රජුන්ගගේ යුධ සෙනෙවියකු ලෙස සහ මැණික් කර්මාන්තය ඔස්සේ සීතාවක රාජ්‍යයට ආදායම් රැස්කළ පැල්මඩුල්ලේ ජනප්‍රධානියෙකි.

සිංහලයේ ප්‍රථම සටන් කාව්‍ය

ඔහු මෙම කෘතියෙන් කරන්නේ මේ රජුන් දෙදෙනා, වීදියේ බණ්ඩාරට සහ පෘතුගීසින්ට එරෙහිව කළ යුද්ධ මාලාව පිළිබඳ කාව්‍යයාත්මකව විස්තර කිරීමය.

මෙය දැනට දක්නට ලැබෙන සිංහලයේ ප්‍රථම සටන් කාව්‍ය ලෙසද හැඳින්විය හැකිය. කවි 1120 කින් සැදි දිර්ඝ කාව්‍යයක් වන මෙහි, විජයබා කොල්ලය, බුවනෙකබාහු රජු වෙඩි වැදී මිය යෑම, වීදියේ බණඩාරගේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඔහුගේ මිය යෑම, මායාදුන්න- රාජසිංහ පිය පුතු දෙරජුන්, සබරගමුව හරහා ගිය ගමන් බිමන්, සේනා සංවිධානය කළ ආකාරය, යෙදු ආරක්ෂක උපක්‍රම, අයබදු එකතු කළ ආකාරය,කළාවූ යුධ සටන් සහ ජනප්‍රධානීන්ට විවිධ ගම්වර ආදිය ප්‍රදානය කළ ආකාරය ගැන විශාල විස්තරයක් මෙහි ඇත.

wijaya

මේ විස්තරය නියම අයුරින් විමර්ශනය කළහොත් රත්නපුරයේ ඉතිහාසය නැවත ලිවීමට සිදුවනු ඇති බව මගේ හැඟීමය. මේ ලිපිය ලියන්නේ ඒ සඳහා ඉඟි කිහිපයක් ලබා දීමට ය.

රත්නපුරයේ සැරිසැරූ මායාදුන්නේ රජු

මේ පොතේ 276-293කවිවලින් මායාදුන්නේ රජු රත්නපුරයේ සැරිසැරූ ගම් ප්‍රදෙශ ගැන විස්තර වෙයි. ගොඩකවෙල, කහවත්ත, දෙනවක, පතුල්පාන, බටුගෙදර,කුරුවිට පනාවල ඒ අතර වේ.

උදාහරණ-

නිමල් ගුණැති ශ්‍රී පුර පසු කරමින්

පතුල්පාන කඩවත පසුකර වඩිමින්

කෘතියේ වඩාත් දීර්ඝ විස්තරයක් එන්නේ රත්නපුරයේ ජනප්‍රධානීන් ට ගම්වර ප්‍රධානය කිරීම පිළිබඳව ය.

''බ්‍රාහ්මණ මුදලිට -ඇහැළියගොඩ, අමරසේකර මුදලිට- ගොඩිගමුව, අබයසිංහ මුදලිට-මාරලිය, චන්ද්‍රසේකර මුදලිට-ම්ල්ලවිටිය, ජයබාහු මුදලිට- ගොඩිගමුව, වන්නිගට- නියම්ගම,විජයතුංගට- පනාමුර, වෙල්ලත්තට්ටු තන්තිලට-මාරපන, පේඩිගේ තන්තිලට- නිවිතිගල, පෙරුම්පුල්ලිට- බටුගෙදර,ඒකනායක මුදලිට- ඉද්දමල්ගොඩ, මනන්පොඩිට - වළඳුර,මනන්පේඩි ආරච්චිට- ගනේගොඩ, වික්‍රම වීරසේකරට- ලෙල්ලෝපිටිය, ජයවර්ධන, විජයවික්‍රම සහබන්ධු, වීර දිවාකර,වෙල්ලප්පුලි, වීරප්පුලි යන පරපුරට පාතකඩ සහ දෙනවක, විරවික්‍රම සහ බද්ධුගේ සහෝරයාට, පාලුගම්පොල, කිරිවැල්දෙනිය සහ උඩුදලුව, ගම්මහගෙට- බෝගොඩ (අරඹ), පේඩිගේ තන්තිලට සහ පතිරණට- ගොඩගම සහ වැල්ලදුර, සුදහින්න තන්තිලට- බෝපිටිය,කොඩිප්පුලි ආරච්චිට- රිල්හේන ගම, පේඩිගේ ඇසිලිට - නාරන්ගොඩ, කුඩා ගම්මහෙට- බත්ගම්ගොඩ,වීදියෙ තන්තිලට- බොරාල, විජයතුංග තන්තිලට- ඊරියන්දළුව,ජයලත් ගම්මහෙට- මොරතොට, වීරපුල්ලි මුදලිට- කුට්ටපිටිය, ඊස්සර දාස, තුල්සිදාස, මොල්ලිදාස, රාමදාස, සේනාපතිර හා බ්‍රාහ්මණ තන්තිලට ගනේගම, පිහනගෙ රාල, මඩම්පිලිගල රාල සහ පේඩි දුරට - පැල්මඩුල්ල, දුනුසිංහ කුරුප්පුට- පනාවැන්න, තන්තිලට නීල ගම''වශයෙන් එම දිිර්ඝ විස්තරයෙහි දැක්වේ. (කවි- 353- 443).

උදාහරණ

වීරවික්‍රම සහබද්දුගෙ මලයට

පාලුගම්පල උඩුදළුව බාරකොට

කිරිවැල්දෙනිය සහ තුට

තනා ගේ දොර ඉණ්ඩ කී විට (415)

දීරකම පෙර හිට

වීර විකුමෙන් තුට

වීරසේකර හට

ලැබුනි ලෙල්ලෝපිටි ය උන්හට

( 408)

පිහිනගේ රාලට

මඩම්පිලිගගල රාල ට

කැටුව ආ පේඩි දුරයට

බාර කරමින් පැල්මඩුල්ලට. (441)

මේ දිර්ඝ ගම්වර ප්‍රධාන විස්තරයෙහි අදටත් අදාළ සමාජ විද්‍යාත්මක වැදගත් කමක් පවතී.

පතල් කර්මාන්තය පිළිබද වැදගත් විස්තර

ඊළඟ වැදගත් විස්තරය එන්නේ පතල් කර්මාන්තයට අදාළවය. ඒවා සිදු කළ ගම් වශයෙන්: මුද්දුව, වෙරලුප, දෑල, මවුදැල්ල, මාරපන,නිවිතිගල,මඩලගම,කරවිට, නිරිඇල්ල ආදිය සඳහන් වේ.

pathal1

එසෙම ආරක්ෂක මුරපොළවල් ගණනාවක් පිහිටා තිබු බව මෙහි විස්තර කරයි. වැලිහිඳ, ලෙල්ලෝපිටිය, මොරතොට ආදී මුරපලවල් වීශේෂ ය.

උදාහරණ,

ලෙල්ලෝපිටිය කඩවත

කරවමින් බලයුත

මුරයට නියම සත

දිප්පිටිගලින් සලසත. (621)

වැලිහිඳ කඩවතට

පැල්මඩුල්ලෙන් මුරයට

නියම කර පෙර හිට

සලසමින් හිටිනට (620)

ප්‍රධානින් ගේ යුද සහය

රාජසිංහ රජු රජවීමට පෙර ගමන් ගත් ගම් ප්‍රදේශ ලෙස, අමිතාගොඩ, කහහේන, කොස්ගොඩ, කඳන්ගොඩ, කුරුවිට මූකළාන ආදීය ගැන සඳහන් වේ.

විශේෂය වන්නේ ඉහත ගම්වර ලැබු ප්‍රධානීන් මේ සමයේ ඇවිලී ගිය යුද්ධවල සටන් කළ ආකාරය විස්තර කිරීමය. දිරියෙන් සටන් කළ අය අතර, කුරුප්පු, ඒකනායක, සමන්ගිර පතිරැන්නැහැ, වේරගොඩ මැති, දෙල්ගොඩ මුදලි, පරගල මනරම්අප්පු, කරවිට ආකරරත්න මුදලි, ගොඩවෙල මැති, වීරසේකර, සේනානායක, වීරවික්‍ර වෙල්ලපුපුලි, මනම්පේඩි ආරච්චි, අමරකොන්, අභයකෝන්, දම්මුල්ලේ මැති,කහඳවල මැති,චන්‍ද්‍රාස්න මුදලි, ගොලහැල, අතුල්පාන යන අය ගැන විස්තර වී තිබේ.

උදාහරණ

කරවිට ආකරරත්න මුදලියා

දුරහිට ඇවිදින් මේ රට හිටියා

තරඟෙට කඩුවක් ගනිමින් හිටියා

පෙර හිට රුපු හට බැට දී සිටියා.

මේ සටන්වලින් පසු පොතේ කතුවරයා දෙනවකට වී වාසය කළ බව පෙනේ. ඔහුගේ මිතුරු සහබද්ධු මුදලිද පාතකඩ නිවාසයක් තනාගෙන විසු බව පෙනේ.

මේ කෘතියේ සඳහන් රණකාමී පරපුර මේ කෘතිය ලිවීමෙන් දශක තුනකට පසු මහා භීෂණයකින් අවසන් වුණ යුද්ධයකට මුහුණ දුන්හ. ඒ ලෙල්ලෝපිටියේ සිදුවු මහා පෘතුගීසි සටනයි. ඒ ගැන වෙනත් ලිපියකින් ලියමි.

gannoru

මෙම දෙනවක ඉතිහාස පොතේ අංග සම්පූර්ණ සංස්කරණයක් මුල්වරට කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය රෝහිණී පරණවිතාන යි. එය වටිනා ශාස්ත්‍රීය මෙහෙවරකි. එම සංස්කරණ පිටපතක් මට ලබා දුන්නේ එහිම ඉතිහාස මහචාර්ය Nirmal Dewasiri බව දෙදෙනාටම ස්තුති පුර්වකව සඳහන් කරමි.

 

karu

 

කරු පරණවිතාන

 

 

 මූලාශ්‍ර - සටන්කරුවකු අතින් ලියැවුණු ‘සීතාවක හටන’ සියවස් 5කට පසු එළිදකී

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න