සජිත් ගේ දේශපාලන සතිය - ගල්අඟුරු ටෙන්ඩරයෙන් දැළි; ගෑස් ටෙන්ඩරයෙන් ගිනි; දැන් ආණ්ඩුවට සොරි…

සජිත් ගේ දේශපාලන සතිය - ගල්අඟුරු ටෙන්ඩරයෙන් දැළි; ගෑස් ටෙන්ඩරයෙන් ගිනි; දැන් ආණ්ඩුවට සොරි…

බාල ගල්අඟුරු කතාව පොහොට්ටුවේ DV චානක මන්ත්‍රීවරයා මුලින් ම එළියට දැමූ පසු ඒ ගැන කරුණු සොයන්නට පටන් ගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබයේ: අජිත්, මරික්කාර්, වරුණ රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ය.

අනුර ගෙ ආණ්ඩුව ගල්අඟුරු මංකොල්ලයක...?

mari1

පාර්ලිමේන්තුවේ දී රැස්වූ යටිතල පහසුකම් සහ උපායමාර්ග පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී, ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඉදිරිපිට ම සජිත් ප්‍රේමදාස දිග හැරපු එම ආයතනවල වාර්තා නිසා මේ බාල ගල්අගුරුවලින් සිදුවෙච්ච පාඩුව දැන් රටටම හෙළිවී තිබේ. ඒ ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නිලන්ත සත්සර ගමගේත් අපුරු සටහනක් තබා තිබුණි.

''අනුරගෙ ආණ්ඩුව මහ දවල් අමු අමුවේම ගල් අඟුරුවලින් මංකොල්ල කති...'' යනුවෙන් ඒ සටහන ආරම්භ කර තිබූ නිලන්තගේ සටහන මෙසේ ය..

“අනුරගේ ආණ්ඩුව බාල ගල්අඟුරු දැලි සියොලඟෙහි ගා ගනිමින් ඇත, මේ වන විට ගෙනවිත් ඇති ගල් අඟුරු නැව් හයෙන් පහක ම ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවත් එහි මුහුණත මුල්‍යමය අලාභය පමණක් රු බිලියන දෙක ඉක්මවා ඇති බවත් වාර්තා වේ. ඒ මැෂින්වලට වූ හානිය, පරිසර හානිය සහ සමාජීය හානිය තක්සේරු නොකර ය.

එසේ කියන නිලන්ත දීර්ඝ විස්තරයකින් පසු සටහන අවසන් කර තිබුණේ ''හොරූ අල්ලන්න පැමිණි අනුර කුමාර දිසානායක ගෙ ආණ්ඩුව මහ දවල් අමු අමුවේ ම හොර කමේ යෙදෙමින් ඇත,'' කියා ය.

කරළියේ දී ඇමතිල ගේ කට වහපු වරුණ 

waruna

මේ සතියේ ITN නාලිකාවේ කරළිය වැඩසටහනට ආපු සමගියේ වරුණ රාජපක්ෂ මේ ගල්අඟුරු වංචාව ගැන හෙළි කරද්දී, ආණ්ඩුව පැත්තෙන් ආපු නියෝජ්‍ය ඇමති රත්න ගමගේට සහ චන්දන සූරිආරච්චි මන්ත්‍රීවරයාට කට උත්තර නැති විය. අවුරුදු එකහමාරක් ගතවෙද්දී ආණ්ඩුව දූෂණ ගොඩක පැටලී ඇත. ඒ, වරායෙන් කන්ටේනර් 323ක් පැන්නීම, බාල ඖෂධ ආනයනය සහ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම ය.

විපක්ෂ නායක කාර්යාලයේ දී රැස්වූ පක්ෂයේ කළමනාකරණ කමිටුවේ දී ද සජිත් වැඩි අවධාරණය කර තිබුණේ, මේ ආණ්ඩුවේ වංචා දූෂණ ගැන රටට හෙළිදරව් කරන යාන්ත්‍රණයක් සකස් කිරීම ගැන ය.

“දැන් මේ ආණ්ඩුවේ වංචා තුනක් අතේ මාට්ටු. කන්ටේනර් වංචාව, බාල ඖෂධ වංචාව, ගල්අඟුරු වංචාව… මේ ගල්අඟුරු වංචාවේ පාඩුව අපි හිතවනටත් වඩා ලොකුයි,”

සජිත් මේ ගැන අවධාරණය කළේ, විදුලිබල මණ්ඩලයේ වාර්තාවත් ළඟ තියාගෙන ය.

“වරායට ආපු ගල්අඟුරු නැව් පහම ප්‍රමිතියෙන් තොරයි, මේ නිසා දැනට විදුලි ජනනයට සිදුවෙන පාඩුව රු. මිලියන 2796යි. නොරොච්චෝලේ බලාගාරයට සිදුවූ නඩත්තු පිරිවැය මිලියන 230යි, මුලු වියදම රු. මිලියන 3026යි. සැපයුම්කරුගෙන් දඩ ගහලා ආණ්ඩුවට ලැබෙන්නේ රු. මිලියන 1037යි, එතනම වෙනස රු. මිලියන 2000ක්. මේ ගල් අගුරුවලින් අඩුවෙන විදුලි ප්‍රමාණය ඩීසල් බලාගාරවලින් ගත්තම ඒකකය රු. 60 විතර වෙනවා, ගල්අඟුරුවලින් ගත්ත නම් ඒකකය රු 24/= යි ඒ වැඩිවෙන ගාණ මේකේ දාලත් නෑ, මේක අන්තිමට අයකර ගන්නේ ජනතාව ගේ විදුලි බිලෙන්. තව නැව් 20ක් විතර එන්නත් තියෙනවා, ඒවත් බාල උනොත් පාඩුව රු බිලියන 100කටත් වැඩීයී. මේක තමයි ඉතිහාසයේ කරපු ලොකුම වංචාව, මේක සුදුකරපටි වංචාවක්. ඇයි මම එහෙම කියන්නේ, ජනතාවට කියනවා දඩ ගහලා පාඩුව නැතිකරනවා කියලා. ඒත් ඇත්තට ම බැලුවොත් ඒක එහෙම වෙන්නේ නෑ. ආණ්ඩුව හොරකම් කරලා ඒක දඩයෙන් වහන වැඩක් කරන්නේ, මේකට නම් අපිට ලොකු මැදිහත්වීමක් කරන්න වෙයි.”

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මරික්කාර් ඒ මෙහොතේ ම මාධ්‍ය හමුවක් කැඳවා ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රටට ම හෙළි කළේ ය. ඒ වගේම ඉරිදා අජිත් පී. පෙරේරා පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවට පැමිණ මේ ගල්අඟුරු වංචාවේ සුළ මුල හෙළි කරන්නට කටයුතු කළේ ය.

ගල්අඟුරු අස්සේ ඇවිළුණු ගෑස්

ආණ්ඩුවේ බාල ගල්අඟුරු නිසා වෙච්ච පාඩුව ගැනත්, ගෑස් ටෙන්ඩරය හරහා රට පුරා ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවත් මුලින්ම රටට කිව්වේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය. ඒ, මීට සති ගණනකට පෙර ය.

sajith1

ඒත් ඒ ගැන එදා රට එතරම් ලොකු තැකීමක් නොකළත්, අද වනවිට වරායට පැමිණි ගල්අඟුරු නැව් අට ම ප්‍රමිතියෙන් තොර බව ඔප්පු වී තිබේ.

ඊට අමතරව රටේ දැන් ගෑස් පොලිම් ය. ගෑස් ටෙන්ඩරය අලුත් සමාගමකට ලබාදීම හරහා පැනනැගී ඇති මේ ගැටලුවත් සජිත් කල් තියා හඳුනාගෙන රටට කිව්වත්, ඒවාට බොරු බිල්ලන් මවන බව කියමින්, ආණ්ඩුව සජිත්ට හිනා වුණේ ය. මේ අස්සේ කොන්ෆරන්ස් කෝල් එකක් ගත් සජිත්: ගල්අඟුරු වංචාවත්, ගෑස් අර්බුදයත්, වැඩි කරන්නට සැරසෙන විදුලි බිල ගැනත්, අලුත් විදුලිබල පතන හරහා විදුලි පාරිභෝගිකයා සූරා කන්නට හදන ක්‍රමවේදය ගැනත් රටට පැහැදිලි කරන ලෙස කණ්ඩායමකට භාර කළේ ය. මන්ත්‍රීවරුන් වන අජිත් පී. ටත් මරික්කාර්ටත් වෘත්තීය සමිතිවලින් ආනන්ද පාලිතත්, නිරෝෂන් පාදුක්කත් සම්බන්ධ කරගත් සජිත්, සංජීව ධම්මික සම්බන්ධ කරගත්තේ විදුලි පාරිභෝගිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු නිසා ය.

gal1

gal2

“ දැන් රටේ බලශක්තිය අර්බුදයකට යමින් තියෙන්නේ, මේ ගල්අඟුරු වංචාවයි, ගෑස් අර්බුදයයි, අසාධාරණ ලෙස වැඩි කරන්නට යන විදුලි බිලයි ගැනයි දිනපතාම රටට කියන්න. මේ ආණ්ඩුවේ දූෂණයි, ජනතා විරෝධී වැඩපිළිවෙළයි ගැන අපි ජනතාව දැනුවත් කරන්න ඕන.”  

සජිත් දුන් මේ උපදෙසට වහාම ක්‍රියාත්මක වෙච්ච ඒ ටීම් එක “රටට මොකද වුණේ, ගල් අඟුරු වංචාවේ හෙළිදරව්ව” නමින් දිනපතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ කතාව රටට කියන මෙහෙයුමක් ආරම්භ කළේ ය.

sjb

ඒ අතර ම සිකුරාදා අල්අඟුරු ගැන පාර්ලිමේන්තුවේ තිබුණු විවාදය අස්සේ සජබයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුව ඉදිරිපිට මාර්ගයට පැමිණ විරෝධතාවයක් ද සුදානම් කළේ, රටේ ම අවධානය මේ සිද්ධියට යොමු විය යුතු බව අවධාරණය කරමිනි.

එංගලන්තයේ නියෝජ්‍ය අගමැති දෑතම අල්ලා සජිත්ට දුන් සහතිකය 

එක් දින නිල සංචාරයකට අඟහරුවාදා ලංකාවට ආපු එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී, ජනාධිපති අනුර කුමාර හමුවී ඊළගට ආවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ජා කරන්න යි. නියෝජ්‍ය අගමැතිවරයාව විපක්ෂ නායක කාර්යාලයේ දොරකඩටම ඇවිත් සුහදව පිළිගත් සජිත් තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම හඳුන්වා දීමෙන් පසු සාකච්ජාවට වාඩි විය.

lmi1

දෙරට අතර වෙළඳ ප්‍රතිසංස්කරණ, දිට්වා ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අවස්ථා ගැන වැඩියෙන් අවධානය යොමු කරපු මේ සාකච්ජාව ඉතාම සුහද ශීලී විදිහට පැවැත්වී තිබුණි.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වෙළඳපොල ගැන වැඩි අවධානයක් යොමු කළ සජිත්, මේ සාකච්ජා අවසානයේ අලි පැටියෙකු ගේ රාමු කළ ජායාරූපයක් නියෝජ්‍ය අගමැතිට තෑගි දී තිබුණි.

සජිත්ව දෑතින්ම අල්ලගත්ත ඩේවිඩ් ලැමී නියෝජ්‍ය අගමැතිවරයා කියා තිබුණේ “ඔබ හරි සුන්දර මිනිසෙක්, ඔබට රටේ ජනතාව ගැන ලොකු හැඟීමක් තියෙන බව මට මේ කරපු කතාබහේ දී තේරුණා. ඔබට රට ගැන ලොකු දැක්මක් තියෙනවා. මම සුබ පතනවා, ඔබ ඔබේ රට වෙනුවෙන් සිදු කළ ඉල්ලීම් සියල්ල ගැන අපි සලකා බලන්න සූදානම්, මම ලන්ඩන් ගියපු විගස ඔබට කතා කරන්නම්,” කියා ය.

ආණ්ඩුවට ඩෝං ගිය සජිත් ගේ ගැස්ට් එක

කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නැති බවට කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රී පොල්රාජ් පවසද්දී විපක්ෂ නායක සජිත් ඊට අදාළ ගැසට් පත්‍රයේ පිටපත සභාගත කිරීම හේතු කරගෙන බදාදා පාර්ලිමේන්තුව උණුසුම් විය. 

sajith2

සභානායක බිමල් සජිත් ගේ කට වහන්නට සැරසීමත් සමග වහාම ක්‍රියාත්මක වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, බිමල්ට කට වහගන්න ම දෙසන්නට විය.

“සභානායක, කථානායක වෙන්න ගියහම හැමදාම ප්‍රශ්ණ, නෝනයි, මහත්තයයි පාර්ලිමේන්තු ඇවිල්ලා වෙච්ච දෙයක්,” යැයි කියමින් චමින්ද විජේසිරි බිමල්ට රිදෙන්නම ගහද්දී, ඊළඟට නෙළන්නට පටන් ගත්තේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ය.

“ අනුර කුමාර කිව්වේනම් පවුල් දේශපාලනය අවසන් කරනවා කියලා, ඒත් අනුර කුමාර නෝනයි - මහත්තයවයි, තාත්තවයි - පුතාවයි පාර්ලිමේන්තු ගෙනාවා. Girl friend - boy friend වත් ගෙනාවා, boyfriend - boyfriend විතරයි ගෙනාවේ නැත්තේ, දැන් ඒකත් හොයන්න ඕන”  මේ කතාවට නම් පක්ෂ විපක්ෂ හැමෝටම වගේම කතානායක පුටුවේ හිටපු නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිටද හිනාව නතර කරගන්නට බැරි විය.

බදාදාට යේදී තිබූ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපුවේ, පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලය තුළ ය.

මේ අවස්ථාවට ආපු රවී කරුණානායක සජිත් ළඟට ඇවිත් කිව්වේ, “ඇත්තටම බිමල් හරි සවුත්තු විදිහට තමයි හැසිරෙන්නේ, එයාට මතක නෑ එයා සභානායක කියලා, දැන් මහ සවුත්තු කතා කිය, කිය වලිදාගන්න එක එයාගේ පුරුද්දක්, මම හොඳට ෆලෝ කළා එයා ඒ වලි හරහා කරන්නේ අපේ ඇටෙන්ෂන් එක බිඳින එක, විශේෂයෙන් ඔයා හොඳ වැදගත් දෙයක් කියන හැම අවස්ථාවක ම එයා ඒ වැඩේ කරනවා. මොකද රෑට මීඩියාවල යන්නේවලිය මිසක්, ඔයා අර මතුකරන වැදගත් කෑල්ල නෙමෙයි.”

සජිත්ද එය අනුමත කළ අතර, “ රවී ඔයා හරි, පහුගිය කාලසීමාවෙ ම බිමල් ගෙ හැසිරීම දිහා බැලුවම ඔයා ගේ නිගමනය තහවුරුයි. එයා කරන්නේ අපේ ෆෝකස් එක වෙන තැනකට දාන්න හදන එක තමයි.”

ඒ අස්සේ ජේ.සී ගෙනත් කවපු කේක් කෑල්ලකත් රස බලපු සජිත් සහ රවී ඉදිරි දේශපාලන කටයුතු ගැන

හදිස්සියේ සජිත්ව හමුවූ මෛත්‍රී

විටෙක රනිල්ටත්, තවත් විටෙක සජිත්ට සහය දැක්වූ හිටපු ආණ්ඩුකාරවරයකු වූ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න යළිත් වරක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබුණි.

ranil1

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සහ සන්ධාන ගතවීම් ගැන කතාබහක් සිදුව තිබූ අතර, විපක්ෂ නායක සජිත් අවධාරණය කර තිබුණේ තමන් මේ අවස්ථාවේ වැඩිම අවධානයක් යොමු කරන්නේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතාව ඇතිකර ගනිමින් සන්ධාන ගතවීම ගැන බව ය.

“මගේ ප්‍රධාන අවධානය අපියි, UNP එකයි එකතු කිරීම ගැන. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. ඊට පස්සේ තමයි මම අනිත් අයව එක්ක සන්ධාන ගතවීම් ගැන කතා කරන්නේ. අපිත් එක්ක මෛත්‍රීලටත් වැඩ කරන්න පුලුවන්. මම කොහොමත් ඔය සජබ - යු.එන්.පී. පොදු වේදිකාව හදන වැඩේ ඉක්මනින්ම ඉවර කරනවා.”

මෙහි දී සජිත් වැඩි වශයෙන් පෙන්වාදී ඇත්තේ, මේ අවස්ථාවේ කාන්තාවන් ගේ ගැටලු, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගේ ගැටලු වගේම ත්‍රස්ත මර්ධන පනත, සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත යනාදි පනත් හරහා ආණ්ඩුව සිදු කිරීමට යන මර්දනයට එරෙහිව එක් හඬකින් ක්‍රියා කළ යුතු බවයි.

“අපි කාන්තාවන් ගේ ගැටලු කතා කරන පොදු වේදිකාවක් හදන්නයි යන්නේ, මෛත්‍රී දන්නව ද... අපි පක්ෂයට කොළ, කහ පාටට අමතරව තැබිලි පාටත් එකතු කරලා තියෙන්නේ, ඒකෙන් නියෝජනය වෙන්නේ කාන්තාව. මම විශ්වාස කරන්නේ වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තිමය එකඟතා. එහෙම නැතුව පුද්ගලයින් එක්ක සන්ධාන ඇතිකර ගන්න මගේ විදිහ නෙමෙයි. මොකද මිනිස්සු ඉන්නේ දේශපාලන පක්ෂ එක්ක. පක්ෂ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ වටා තමයි එකතු වෙන්නේ.”

 

මම | බංගලා හංදියේ ලියුම්කරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න