බලශක්ති අමාත්‍යාංශය ජාතික විදුලි බල ප්‍රතිපත්තියක් පිළිබඳ කෙටුම්පතක් සකස් කර ඒ පිළිබඳව මහජන අදහස් කැඳවා ඇත.
එම අදහස් පෙබරවාරි 18වන දිනට පෙර විද්‍යුත් හෝ සාමාන්‍ය තැපෑල මගින් අමාත්‍යාංශයට යොමු කළ යුතු බව මෙහි අග ඇති එම අමාත්‍යාංශ වේබ් පිටුවේ සඳහන් වේ.
ප්‍රාග්ධනය, ඉඩම් හා ශ්‍රමයට අතිරේකව බලශක්තිය ද ආර්ථිකයේ අත්‍යාවශ්‍ය මූල සාධකයක් ලෙස සැලකිය යුතු නමුත් ජාතික බලශක්ති ප්‍රතිපත්තිය කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු හා පක්ෂ දේශපාලන දේශනා සහ සාකච්ඡාවල අසන්නට ලැබෙන්නේ නැති තරම් ය. යෝජිත කෙටුම්පතෙහි දිශානතිය (Orientation) මුළුමනින් ම වෙනස් කළයුතු බව පෙන්වා දෙමින් මා බල ශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවූ විද්‍යුත් ලිපියේ පරිවර්තනයක් පහත දැක්වේ.
ලේකම්, බලශක්ති අමාත්‍යාංශය.
විෂය: යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම
ලේකම් මහතාණනි...,
යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් දැක්වීමට ලබා දුන් අවස්ථාව පිළිබඳව මාගේ ස්තූතිය පිරිනමමි. ප්‍රතිපත්තියේ එක් එක් වගන්ති පිළිබඳව වෙන වෙනම අදහස් දැක්වීමට වඩා, සමස්ත ප්‍රතිපත්ති රාමුවේ දිශානතිය මූලික වශයෙන් නැවත හැඩගැස්වීමේ අවශ්‍යතාව පිළිබඳව මෙම යෝජනාවලිය මගින් අවධාරණය කිරීමට මම කැමැත්තෙමි.
දැනට පවතින කෙටුම්පත 20 වන සියවසේ පැවති මධ්‍යගත උත්පාදන සහ සම්ප්‍රේෂණ ආකෘතිය මතම පදනම් වී ඇත. කෙසේ වෙතත්, ජර්මනිය සහ ඩෙන්මාර්කය යනාදි රටවල සාර්ථක බලශක්ති සංක්‍රාන්ති අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ, රජයේ ඉලක්කය වන 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය කරා හුදු ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන මධ්‍යගත ප්‍රවේශයකින් පමණක් යා නොහැකි බවයි. ඒ වෙනුවට, විදුලි උත්පාදනය සහ පරිභෝජනය ප්‍රාදේශීය සභා/නගර සභා මට්ටමින් කළමනාකරණය කෙරෙන විමධ්‍යගත පද්ධතියක් (Decentralized system) කරා අප මාරු විය යුතු ය.
මෙම වෙනස සඳහා බලපාන තාක්ෂණික සහ ආර්ථික හේතු පහත පරිදි වේ:
1. සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ (T&D) හානිය අවම කිරීම
මධ්‍යගත පද්ධතියක දී, විදුලිය නොරොච්චෝලේ හෝ වික්ටෝරියා බඳු දුරස්ත මධ්‍යස්ථානවල සිට නාගරික මධ්‍යස්ථාන කරා කිලෝමීටර් සිය ගණනක් ගමන් කළ යුතුය. මෙහිදී විශාල තාක්ෂණික විදුලි හානියක් සිදු වේ.
- ඉල්ලුමට සමීප බව:කුඩා හා මධ්‍යම පරිමාණයේ පුනර්ජනනීය බලාගාර ස්ථාපනය කිරීමට පළාත් පාලන ආයතන සක්‍රීය කිරීම හරහා විදුලිය නිපදවන තැන දී ම එය පරිභෝජනය කිරීම තහවුරු කළ හැකි ය. එමගින් පිරිමැහෙන නිෂ්පාදන වියදමේ ප්‍රතිලාභ පාරිභෝගිකයාට ලබා දිය හැකි ය.
- කාර්යක්ෂමතාව ඉහළ නැංවීම:විමධ්‍යගත පද්ධති මගින් අධි-වෝල්ටීයතා සම්ප්‍රේෂණ පද්ධති මගහැර කෙළින් ම බෙදාහැරීමේ ජාලයට විදුලිය සැපයිය හැකි ය. මෙය T&D හානිය සැලකිය යුතු ලෙස අඩු කරයි.
2. "මධ්‍යගත තුලනය කිරීමේ" (Centralized Balancing) බාධක ජය ගැනීම
*වගකීම බෙදා හැරීම:විමධ්‍යගත කිරීම මගින් ප්‍රාදේශීය ක්ෂුද්‍ර ජාල (Local Microgrids) නිර්මාණය කිරීමට ඉඩ සැලසේ. එවිට සෑම පළාත් පාලන බල ප්‍රදේශයකට ම තමන් ගේ විදුලි ඉල්ලුම ප්‍රාදේශීය ගබඩා පද්ධති (BESS) හරහා ස්වාධීනව තුලනය කර ගැනීමට හැකියාව ලැබේ.
*පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව:විමධ්‍යගත ව්‍යුහයක් තුළ දී ජාතික පද්ධතියේ බිඳ වැටීමකදී පවා ප්‍රාදේශීය ජාල ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් (Islanding) අත්‍යවශ්‍ය ප්‍රාදේශීය සේවාවන් සඳහා විදුලිය සැපයීම තහවුරු කරයි.

3. විදුලිබල පද්ධති ආකෘති සංසන්දනය
පද්ධති ලක්ෂණ: මධ්‍යගත පද්ධතිය (වත්මන්) -විමධ්‍යගත පද්ධතිය (යෝජිත)
පද්ධති ස්ථාවරත්වය: පද්ධතිය ම බිඳ වැටීමේ දැඩි අවදානම (වත්මන්) මොඩියුලර් ඔරොත්තු දීමේ හැකියාව (යෝජිත)
T&D හානිය: අධික දිගුදුර සම්ප්‍රෙෂණ හානිය(වත්මන්) හානිය අවමයි ප්‍රාදේශීය නිෂ්පාදනය හා රිභෝජනය නිසා( යෝජිත)
පද්ධති සමබර කිරීම: මධ්‍යගත සීමා නිසා අවහිර වේ (වත්මන්) - ප්‍රාදේශීය කළමනාකරණය හරහා කාර්කයක්ෂම කළ හැකි ය. (යෝජිත)
4. යෝජිත කෙටුම්පත ප්‍රතිශෝධනය කොට එහි දිශානතිය වෙනස් කිරීමට පහත සඳහන් යෝජනා ද ඉදිරිපත් කරමු:

1. ප්රාදේශීය බලශක්ති කලාප (Energy Zoning) නිර්ණය කිරීම: ප්‍රාදේශීය සභා මට්ටමින් "පුනර්ජනනීය බලශක්ති කලාප" හඳුනාගෙන, මෙගාවොට් 10ට අඩු ව්‍යාපෘති සඳහා ජාතික මට්ටමේ සංකීර්ණ අනුමැති රහිතව පෞද්ගලික ආයෝජන කැඳවීමට සභාවලට ඉඩ දිය යුතු ය.
2. පරිභෝජක-නිෂ්පාදක (Prosumer) මධ්යස්ථාන දිරිමත් කිරීම: තනි තනි වහලවල් මත සවි කරන සූර්ය පැනලවලින් ඔබ්බට ගොස්, පළාත් පාලන ආයතන මගින් පාලනය වන ප්‍රජා සූර්ය බලශක්ති ක්‍රමවේද (Community Solar) කරා යොමු විය යුතුය. මෙම ව්‍යාපෘති සඳහා ගම්මානවල පවතින වැව් සහ අනෙකුත් ජලාශ මතුපිට (Floating Solar) මෙන්ම අතහැර දැමූ පුරන් කුඹුරු ඉඩම් ප්‍රමුඛත්වය මත භාවිතා කළ යුතුය. මෙවැනි නිශ්චිත ස්ථාන භාවිත කිරීමෙන්, ආහාර නිෂ්පාදනයට අවශ්‍ය සාරවත් වගා බිම් ආරක්ෂා කරගන්නා අතරම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය විශාල පරිමාණයෙන් ඉහළ නැංවිය හැකි ය.
3. බෙදාහැරීමේ ස්වයංක්රීයකරණය සඳහා ආයෝජනය කිරීම: දැවැන්ත සම්ප්‍රේෂණ මාර්ග සඳහා මුදල් වැය කරනවා වෙනුවට, 'ස්මාර්ට් ට්‍රාන්ස්ෆෝමර්' සහ ප්‍රාදේශීය විදුලි ගබඩා පද්ධති සඳහා ප්‍රතිපාදන වෙන් කළ යුතු ය.
නිගමනය
මධ්‍යගත විදුලිබල ජාලයක් යනු ඩිජිටල් යුගයේ අභියෝග සඳහා පවතින කාර්මික යුගයේ විසඳුමකි. 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය කරා යෑමට නම්, ලංවිම (CEB) හුදු "සපයන්නකුගේ" භූමිකාවෙන් මිදී විමධ්‍යගත ජාලයක "පහසුකම් සපයන්නකු" ලෙස පරිණාමය විය යුතුය. ප්‍රාදේශීය සභා මට්ටමින් විදුලි බල පද්ධතිය විමධ්‍යගත කිරීම ආහාර සුරක්ෂිතතාව රැක ගනිමින් බලශක්ති ප්‍රතිලාභ ජනතාව වෙත සමීප කිරීමට ඇති එකම මාවතයි.
මෙම යෝජනාවලට අනුව දැනට කෙටුම්පත් කර ඇති ජාතික විදුලි බල ප්‍රතිපත්තියේ දිශානතිය පිළිබඳ මූලික වෙනසක් ඇති කරන ලෙස ඉල්ලමි.
මීට,
විශ්වාසී,

විජයානන්ද ජයවීර

