නිදහස වෙනුවෙන් සටන් කළ මුස්ලිම් ජාතිකයෝ

නිදහස වෙනුවෙන් සටන් කළ මුස්ලිම් ජාතිකයෝ

වර්තමානයේ ශ්‍රී ලංකාව 78වන නිදහස සමරන අවස්ථාවේ දී එම නිදහස වෙනුවෙන් ආක්‍රමණිකයින්ට විරුද්ධව සටන් කිරීම හේතුවෙන් දේශ ද්‍රෝහීන් ලෙස නම් කළ මුස්ලිම් දේශප්‍රේමී භුමිපුත්‍රයින් ලෙස:

ත්‍රිකුණාමල ප්‍රදේශය මුඛ්‍ය කරමින් සටන් කළ සෙගු දීදි, පීර් මුහම්මද් මෞලවි, සාලාම් උඩයාර් යන තිදෙනා සහ මඩකළපු ප්‍රදේශය මුල් කරමින් සටන් කල මීරා හුසෛයින් කාරියප්පර්, හුසෛයින් ලෙබ්බේ උදුමා ලෙබ්බේ යන දෙදන මෙන් ම අම්පාර ප්‍රදේශය මුලික කරමින් සටන් කළ අබුබක්කර් ඊසා, අනිස් ලෙබ්බේ දෙදෙනා නම් කළ හැකි ය.

මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ ගෞරවය සහ පිළිකුල

එසේම ඌව වෙල්ලස්ස කැරැල්ලට උරදුන් සිංහල දේශප්‍රේමී භුමිපුත්‍රයන්ව එවක දී අධිරාජ්‍යවාදීන් විසින් මේ ආකාරයට ම දේශ ද්‍රෝහීන් ලෙස නම් කරන ලදී. එසේ නම් කළ දේශ ද්‍රෝහීන්ව බහුතර සුළුජන ජන්ද පදනමින් ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට් පත්‍රිකාවක් තුළින් විරුවන් ලෙස නම් කරන ලදි. එම උතුම් ක්‍රියාව කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත මාගේ උත්තමාචාරය පළ කර සිටින අතර ඔහු අධිරාජ්‍යවාදීන් විසින් දේශ ද්‍රෝහීන් ලෙස නම් කරන ලද නම් මුස්ලිම් දේශප්‍රේමී භුමිපුත්‍ර විරුවන් ලෙස නම් නොකිරීම සම්බන්ධව ඇත්තේ පිළිකුලකි. නමුත් එම රජය තුළ සිටි මුස්ලිම් දේශපාලන නායකයින් පවා මෙම මුස්ලිම් දේශප්‍රේමී භුමිපුත්‍රයින්ව විරුවන් කිරීම වෙනුවෙන් සටන් කිරිමට තියා එකල ඔවුන් මුස්ලිම්වරුන්ව සහ මුස්ලිම්වරුන් ගේ දෙපොළ හා ආගමික ස්ථාන ආරක්ෂා කිරීමට පවා කශේරුකාවක් නොතිබුණි.siddiසිද්දි ලෙබ්බේ

මුස්ලිම්: ආගමික, සිවිල් සහ දේශපාලන නායකයින්

නිදහස සමරන වර්තමාන අවධියේ දී දේශපාලන නායකයින් වශයෙන් බෙදි වෙන් වී සිටිනවා සේ එකල බලය වෙනුවෙන් ශ්‍රී ලංකා භුමිය එකල රජුන් කිහිපදෙනකුට බෙදා වෙන් කරමින් පාලනයක් ගෙන යමින් තිබිම තම වාසියට ගනිමින් පෘතුගීසි, ලන්දේසි එම රජවරුන් සමග තම පාලනය ද එක් කිරීම නිසා ශ්‍රී ලංකා භුමියේ ස්වාධිපත්‍යය බිඳ වැටි තිබුණි. එබඳු සමයක දී එකල ලෝකයේ බොහොමයක් රටවල් ආක්‍රමණය කරමින් සිටි හිරු නොබසින අධිරාජ්‍යවාදීන් වන ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලාංකා භුමිය සහමුලින්ම තම පාලනයට නතු කළ බැවින් එකල ශ්‍රී ලංකාව තුළ විසු සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික සහ දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරකම් තුළට අධිරාජ්‍යවාදීන් ගේ චින්තනය පතුරුවා හරින්නට ඉංග්‍රීසින් ගේ පාලන තන්ත්‍රයට වුවමනා වූ බැවින් ඉංග්‍රීසින් ද ඒ වෙනුවෙන් විවිධ කුමන්ත්‍රණ සිදු කළේ ය.එම නිසා මෙවැනි බලහත්කාර ආගමික හා සංස්කෘතික ආක්‍රමණයට විරුද්ධව දේශප්‍රේමී සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාව සටන් කිරීමට විවිධ අයුරින් සංවිධානගත විය. එසේ සංවිධාන වූ මුස්ලිම් ප්‍රජාව අතර සිටි ආගමික හා සිවිල් නායකයින් වූයේ: සිද්දි ලෙබ්බේ, වාප්පිච්චි මරික්කාර්, ඔරාබි පාෂා, මාපිල්ලෛයි ලෙබ්බේ ආලීම්, අබ්දුල්ලා බින් අල් බාදීබ් අල් යෙමනි, අයි.එල්.එම්. අබ්දුල් අසීස් යනාදිහු ය. ඒ අතර සිටි දේශපාලන නායකයින් වූයේ ආචාර්ය ටි.බි.ජායා, ශ්‍රිමත් රාසික් ෆරීඩ්, ආචාර්ය බදීයුද්දීන් මහ්මුද්, ශ්‍රිමත් මාකාන් මාකාර්, ඒ.එම්.ඒ.අසීස් යන අයවලුන් සදහන් කල හැකිය.

ඔරාබි පාෂා

මුස්ලිම්වරුන් ගේ මුද්‍රිත ප්‍රකාශන

එසේ ආගමික, සිවිල්, දේශපාලන නායකයින් නිදහස වෙනුවෙන් සටන් කරන විට මුස්ලිම් ප්‍රජාව අතර සිටි ජනමාධ්‍යවේදීන් විසින් මුස්ලිම් නේසන්, ඥාණ දීපම්, මුස්ලිම් පාදුකාවලන්, ඉස්ලාම් මිත්තිරන්, ශ්‍රී ලංකා පුරී යනුවෙන් ලිඛිත චින්තන විප්ලවයක් මුස්ලිම් සමාජය තුළ ඇති රෝපණය කළේ ය. මෙයින් අප තේරුම් ගත යුතු වන්නේ එකල මුස්ලිම් ප්‍රජාව අතර සිටි ආගමික, දේශපාලන සිවිල් නායකයින් මෙරට මුස්ලිම්වරුන් ගේ ආගමික, සංස්කෘතික හා දේශපාලන අයිතිය වෙනුවෙන් කළ අපිරිමිත පරිත්‍යාගශිලිත්වය යි. ඔවුන් කළ දේශපාලන කැප කිරිම වර්තමාන ඇතැම් දේශපාලන නායකයින් තම දේශපාලන භාවිතාව සඳහා යොදා ගත්ත ද අතීත නායකයින් සමග සසඳන කල ඔවුන් මුස්ලිම් ප්‍රජාව ගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් කළ කැප කිරිම ශුන්‍ය ය. එසේම එකල සිටි ආගමික නායකයින් මුස්ලිම් ප්‍රජාව ගේ ඉස්ලාම් දහම වෙනුවෙන් ඉදිකළ දේවස්ථාන, ආගමික මද්‍රසා හා පාසැල් තුළ ඉංග්‍රීසින්ගේ එකල තිබු ලෝක භූගෝලීය දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කොන්ත්‍රාත්තු මතවාදයක් ඉටු කිරීමක් ඒ තුළ නොතිබුණි. ඔවුන් සිටියේ ඔටමෝන් පාලනය ආශිර්වාදයෙන් මිස ඔටමෝන් පාලනය බිඳ වට්ටන්න ඉංග්‍රීසින් සමග කුමන්ත්‍රණය කළ ද්‍රෝහීන් සමග නොවන බව වර්තමාන ආගමික නායකයින් තේරුම් ගත යුතු තිත්ත ඇත්ත ය.

සහරාන්ලා බිහි වූයේ ඇයි...?

saharan1සහරාන්

එමෙන්ම එකල සිටි ආගමික, සිවිල්, දේශපාලන මුස්ලිම් නායකයින් විසින් මුස්ලිම්වරුන් වෙනුවෙන් මුද්‍රිත පුවත්පත් නිර්මාණය කර මුස්ලිම් ප්‍රජාව ආගමික, දේශිය හා විදේශිය ලෝක භූගෝලීය දේශපාලන දැනුමෙන් සන්නද්ධ කළ ද වර්තමානයේදී මුස්ලිම් ප්‍රජාවගේ දේශපාලන නායකයින් කර ඇත්තේ කුමක්ද? ඒ වෙනුවට දේශපාලන නායකයින් කර ඇත්තේ ජනමාධ්‍යකරුවන්ව තමන් ගේ පෞද්ගලික දේශපාලන බලය වෙනුවෙන් පාවිච්චි කිරීම ය. නිදහස දිනා ගන්න එකමුතුව ශ්‍රි ලාංකික ජාතියක් වශයෙන් එකට සිටි ජාතින්ව දේශපාලන නායකයින්ගේ බලය වෙනුවෙන් වර්තමානයේ දී බෙදා වෙන් කර ඇත. එසේම යහපාලන සමයේ මුස්ලිම් ප්‍රජාව අතර සහරාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් නව දෙනෙකු බිහි කර, මුස්ලිම් ප්‍රජාව අතර දේශ ද්‍රෝහී පරපුරක් ජනිත කර, බලය වෙනුවෙන් මුස්ලිම්වරුන්ව ආගමිකව හා දේශපාලනිකව බෙදා වෙන් කළේ ද ඇතැම් දේශපාලන නාකයින් ගේ පටු අරමුණු වෙනුවෙනි.

මුස්ලිම් දේශප්‍රේමී භුමිපුත්‍රයින් විරුවන් ලෙස නම් කරමු ද...?

මුස්ලිම්වරුන් ලෝක භූගෝලීය දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මුස්ලිම්වරුන්ව ආගමිකව හා දේශපාලනිකව බෙදා වෙන් කර ඇති බව වර්තමාන පලස්තීන නිදහස් සටන අපට පාඩම් කියා දෙමින් සිටි. එම නිසා එම ලෝක භූගෝලීය දේශපාලන පාඩමෙන් තේරුම් ගෙන අප ආගමිකව සහ දේශපාලනිකව එක්ව ගමන් කළ යුතු කාලය වර්තමානයේ දී උදාවී තිබේ. එය තේරුම් නොගෙන අප ඉදිරියට යැමට සිතුවහොතින් අප නිවටයින් සේ ජීවත් වන්නට සිදුවන බව මතක් කර සිටිමි. එබැවින් 2026 ජන රජය දිනයට ප්‍රථම ඉහත සඳහන් කළ මුස්ලිම් දේශප්‍රේමී භුමිපුත්‍රයන්ව විරුවන් කිරීම උදෙසා අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා වෙත දැන්වීමට මුස්ලිම් ආගමික, සිවිල් හා දේශපාලන නායකයින් එක රොදකට එක් වී සටන් කර 78 වැනි නිදහස් දිනයේ දී හෝ අපෙන් සිදුවිය යුතු වගකීම් වු යුතුකම ඉටු කරන්නට අදිටන් කර ගනිමු.

 

කලීලුර් රහ්මාන්,

කොළඹ නාගරික මන්ත්‍රී,

ජනාධිපති කාර්ය සාධක බලකායේ හිටපු සමාජික.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න