අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට ඔබේ අත උස්සන්න - සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට කියයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට ඔබේ අත උස්සන්න - සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට කියයි

කුහකත්වයෙන් ඉවත් වී අඩුම තරමේ මේ රටේ නිදහස් අධ්‍යාපනය මානව අයිතියක්, මූලික අයිතියක් බවට පත්කරන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට ඔබේ අත උස්සන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ විවාදයට එක්වෙමිනි.

මතු පල වන්නේ එම අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.

අධ්‍යාපන ධවල පත්‍රිකාවක් අවශ්‍ය යි

20250805 104215

''වෙස් මිනිස්ටර් ක්‍රමවේදය තුළ ප්‍රතිපත්ති සම්පාදනය වන විට ග්‍රීන් පේපර් එකක් සකස් වෙනවා. සාකච්ඡාමය ක්‍රියාවලියක් ක්‍රියාත්මක වනවා. එය වයිට් පේපර් එකක් ලෙස ඉදිරියට යනවා. ඒ වයිට් පේපර් එකේ නිගමන තුළ තමයි ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ශක්තිමත්ව ගමන් කරන්නේ. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණç පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකට සීමා වෙලා තිබෙනවා. ග්‍රින් පේපර් එකකුත් නැහැ , වයිට් පේපර් එකකුත් නැහැ. white paper එකේ තිබිය යුතු දේවල් පිළිබඳ අවබෝධයක් නැති පිරිසක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරන්නේ.

මේ කාරණය පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ ඇයි? අපේ රටේ තිබෙන්නේ යල් පැනගිය ගිරා පෝතක කටපාඩම් විභාග ක්‍රමයකට පමණක් සීමා වුණ අධ්‍යාපන ක්‍රමයක්. විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය වන්නට නම් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුම සැපයුම මත ඒ අවශ්‍යතාවය නිර්මාණය වන නිපුණතාවයෙන් කුසලතාවයෙන් පිරි ශ්‍රම බලකායක් නිර්මාණය විය යුතුයි. ඒ නිසා අධ්‍යාපන ධවල පත්‍රිකාවක් අවශ්‍ය වෙනවා. විධිමත් සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු ලෙස , ප්‍රීතිමත් හා නිරෝගිමත් මනුෂ්‍යයෙක් , ඵලදායී මානුෂීය පුද්ගලයෙක් , ප්‍රගතිශීලී ඉගෙනුම ලබන්නෙක් , ගෞරවනීය හා විශ්වාසනීය පුද්ගලයෙක් , සංස්කෘතික මූලයන් සහිත තානාපතිවරයෙක් , දේශප්‍රේමී පුරවැසියෙක්. යන කාරණා ඉදිරිපත් කර තිබෙනවා.

නිදහස් අධ්‍යාපනයේ බෙදීමක් පවතිනවා

images 12

 

අධ්‍යාපන ක්‍රමය තුළ තිබෙන වර්තමාන ඌනතාවයන් විෂමතාවයන් තුළ මේ අරමුණු කරා යන්න පුළුවන්ද? අද පැහැදිලි නිගමනයක් නැහැ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ පහේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය, ජාතික පාසල්වලට ඇති තරගය ළමුන් පාසල් වලට නොපැමිණීම, අධ්‍යාපන නාස්තිය, ගුරු පුහුණුව, ගුරුවරුන්ට ඉගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් ගුරුවරු සහ විදුහල්පති හිගය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන, අනධ්‍යයන, ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන යන ක්ෂේත්‍රවල තිබෙන හිඟතාවයන් ඒවා කිසිවකට පිළිතුරක් නැහැ. ඒවා කිසිවකට උත්තරයක් නැහැ. මේවා තමයි අපිට තිබෙන ප්‍රශ්න.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන් ක්‍රියාත්මක වියයුතුයි. ඒවා ක්‍රියාත්මක වන විට අඩුපාඩුකම් සහිත ප්‍රභූ පාසල්වලට යන දරුවන්ට ඒ අඩුපාඩුකම් නැතිවනවා සේම ඒ අඩුපාඩුකම් නිර්මාණය වීමට ඉඩ නොදිය යුතුයි. නිදහස් අධ්‍යාපනයේ හතළිස් එක්ෂයක් ගම්බද ප්‍රදේශවල දුෂ්කර ප්‍රදේශවල පහසුකම් නැති ප්‍රදේශවල තිබෙන පහසල්වල දරුවන්ට අභියෝගවලට මුහුණ දෙන්න ඉඩ තබන්න හොඳ නැහැ.

අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ බෙදීමක් තිබෙනවා. සමස්ත අධ්‍යාපන ක්‍රමයේම බෙදීමක් තිබෙනවා. ඒ බෙදීම ඒ ඌණතාවය විෂමතාවය මගහරවා ගැනීමට කිසිදු විසඳුමක් නැහැ. power point presentation එකක් පමණයි ඉදිරිපත් කරලා තිබෙන්නේ.

අධ්‍යාපන ඇමතිවරියගේ ගැටලු ජනාධිපතිවරයා ම ප්‍රකාශ කරනවා

akd1.jpg

සබුද්ධික සාකච්ඡාවකට අපි ප්‍රවේශ විය යුතු බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා. අපි ඒක සම්පූර්ණයෙන් ම පිළිගන්නවා. හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ පනස් එක් වෙනිපිටුව බලන්න. අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වුණේ නැහැ. අසභ්‍ය වෙබ් අඩවි මොඩියුලවලට ඇතුළත් කිරීමටයි අපි විරුද්ධ වුණේ. ආණ්ඩුව මේ වරද පිළිගෙන පිළියම් යොදන්නේ නැතුව විපක්ෂය නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවතුන බව චෝදනා කරනවා. කවුද ප්‍රතිසංස්කරණ නතර කළේ...?

ජනාධිපතිවරයාම කියනවා මොඩියුල සකස් කිරීමේ ගැටලු තියනවා කියලා. ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබෙන්නේ ගැටලුත් සමගයි. ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය තිබෙන බව ජනාධිපති කියනවා. ප්‍රතිසංස්කරණ පටන්ගෙන තිබෙන්නේ ගුරු පුහුණුව ප්‍රමාදයත් සමග. තාක්ෂණික ගැටලු තියනවා කියලාා කියනවා. ප්‍රතිසංස්කරණ පටන් ගෙන තිබෙන්නේ තාක්ෂණික ගැටලුත් සමගයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු තිබෙන නිසා 2027 අලුත් ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. අධ්‍යාපන ඇමතිවරියගේ ගැටලු ජනාධිපතිවරයා ම ප්‍රකාශ කරනවා. අගමැතිවරියට අසභ්‍ය ලෙස බැණ වදින්න අවශ්‍ය නැහැ. එතුමිය ගේ චරිතය ඝාතනය කරන්න අපිට අවශ්‍ය නැහැ. එතුමිය ගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න අපිට අවශ්‍ය නැහැ. එහෙම කරන කොටසක් ඇති. අපි කතා කරේ ප්‍රතිසංස්කරණ නාමයෙන් අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කිරීම පිළිබඳවයි. සබුද්ධික භාවය ගැන කතා කරාට කරල තිබෙන්නේ අබුද්ධික දෙයක්. 41 ලක්ෂයක් පාසල් දරුවන් අනතුරට ලක් කරලා තිබෙනවා.

මෙය නිදහස් අධ්‍යාපනයට කළ යුතුකමක් ද හානියක් ද...?

fe10

අසභ්‍ය වෙබ් අඩවිය ඇතුළත් මොඩියුලේ බලන්න කියලා අපි රජයට ආරාධනා කරනවා. මෙය අවස්ථා ගණනාවක දී පරීක්ෂාවට ලක්වෙනවා. විෂය නිර්දේශීය ලියන පිරිස, සෝදුපත් පරීක්ෂා කරන පිරිස, සංස්කරණය කරන පිරිස, විෂය අධ්‍යක්ෂකවරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ කවුන්සිලය, මුද්‍රණය කරන ස්ථානය, ප්‍රකාශන දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධයෙන් සොයා බලනවා. නැවත අමාත්‍යංශයට ගෙනල්ල පරීක්ෂා කරනවා. ඒ අනුව කෝටි ගාණක් වියදම් කරලා තමයි මේ මොඩියුලය මුද්‍රණය කරලා තිබෙන්නේ.

මේ ක්‍රියාව නිදහස් අධ්‍යාපනයට කළ යුතුකමක් ද හානියක් ද...? ඒකට උත්තරයක් දෙන්න. ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මහා ඉහළින් කතා කරනවා. ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල කෘතිම බුද්ධියට ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා ද...? artificial intelligent, cloud based learning platform, data analytics, learning analytic, cyber security, REMOTE AND VIRTUAL LABORATORY, automation and efficiency tools, meta literacy and digital literacy. මේවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇතුළත් වෙනවද...? ඇත්ත වශයෙන්ම ඇතුළත් වෙලා නැහැ. ඒ, විධිමත් ග්‍රීන් පේපර් එකක් වයිට් පේපර් එකක් ඩිස්කෂන් document එකක් නැති නිසයි.

සබුද්ධික විවාදයකට එන්න

a1bd99a8291313442e32529ce971fefb XL

 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ මොඩියුලය ආරම්භ වෙන්නේ හය ශ්‍රේණියෙන්. නමුත් ලෝකය පිළිගන්න K 12 ක්‍රමවේදයේ තොරතුරු තාක්ෂණයට යොදවන විට ආණ්ඩුව එයින් පාඩමක් ඉගෙන ගෙන නැහැ. අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පළමු වසරෙන්වත් පටන් ගන්න කටයුතු කරල නැහැ. හයවෙනි ශ්‍රේණියෙන් තමයි පටන් ගන්නේ. මෙන්න අඩුපාඩු.

ආණ්ඩුව මොනාද මේවට දෙන උත්තර. මේ මොඩිවුලේ සඳහන් වෙනවා, පරිගණකයක් නිසි ලෙස ක්‍රියාත්මක කර වසා දැමීම. මේක පරිගණක හිටියත් එක්ක කරන්න පුලුවන්ද...? පාට සංස්කරණ මෘදුකාංගයන් නිර්මාණය කර නව ලේඛන නිර්මාණය කරන්න පුළුවන්ද...? පාසල්වලට පරිගණක නැතුව මේවා කරන්නෙ කොහොමද...? සම්බන්ධතා නැතුව කොහොමද මේවා ක්‍රියාත්මක කරන්නේ...? පරිගණක විද්‍යාගාර නැතිව මේවා කොහොමද කරන්නේ...? සුහුරු පන්ති කාමර නැතුව මේවා කොහොමද කරන්නේ...? ලැජ්ජ නැතුව නිදහස් අධ්‍යාපනය ගැන මහලොකුවට කතා කරල දැන් දෙමාපියන්ට කියනවා රජයට දෙන්න බැහැ පරිගණක, සුහුරු පන්ති කාමර පාසල්වලට ලබා දෙන්න කටයුතු කරන්න කියලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය උපකරණ සපයන්න රජයට හැකියාවක් නැහැ. ඒවා ලබා දීමට නොහැකිව සබුද්ධික විවාදයකට එන්න කියලා විපක්ෂයට ආණ්ඩුව ආරාධනා කරනවා. මේ වැඩවලින් රිදිලා තියෙන්නේ 41 ලක්ෂයක් වන දරුවන්ට. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ඉන්නවා පෞද්ගලික අධ්‍යාපනය වරම් බලාපොරොත්තු වෙන්න ඉන්න දූ දරුවන්ට ඒවරමත් අහිමි කරන්න බලාගෙන.

ආණ්ඩුවේ දෙබිඩි රංගනය 

WhatsApp Image 2026 01 23 at 11.52.57

නිදහස් අධ්‍යාපනය මානව අයිතියක්; එය මූලික අයිතියක් එය සුරක්ෂා කරන්න්න අවශ්‍යයි. නමුත් අපේ රටේ දරුවන් විදේශ රටවල් වලට විදේශ විනිමය සංචිතවලට සෘණාත්මක බලපෑමක් ඇති කරලා , පිටරට ඉගෙන ගන්නවාට වැඩිය අපේ රටේ ඉගෙන ගැනීම සඳහා පෞද්ගලික පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙන්න දෙන්නෙත් නැහැ. නමුත් ඔවුන් ගේ දූ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගොස් හොඳට සහතික ලබනකොට වේදිකාවට ගිහිල්ල ආඩම්බරයෙන් ඒ දුවලා පුතාලා සමග රූප රාමුවලට පෙනී සිටිනවා.

ආණ්ඩුවෙ මොකක්ද මේ දෙබිඩි රංගනය. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පිරිසගේ දුවා දරුවන් පෞද්ගලික අධ්‍යාපනය හෝ වේවා නිදහස් අධ්‍යාපනය හෝ වේවා ඒ සෑම අවස්ථාවකම දීම අධ්‍යාපනයේ ඉහළ තලයකටගොස් විශිෂ්ඨයින් බවට පත්වන විට අපි සතුටට පත්වෙනවා. ඔබ සූදානම් ඔබගේ දූ දරුවන් පෞද්ගලික අධ්‍යාපනයට යොමු කරන්න. නමුත් ඒ අවස්ථාව රටේ අධ්‍යාපන වරම් අහිමිවන දූ දරුවන්ට ක්‍රියාත්මක කරන්නට ඔබ සූදානම් නැහැ.

ආණ්ඩුවේ ඉන්නේ ටොම්පච කැප්ටන්ලා

බොරුව කොටල කොටල ව්‍යාප්ත කරනවා කියලා විපක්ෂයට ආණ්ඩුව චෝදනා කරනවා. බොරු කියල කියල බලය ගත්තේ ආණ්ඩු පක්ෂයයි. විධායක ජනාධිපති වෙන්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ගන්නට පළාත් පාලන මැතිවරණයේ දී ආයතන ගණනාවක බලය ගන්නට බොරුව කෙටුවෙත් ඔබයි බොරුව ව්‍යාප්ත කළේත් ඔබයි බොරුව ගිල්ලුවෙත් ඔබයි. ආණ්ඩුවේ ඉන්නේ ටොම්පච කැප්ටන්ලා. අධ්‍යාපනයට විරුද්ධ සමගි ජන බලවේගය බවට තවත් බොරුවක් ප්‍රචාරය කරනවා. අපි සුහුරු පන්ති කාමර දරුවන්ට ලබා දෙන විට කවුද විරුද්ධ වුනේ?. දරුවන්ට ඉංග්‍රීසි භාෂා කුසලතාවය ප්‍රවර්ධනය කර ගන්න අවශ්‍ය බව කියද්දී කවුද විහිළු කළේ. එම පහසුකම් නිදහස් අධ්‍යාපනය මගින් දරුවන්ට ලබා දෙනවාට ඔබ විරුද්ධයි. ඒ කුහක කම නිසා ඊර්ෂ්‍යාව නිසා වෛරය නිසා ගමේ දරුවාට ඒක හොඳ නෑ නමුත් තමන් ගේ දරුවාට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හොඳයි. තමන් ගේ දරුවන්ට පරිගණක භාවිතා කරන එක හොඳයි. නමුත් ගොවියා ගේ ධීවරයා ගේ කම්කරුවා ගේ සාමාන්‍ය ජනතාව ගේ දරුවන්ට ඒවා හොඳ නැහැ.

මේ කුහකත්වයෙන් ඉවත්වෙලා අඩුම තරමේ මේ රටේ නිදහස් අධ්‍යාපනය මානව අයිතියක් මූලික අයිතියක් බවට පත්කරන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට ඔබ අත උස්සන්න. එතනින්වත් අපි පටන් ගමු. මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය නවෝත්පාදනයට නූතනවාදයට ලෝකයේ යන ආකාරයට ඉදිරියටගොස් අපේ ලෝකයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටම රට බවට අපේ ශ්‍රී ලංකාව පත් කරන්න අපි හැමෝම කටයුතු කරමු.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න