මනුෂ්‍ය ඉතිහාසයේ දරුණුතම ආඥාදායකයsන් දෙදෙනෙකු වූ හිට්ලර් සහ ස්ටාලින් යන දෙදෙනා ම එක සේ බිය වූ ලොව එකම මිනිසා ගැන ඔබ අසා තිබේද? ඔහු නමින් ගෝර්ජි ජුකොව් ය. ඔහු හුදෙක් නාසි හමුදාව පරාජය කළා පමණක් නොව, ඔවුන් ගේ ආත්ම විශ්වාසය සහ යුද බලය මුළුමනින්ම බිඳ දැමුවේ ය.
දරුණුතම ආඥාදායකයින් දෙදෙනෙකුට මැදිව
ජෝසප් ස්ටාර්ලින්
ස්ටාලින්ග්‍රෑඩ්, කර්ස්ක් සහ බර්ලින් ආදී මේ සෑම සටන් බිමකදී ම හිට්ලර්ගේ ජෙනරාල්වරුන්ට තමන්ගේ දරුණු පරාද ගැන නිදහසට කරුණු කියන්නට සැලැස්වූයේ මේ අසමසම සෙන්පතියාය. ඒ නිසා ජර්මානු හමුදාව ඔහු හැඳින්වූයේ "කිසිදා මිය නොයන මිනිසා" යනුවෙනි. නමුත් ජයග්‍රාහී පෙරහැරවල් පසුපස සැඟවුණු අඳුරු රහසක් විය. ජුකොව් හිට්ලර්ගේ බංකරය මත සෝවියට් ධජය ඔසවන මොහොතේ පවා, මොස්කව් නුවර ලුබ්යාන්කා නම් බිහිසුණු රහස් පොලිස් මූලස්ථානය තුළ ඔහුට එරෙහිව ලිපි ගොනුවක් වැඩෙමින් තිබුණි.
ස්ටාලින්ගේ රහස් පොලිසිය සෝදිසියෙන් සිටියේ සතුරන් ගැන නොව, සෝවියට් දේශය බේරාගත් මේ අසමසම විරුවා ගැනයි. මන්ද හිට්ලර් කිසිදා තේරුම් නොගත් දෙයක් ස්ටාලින් තේරුම් ගෙන සිටියේ ය. "යුද්ධ ජයග්‍රහණය කරන ජෙනරාල්වරුන්ට, පසුව සිංහාසන අත්පත් කර ගැනීමේ ශක්තියක් ඇත!" එහෙත් ක්‍රෙම්ලිනය තුළ ඉඩ තිබුණේ එකම එක නායකයෙකුට පමණි.
ඒ නිසා මේ ලියැවෙන්නේ ඉතිහාසයේ දරුණුතම ආඥාදායකයින් දෙදෙනෙකු අතර මැදි වූ මිනිසකු ගේ කතාව යි.
යුද්ධයෙන් උගත් පාඩම්
ගෝර්ජි ජුකොව්
ගෝර්ජි ජුකොව් උපත ලැබුවේ 1896 වසරේදී, ලෝක සිතියමකවත් සටහන් නොවුණු අතිශය දුප්පත් ගමක ය. ඔහු ගේ පියා සපත්තු මසන්නකු වූ අතර, මව දෑත්වලින් ලේ වැගිරෙන තුරු වෙහෙසී වැඩ කළ කුලී කම්කරු කතක් වූවා ය. වයස අවුරුදු 11 වන විට ගෝර්ජිව මොස්කව් වෙත යවනු ලැබුවේ සම් භාණ්ඩ නිෂ්පාදනය ඉගෙන ගැනීම සඳහා ය. ඒ ඔහුට ඇති ආදරය නිසා නොව, පවුලට ඔහුව නඩත්තු කිරීමට වත්කමක් නොතිබූ බැවිනි. ඔහු වැඩපොළක බිම නිදාගත්තේ ය, සත්ත්ව හම් මැසීමට ඉගෙන ගත්තේ ය. ජීවිතය යනු වාසනාව නොව, දරාගැනීම තුළින් ලබාගත යුතු දෙයක් බව ඔහු කුඩා කල සිටම ඉගෙන ගත්තේය. 1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වන විට ජුකොව් 18 හැවිරිදි තරුණයෙකි. ඒ යුද්ධයේ දී ඔහු වැදගත් පාඩමක් ඉගෙන ගත්තේ ය.
"පැකිළෙන නිලධාරීන් නිසා සොල්දාදුවන් මිය යයි."
පළපුරුද්දක් නැති අණදෙන්නන් ගේ දුර්වල තීරණ නිසා, සෝවියට් තරුණයන් දහස් ගණනින් මිය යන අයුරු ඔහු සියැසින් ම දුටුවේ ය. තීරණය නිවැරදි වුවත් වැරදි වුවත්, එය ඉක්මනින් ගත යුතු බවත්, කිසි විටෙකත් තීරණ ගැනීමේ දී පස්සට නොබලන බවත් ඔහු එදා අදිටන් කර ගත්තේය.
සෝවියට් දේශයේ ජාතික වීරයා

1937 වසර සෝවියට් හමුදා ඉතිහාසයේ කළු පැල්ලමකි. ස්ටාලින් තමන්ට තර්ජනයක් යැයි සිතූ සියල්ලන්ව ඝාතනය කිරීමේ ‘මහා පිරිසිදු කිරීම’ හෙවත් Great Purge ආරම්භ කළේය. ඒ යටතේ මාර්ෂල්වරුන් පස් දෙනෙකු ගෙන් තිදෙනකු සහ ජෙනරාල්වරුන් 15 දෙනකු ගෙන් 13 දෙනකු ම වෙඩි තබා මරා දමන ලදී. 35,000කට අධික සෙසු හමුදා නිලධාරීන් පිරිසක් අතුරුදන් විය. ජුකොව් තම සගයින් එකා පසුපස එකා අතුරුදහන් වන අයුරු බලා සිටියේ ය. මධ්‍යම රාත්‍රියේ ලැබෙන දුරකතන ඇමතුම් ගැන ඔහු බියෙන් සිටියේ ය. ඒ වන විටත් රහස් පොලිසිය ඔහු ගැන තොරතුරු රැස් කරමින් සිටියේය. ජුකොව්ට තිබුණේ විකල්ප දෙකකි.
ඒ, එක්කෝ පරාජය වී හිට්ලර් අතින් මැරුම් කෑම ය; නැතිනම් ජයග්‍රහණය කර ස්ටාලින් ගේ සැකයට බඳුන් වී මිය යෑම ය. ඔහු දෙවැන්න තෝරාගත්තේ ය. දෙවන ලෝක යුද්ධයේ දරුණුතම සටන්වල දී ජුකොව් ගේ භූමිකාව අසමසම විය. ඔහු හුදු සැලසුම් කරන්නෙකු පමණක් නොව, සතුරන් ගේ මනෝභාවය මැනවින් හඳුනාගත් අයෙකි. ස්ටාලින්ග්‍රෑඩ් සටනේ දී නාසි හමුදාව කොටු කර පරාජය කිරීමේ සැලසුම ජුකොව් ගේ අති දක්ෂ යුධ උපක්‍රමයකි.

ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ "පරාජය ගැන නොසිතන්න, එකම අරමුණ ජයග්‍රහණය පමණයි" යන්නයි. මේ නිසාම සොල්දාදුවන් දහස් ගණනින් මිය ගිය ද, ඔහු අවසාන ඉලක්කය කරා ගමන් කළේ ය. 1945 දී බර්ලිනය අත්පත් කරගෙන නාසි පාලනය අවසන් කළේ, ජුකොව් ගේ හමුදාවයි. යුද්ධය අවසානයේ ජුකොව් සෝවියට් දේශයේ ජාතික වීරයා බවට පත් විය.
නමුත් මෙය ස්ටාලින්ට දරාගත නොහැකි විය. ජනතාව ජුකොව්ට දක්වන ආදරය තම බලයට තර්ජනයක් ලෙස ඔහු දුටුවේය. යුද්ධය අවසන් වී කෙටි කලකින්ම ජුකොව්ව ප්‍රධාන තනතුරු වලින් ඉවත් කර, දුර බැහැර ප්‍රදේශවල සේවයට යැවීමට ස්ටාලින් කටයුතු කළේය.
පාපොච්චාරණය කරවා ගැනීමට උත්සාහ කරයි
ජුකොව්ගේ නිවසට රහස් පොලිසිය පැන ඔහු සතුව තිබූ දෑ කොල්ලකෑවේ ය. ඔහුට විරුද්ධව බොරු චෝදනා ගොනු කළේ ය. සැබෑ වීරයෙකු ලෙස ජනතාව ගේ හදවත් දිනූ මිනිසෙකුට, තමන් රුධිරය වැගිරූ මව්බිමෙන්ම මෙවැනි සැලකිල්ලක් ලැබීම කෙතරම් කණගාටුදායකද? ස්ටාලින්ට යුද්ධය දිනීමට ජුකොව්ව අවශ්‍ය වූ අතර, ජුකොව්ට තම දක්ෂතාවය පෙන්වීමට ස්ටාලින්ගේ අනුමැතිය අවශ්‍ය විය. නමුත් මේ දෙදෙනා අතර පැවති ඒ මාරාන්තික "සැකය සහ බිය" පිළිබඳව ගැඹුරින් විමසා බලන විට කරුණු කිහිපයක් කැපී පෙනේ.
"ඔබට මාව මරා දැමිය හැකිය, නමුත් මම බොරු කියන්නේ නැත!"
ස්ටාලින් ඉදිරියේ බියෙන් වෙවුලන්නේ නැතිව කෙලින් කතා කළ හැකි වූ එකම සෙන්පතියා ජුකොව්ය. ස්ටාලින් යනු තමන්ට විරුද්ධ වන ඕනෑම අයෙකු මරා දමන අයෙකු බව ජුකොව් දැන සිටිය ද, යුදමය තීරණවල දී ඔහු ස්ටාලින් සමග තර්ක කළේ ය. ස්ටාලින් කිසිවකු විශ්වාස නොකළ අයෙකි. ඔහු යුද්ධය අතරතුර පවා රහස් පොලිස් ප්‍රධානී ලැව්රෙන්ටි බෙරියා ලවා ජුකොව් ගැන වෙනම ලිපිගොනුවක් පවත්වාගෙන ගියේය. ජුකොව් කතා කරන සෑම වචනයක්ම රහසින් පටිගත කළේ ය. ස්ටාලින් බිය වූයේ ජුකොව් හමුදාව යොදාගෙන මොස්කව් අල්ලා ගනු ඇතැයි කියා ය. යුද්ධය අවසන් වූ පසු, ස්ටාලින් හිතාමතාම ජුකොව්ගේ සහායකයින් අත්අඩංගුවට ගෙන වධ දී, "ජුකොව් ස්ටාලින්ට එරෙහිව කුමන්ත්‍රණය කරනවා" යැයි පාපොච්චාරණය කරවා ගැනීමට උත්සාහ කළේය.
ස්ටාර්ලින් ගේ දැඩි තීරණය
ස්ටාලින්
1945 ජයග්‍රාහී පෙරහැරේදී සුදු අශ්වයා පිට නැගී යෑමට මුලින් සැලසුම් කර තිබුණේ ස්ටාලින් ය. නමුත් ස්ටාලින් අශ්වයා පිටින් වැටුණු බව කියැවේ. අවසානයේ ජුකොව් එම කාර්යය කළේ ය. දහස් ගණන් ජනතාව ජුකොව්ට "හුරේ" දමන විට, ස්ටාලින් වේදිකාවේ සිට බලා සිටියේ දැඩි ඉරිසියාවකිනි. එදින ස්ටාලින් තීරණය කළේ "ජුකොව් වැඩියි, ඔහු කපා දැමිය යුතුය" කියාය. සෝවියට් ක්‍රමය තුළ පාලනය තිබුණේ කොමියුනිස්ට් පක්ෂය සතුවය. නමුත් ජුකොව් නිසා හමුදාව බලවත් විය. ස්ටාලින් සිතුවේ හමුදාවේ ජනප්‍රියත්වය පක්ෂයට වඩා වැඩි වුවහොත්, තමන්ට බලය අහිමි වනු ඇති බවයි. ඒ නිසා ස්ටාලින් ජුකොව්ව හුදකලා කිරීමට ඔහුට සමීප අනෙකුත් ජෙනරාල්වරුන් අතර භේද ඇති කළේ ය.
"එසේනම් ස්ටාලින් ජුකොව්ව මරා නොදැමුවේ ඇයි?"
මෙය ඉතිහාසඥයින් මවිත කරන කරුණකි. ස්ටාලින් බොහෝ ජෙනරාල්වරුන් මරා දැමුව ද ජුකොව්ට හානියක් නොකළේය. ඊට හේතු කිහිපයක් තිබිණි. ජුකොව් යනු "මව්බිම බේරාගත් දෙවියා" ලෙස ජනතාව සැලකූ බැවින්, ඔහුව මැරුවහොත් විශාල කැරැල්ලක් ඇති විය හැකි යැයි ස්ටාලින් බිය විය. තව ද නැවතත් යුද්ධයක් ඇති වුවහොත් ජුකොව්ව අවශ්‍ය වනු ඇතැයි ස්ටාලින් සිතන්නට ඇත. ස්ටාලින් වැනි දරුණු පාලකයකු යටතේ මෙතරම් කලක් ජීවිතය බේරාගෙන සිටීමට ජුකොව්ට හැකි වූයේ ඔහුගේ වාසනාව නිසාද, නැතිනම් ඔහු සතු වූ අසමසම යුධ දැනුම නිසාද?
යුද විරුවා අපකීර්තියට පත් කිරීම
ස්ටාලින්ගේ මරණයෙන් පසු ජුකොව් නැවතත් ගෞරවාන්විතව සිහිපත් කරනු ලැබී ය. අදටත් ඔහු ලොව පුරා යුධ විශේෂඥයන්ගේ ගෞරවයට පාත්‍ර වන්නේ ඔහුගේ අසමසම තීරණ ගැනීමේ හැකියාව සහ ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටීමේ ගුණය නිසා ය.
"ජුකොව්ට පසුව සිදුවූයේ කුමක්ද?"
යුද්ධයෙන් පසු ජුකොව්ගේ ජීවිතය ප්‍රධාන අදියර කිහිපයකට බෙදා දැක්විය හැකිය. 1946 දී ස්ටාලින් විසින් ජුකොව්ව හමුදා ප්‍රධාන අණදෙන්නා තනතුරින් ඉවත් කර, මොස්කව් නුවරින් බොහෝ ඈත පිහිටි "ඔඩෙස්සා" නම් කුඩා හමුදා දිස්ත්‍රික්කයේ අණදෙන්නා ලෙස පත් කර පිටුවහල් කරන ලදී. රහස් පොලිසිය ජුකොව්ගේ නිවස පරීක්ෂා කර, ඔහු ජර්මනියෙන් සොරකම් කරන ලද ගෘහ භාණ්ඩ සහ රන් භාණ්ඩ ළඟ තබාගෙන සිටින බවට චෝදනා කළේ ය. මෙය ඔහුව අපකීර්තියට පත් කිරීමට කළ සැලසුමකි.
ස්මරණ ග්‍රන්ථය ලිවීම අරඹයි

1953 දී ස්ටාලින් මිය ගිය පසු, ජුකොව්ට නැවතත් සෝවියට් දේශයේ ඉහළ ම තලයට පැමිණීමට අවස්ථාව ලැබුණි. ස්ටාලින් ගෙන් පසු බලය ඇල්ලීමට උත්සාහ කළ අතිශය බිහිසුණු රහස් පොලිස් ප්‍රධානියා වූ ලැව්රෙන්ටි බෙරියා අත්අඩංගුවට ගැනීමට නිකිටා කෘෂෙව්ට උදව් කළේ ජුකොව්ය. මීට කෘතගුණ සැලකීමක් ලෙස 1955 දී ජුකොව්ව සෝවියට් දේශයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කළේ ය.
ස්ටාලින් මෙන්ම කෘෂෙව් ද ජුකොව්ගේ හමුදාමය බලයට සහ ජනප්‍රියත්වයට බිය විය. 1957 දී ජුකොව් යුගොස්ලාවියාවේ සංචාරයක නිරතව සිටිය දී, ඔහු නොමැති අතරතුර කෘෂෙව් විසින් ඔහුව සියලුම තනතුරුවලින් ඉවත් කරන ලදී. ඔහුට බොනපාට්වාදියෙකු ලෙස, එනම් හමුදා බලයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන්නෙකු ලෙස චෝදනා එල්ල විය. ඉන්පසු වසර කිහිපයක් ජුකොව් ගත කළේ දැඩි හුදෙකලාවක සහ රහස් පොලිස් නිරීක්ෂණ මධ්‍යයේය. ඔහුට හමුදා සගයන් හමුවීම පවා තහනම් කෙරිණි.
1964 දී කෘෂෙව් බලයෙන් පහ වූ පසු, නව පාලක ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් යටතේ ජුකොව්ට යම් ගෞරවයක් නැවත හිමි විය. ඔහු සිය ස්මරණ ග්‍රන්ථය ලිවීමට පටන් ගත්තේය. එය සෝවියට් දේශය තුළ අතිශය අලෙවි වූ කෘතියක් බවට පත් විය. ගෝර්ජි ජුකොව් 1974 ජූනි 18 වන දින අභාවප්‍රාප්ත විය. ඔහුගේ මරණයෙන් පසු ඔහුට හිමි විය යුතු ඉහළම ගෞරවය සහිතව ක්‍රෙම්ලින් තාප්පය අසල භූමදානය කරන ලදී.
ලෝක යුද සාහිත්‍යයේ අගනා ම ග්‍රන්ථය
අපූරු කරුණක්!
ජුකොව් යනු සෝවියට් දේශයේ ඉහළම හමුදා ගෞරව නාමය වන "සෝවියට් දේශයේ වීරයා" යන සම්මානය සිවු වතාවක් දිනාගත් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් පුද්ගලයා වූයේ පාලක ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් ය.
මම මේ විග්‍රහට ලියන්නට පදනම් කරගත් ජුකොව් විසින්ම රචිත "Memoirs and Reflections" කෘතිය ලෝක යුද සාහිත්‍යයේ ඇති අගනාම ග්‍රන්ථයකි. ස්ටාලින් ගේ මරණයෙන් පසුව ප්‍රකාශයට පත් වූ මෙම ග්‍රන්ථය හරහා, යුධ පිටියේ තීරණාත්මක අවස්ථා සහ ස්ටාලින් සමග පැවති සංකීර්ණ සබඳතාව ගැන ඔහු ලෝකයට හෙළි කළේය.
Memoirs and Reflections
ඔහු ගේ එම මතක සටහන් අතරින් මා සිත්ගත් කතාව නම්, ජර්මානු මව සහ ඇගේ දරුවන් පිළිබද කතාවයි. බොහෝ දෙනෙක් ජුකොව්ව හඳුන්වන්නේ අනුකම්පාවෙන් තොර දැඩි සෙන්පතියෙකු ලෙස වුව ද, බර්ලිනය අත්පත් කරගැනීමෙන් පසු ඔහු මුහුණ දුන් එක් සිදුවීමක් ඔහු ඉතා මානුෂීය ලෙස එහි විස්තර කරයි. මහා සටන අවසානයේ නටබුන් වූ බර්ලින් නගරයේ වීදියක ඇවිද යද්දී, බඩගින්නේ සිටි තම කුඩා දරුවන්ට කෑම ටිකක් සොයා දෙන ලෙස ජුකොව් ගෙන් අයැද සිටි ජර්මානු මවක් ගැන ඔහු ලියා ඇත. තම සතුරන් වුව ද, යුද්ධයේ අහිංසක ගොදුරු බවට පත් වූ සාමාන්‍ය ජනතාව ගැන ඔහුට ඇති වූයේ අනුකම්පාවකි. ඔහු වහාම තම සොල්දාදුවන්ට අණ කළේ තම හමුදා සලාකවලින් කොටසක් එම ජර්මානු පවුලට ලබා දෙන ලෙසයි.
ස්ටාර්ලින් උපහාසයට පත් කරමින්
"යුද්ධය යනු සොල්දාදුවන් අතර සටනකි, නමුත් සාගින්නට ජාතියක් නැත" යන්න ජුකොව් සිය ක්‍රියාවෙන් පසක් කළේ ය. කෙසේ වෙතත් එම ග්‍රන්ථයේ මුල් පිටපත්වල ස්ටාලින්ට ප්‍රශංසා කිරීමට ජුකොව්ට සිදු වූව ද, ඔහු සියුම් උපහාසයක් ද එහි තබා ඇත. එක් අවස්ථාවක ස්ටාලින්ට යුද සිතියම් කියවීමට පවා නොතේරෙන බව ජුකොව් එහි පෙන්වා දෙයි. වරක් ස්ටාලින් විශාල සිතියමක් දෙස බලා සිටිය දී, ඔහුට ඉදිරිපස සටන් භූමිය සහ පසුපස ප්‍රදේශ වෙන් කර හඳුනා ගැනීමට නොහැකි විය. ඔහු ජුකොව් ගෙන් විමසුවේ "සතුරා මෙතැන සිටින්නේ ඇයි?" කියා ය. නමුත් ඇත්ත වශයෙන් ම සිතියම දෙස බැලූ විට සතුරා සිටියේ ඊට හාත්පසින් ම වෙනස් ස්ථානයක ය. පාලකයා ගේ ඇති වැරදි අවබෝධය හමුවේ ජුකොව් කෙතරම් අසීරුතාවට පත් වූවා ද යන්න ඔහු මෙහිදී විස්තර කරයි. සැබෑ ජයග්‍රහණය ලැබුණේ ස්ටාලින්ගේ දක්ෂතාවයෙන් නොව, තමන් වැනි වෘත්තීය සොල්දාදුවන් ගේ කැපවීමෙන් බව ඔහු නොකියා පැවසීමට උත්සාහ කළේ ය.
රණකාමි රුසියානු ආත්මයේ ප්‍රතිමූර්තිය
වැදගත්!
දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් දේශය මුහුණ දුන් අතිශය බිහිසුණු තර්ජනය හමුවේ, මිලියන සංඛ්‍යාත ජනතාවගේ මනස තුළ "මව්බිම බේරාගැනීමේ" දැඩි අවශ්‍යතාවයක් හටගත්තේය. මෙම දැවැන්ත ශක්ති සමූහය තමන්ගේ භෞතික නියෝජිතයා ලෙස තෝරාගත්තේ ජුකොව්ව ය. ජුකොව් යුද පිටියේ දී පරාජය කළ නොහැකි වූයේ, ඔහුට පිටුපසින් ඇති මේ මිලියන සංඛ්‍යාත ජනතාව ගේ මනසින් උපන් මේ "එග්‍රේගොර්" ශක්තිය තිබූ බැවිනි. ඔහු හුදෙක් සෙන්පතියකු නොව, රණකාමි රුසියානු ආත්මයේ ප්‍රතිමූර්තියක් බවට පත් විය.
මොෆික් ක්ෂේත්‍ර සංකල්පයට අනුව, සොබාදහමේ පවතින රටා සහ හැසිරීම් අතීත අත්දැකීම් මත පදනම්ව මතකයක් ලෙස විශ්වයේ තැන්පත් වේ. ජුකොව් උපත ලැබුවේ අතිශය දුප්පත් ගමක වුව ද, ඔහු තුළ රුසියානු ඉතිහාසයේ සිටි "මහා සෙන්පතියන්ගේ" මොෆික් ක්ෂේත්‍රය ක්‍රියාත්මක විය. ඔහු යුද සිතියම් දෙස බලන විට හෝ සටන් උපක්‍රම යොදන විට, ඔහු සම්බන්ධ වූයේ මේ යුදමය මතක ක්ෂේත්‍රයට යි. ජර්මානු ජෙනරාල්වරුන් පුදුමයට පත් කරමින් ජුකොව් එඩිතර තීරණ ගත්තේ මේ නිසා ය. ඔහු තුළ ක්‍රියාත්මක වූයේ ඔහුගේ පෞද්ගලික බුද්ධිය පමණක් නොව, රුසියානු භූමිය ආරක්ෂා කළ සියවස් ගණනාවක රණකාමී ශක්තියයි.
සෝවියට් දේශයේ පැවැත්මේ අඩිතාලම
ස්ටාලින් යනු අතිශය කපටි සහ ගුප්තමය අවබෝධයක් සහිත නායකයෙකි. ජුකොව්ව යුද්ධයෙන් පසු මර්දනය කිරීමට ඔහු ගත් උත්සාහය පිටුපස පවතින්නේ මේ ගුප්ත විද්‍යාත්මක හේතුවයි. ජුකොව් යනු තනි මිනිසෙකු නොව, ජනතාව ගේ මනස තුළ පවතින දැවැන්ත "වීරත්වයේ සංකේතය" බව ස්ටාලින් දැන සිටියේ ය. ගුප්ත විද්‍යාවට අනුව, ව්‍යුහ දෙකකට එකම එග්‍රේගොර් ශක්තියක් බෙදාගත නොහැක. එක්කෝ එය ස්ටාලින් සතු විය යුතුය, නැතිනම් ජුකොව් සතු විය යුතු ය.
ස්ටාලින් උත්සාහ කළේ ජුකොව්ව ඉතිහාසයෙන් මකා දමා, ජනතාව ජුකොව් කෙරෙහි තැබූ ඒ "ශක්ති බැඳීම" කපා හැරීමටයි. ජුකොව් ගේ නිවස පරීක්ෂා කිරීම, ඔහුව පිටුවහල් කිරීම යනු හුදු දේශපාලන ක්‍රියාවන් නොව, ඔහුගේ "වීරත්වයේ ඕරාව" බිඳ දැමීමට ගත් උත්සාහ යි.
ජුකොව් බඳු මිනිසකු ස්ටාලින්ගේ මාරාන්තික "පිරිසිදු කිරීම්" වලින් බේරී සිටීම දේව හාස්කමක් බඳුය. මෙය මොෆික් ක්ෂේත්‍ර සංකල්පයෙන් පැහැදිලි කළ හැකිය. යම් පුද්ගලයකු ජාතියක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන "මධ්‍ය ලක්ෂ්‍යය" බවට පත් වූ විට, ශක්ති ක්ෂේත්‍රය ඔහු වටා ආරක්ෂක පවුරක් තනයි. ස්ටාලින්ට පවා එම ශක්තිය බිඳ දැමීමට නොහැකි වූයේ, ජුකොව්ව විනාශ කිරීම යනු සෝවියට් දේශයේ පැවැත්මේ අඩිතාලම විනාශ කිරීම හා සමාන වන බැවිනි.
ස්ටාර්ලින් නමැති පූජකයා
ගෝර්ජි ජුකොව් යනු රුසියානු භූමිය විසින්, එහි අතිශය අසීරු කාල පරිච්ඡේදයක දී තමාව ආරක්ෂා කරගැනීම සඳහා නිර්මාණය කළ "මිනිස් අවියකි". ඔහු වටා ගෙතුණු මේ එග්‍රේගොර් ශක්තිය නිසා ඔහු අමරණීය විය. අදටත් අප ජුකොව් ගැන කතා කරන්නේ ඔහුගේ යුධ දක්ෂතාවය නිසාම නොව, ඔහු නියෝජනය කළ ඒ නොබිඳෙන රුසියානු "සාමූහික ආත්මය" අදටත් මොෆික් ක්ෂේත්‍ර තුළ ජීවමානව පවතින නිසාය. ඉතින් ඔබ විශ්වාස කරනවා ද, යම් පුද්ගලයෙකුට ජාතියක සාමූහික මනසේ ශක්තිය ලැබුණු විට ඔහු පරාජය කළ නොහැකි බලවතෙකු වන බව?
ප්‍රශ්න හා පිළිතුරු!

"ස්ටාලින් යනු අතිශය කපටි සහ ගුප්තමය අවබෝධයක් සහිත නායකයෙකි" සාක්ෂි?
ජෝසප් ස්ටාලින් යනු හුදු දේශපාලනඥයෙකු පමණක් නොව, මිනිස් මනස සහ බලය හසුරුවන ආකාරය පිළිබඳ අද්භූත හා ගුප්තමය අවබෝධයක් තිබූ පුද්ගලයෙකි. ඔහු "යකඩ මිනිසා" ලෙස හැඳින්වූයේ ඔහු ගේ පාලනයේ තිබූ තද ගතිය නිසාම නොව, කිසිවෙකුට කියවිය නොහැකි ඔහුගේ අභිරහස් පෞරුෂය නිසා ය.
ස්ටාලින් තරුණ කාලයේ ඕතඩොක්ස් ක්‍රිස්තියානි පූජකවරයකු වීමට ඉගෙන ගත් අයෙකි. එහි දී ඔහු මිනිසුන් ගේ පාපෝච්චාරණ, ඔවුන් ගේ බිය සහ වරදකාරී හැඟීම් හසුරුවන ආකාරය මැනවින් ඉගෙන ගත්තේ ය. ඔහු පසුව කොමියුනිස්ට් පක්ෂය තුළ ක්‍රියාත්මක කළ "පිරිසිදු කිරීම්" දෙස බලන්න. ඔහු තම සතුරන්ට මරණ දණ්ඩනය දීමට පෙර, ඔවුන් ලවා තමන් නොකළ වැරදි පවා ප්‍රසිද්ධියේ පිළිගැනීමට සැලැස්වූයේය. මෙය පූජකවරයෙකු ලෙස ඔහු ලැබූ පුහුණුවේ පැතිකඩකි.
Photoshop නොතිබූ යුගයක ස්ටාලින්
ස්ටාලින්ට තමන්ට අකීකරු වන පුද්ගලයන්ව භෞතිකව මරා දැමීම පමණක් ප්‍රමාණවත් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ ඔවුන්ගේ "මතකය" පවා ලෝකයෙන් අතුගා දැමීමටය. මෙය ගුප්ත විද්‍යාත්මකව බැලූ විට පුද්ගලයකුගේ 'එග්‍රේගොර්' ශක්තිය මුළුමනින්ම විනාශ කිරීමකි. තම සමීපතම සගයෙකු වූ නිකොලායි යෙෂොව් මරා දැමූ පසු, ස්ටාලින් ඔහු සමඟ සිටි ඡායාරූපවලින් ඔහුව සූක්ෂ්ම ලෙස මකා දැමීමට නියෝග කළේය. එදා Photoshop නොතිබූ යුගයක, ස්ටාලින් තාක්ෂණය භාවිත කරමින් ඉතිහාසය වෙනස් කළේ ය. ස්ටාලින් කිසිවිටෙකත් තමන් සිතන දේ මුහුණෙන් පෙන්වූයේ නැත. ඔහු බොහෝ විට කළේ අනෙක් අය කතා කරන දෙස නිහඬව බලා සිටීම යි. ඔහු තම කාර්යාලයේ දුරකතන පවා රහසින් පටිගත කරමින්, තම සගයින් තමන් නොමැති තැන පවසන දේ අසා සිටියේ ය. දෙවන ලෝක යුද්ධය අතරතුර බටහිර නායකයන් වූ චර්චිල් සහ රූස්වෙල්ට් සමඟ පැවති සාකච්ඡාවලදී, ඔවුන් පවා ස්ටාලින්ගේ මේ "අභිරහස් නිහඬ බව" හමුවේ අපහසුතාවයට පත් විය. ඔහු තමන් සතුව තිබූ ගුප්ත බලය මැනවින් ප්‍රදර්ශනය කළේය.
මිථ්‍යාවට බියව වෙනස් කළ උපන් දිනය

ඇතැම් ඉතිහාසඥයින් පවසන්නේ ස්ටාලින් තමන් ගේ උපන් දිනය පවා නිල වශයෙන් වෙනස් කර ඇති බව යි. ඔහු උපන්නේ 1878 දෙසැම්බර් 18වෙනිදා වුව ද, ඔහු එය 1879 දෙසැම්බර් 21 ලෙස නිල වශයෙන් සටහන් කළේය. මෙයට හේතුව ලෙස සැක කෙරෙන්නේ සතුරන්ට තමන්ගේ සැබෑ කේන්ද්‍රය සොයා ගැනීමට නොහැකි වන සේ "ගුප්ත ආවරණයක්" නිර්මාණය කිරීමයි. මොස්කව් නුවර ඔහු විසින් ඉදිකරන ලද "සෙවන් සිස්ටර්ස්" නමැති දැවැන්ත ගොඩනැගිලි හත දෙස බලන්න. මේවා හුදු ගොඩනැගිලි පමණක් නොව, මොස්කව් නුවර වටා ශක්ති වළල්ලක් ලෙස සකස් කළ ගුප්තමය ව්‍යුහයන් බව ඇතැම් ගුප්ත විද්‍යාඥයන් පවසති. රුසියාවේ පෞරාණික මන්ත්‍ර සහ ගුරුකම් ගැන ස්ටාලින් තුළ යම් උනන්දුවක් තිබූ බවත්, විශේෂයෙන්ම හිට්ලර්ගේ "ගුප්ත සේනාංක" හෙවත් Ahnenerbe වලට මුහුණ දීමට ඔහු රහසිගතව මෙවැනි ශක්ති භාවිතා කළ බවත් රහසක් නොවේ.
අවසන් වශයෙන් ස්ටාලින් යනු තර්කයෙන් පමණක් තේරුම් ගත හැකි නායකයකු නොවේ. ඔහු ඉතිහාසය වෙනස් කිරීමට තරම් කපටි වූ සහ අදෘශ්‍යමාන ශක්තීන් පවා, තම බලය තහවුරු කර ගැනීමට යොදාගත් "අඳුරු මායාකරුවෙකු" බඳු පාලකයෙකි.
ඒ ගැන තවත් ගැඹුරු විග්‍රහයකින් හමුවෙමු.
Sagara Diyagama

