ජාතික ජනබලවේග රජය ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ ඉතා කැපී පෙනෙන සලකුණක් තබා ඇත.
මෙය මැතිවරණ ඉතිහාසය තුළ වූ විකෘතියක් ලෙසින් සමහරුන් අර්ථකථනය කළ ද, එහි වූ සුවිශේෂී බව මකා දැමීමට තරම් එය ප්‍රභල සාධකයක් නොවෙන බැව් පෙනෙන්නට ඇත. මෙම ජයග්‍රහණයට ප්‍රමුඛ ලෙසින් බලපෑ කාරණය නම් කාන්තාවන් ගේ සහභාගීත්වය යන්න කා හට වුව ද පෙනෙන්නට තිබු කාරණයකි. ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ වේදිකා තුළ කාන්තාවන්ගේ හඬේ ප්‍රභලත්වය රැව් පිළිරැව් නැගුණි. මැතිවරණ වේදිකා වටකරගත්තේ දහස් ගණන් කාන්තා නියෝජන ය තම දරුවන් ද රැගෙන කාන්තාවෝ මෙම ප්‍රචාරක ව්‍යාපාරය වටා රොක් වූහ. එවැනි සංවේගී කාරණා මතුවීමට තරම් මෙම ප්‍රචාරණය ප්‍රභල විය.
ප්‍රධාන අරමුණු තුනක්
“ගැහැණු අපි එක මිටට” යන තේමා පාඨය ඉතා ප්‍රබල ලෙසින් මෙන්ම ඉතා අකාර්ෂණාත්මක ලෙසින් ද ජන මනස තුළට ගමන් කිරීමට හැකි ප්‍රචාරණයක් ලෙසින් දිස්වූ බැව් පෙනෙන්නට තිබුණි. මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය රටේ සිටින සමස්ත කාන්තාවන්ම ඉලක්ක කර නිර්මාණය කර තිබු බැව් හඳුනාගැනීම ඉතා පහසු ය. මෙහි වූ සංඛ්‍යාත්මක යථාර්ථය, ඉතා මැනවින් මෙහි නිර්මාණකරුවන් අවබෝධ කරගෙන තිබුණි. එනම්, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 52.6 ක් සහ ලියාපදිංචි ඡන්දදායකයින් ගෙන් සියයට 56 ක් කාන්තාවන් වන බව ය.
තවදුරටත්, එම කාන්තාවන් එනම් කිනම් පන්තියක් හෝ පෙළැන්තියක් නියෝජනය කරන කාන්තාවක් වුව ද, ඔවුන් මේ සමාජය තුළ අත්දකින පොදු වූ ප්‍රශ්න සහ දුෂ්කරතා මගින් එය බලාත්මක කර තිබුණි.
එයින් ප්‍රධාන ම කරණා ත්‍රිත්වයක්, මෙම ව්‍යාපෘතිය තුල ඉල්ලක කර තිබුණි.
01. දරිද්‍රතාවය
ලෝක බැංකුව විසින් ප්‍රකාශ කරන ලද දත්ත ඇසුරෙන් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි යන ප්‍රචාරණය මෙහි දී සැලකිල්ලට ගෙන තිබුණි. දරිද්‍රතාව වැඩිපුරම දැනෙන පාර්ශවය කාන්තාව ලෙස ඉතා නිවැරදිව අවබෝධ කරගනිමින් එය ඉතා වෛරී සහගත ලෙසින් උළුප්පා දැක්වීමට මෙම ව්‍යාපෘතිය සමත් විය. විදුලි කප්පාදුව, ගෑස් හිඟයේ ඉතා අමිහිරි මතක නැවත නැවත කරළියට ගෙන ඒමට කාන්තා කථකාවන් යොදා ගෙන තිබුණි.
( රනිල් වික්‍රමසිංහ ජනධිපතිතුමන් එම දුෂ්කරතා ඉවත් කර රට ඉතා ඉක්මනින් යථා තත්වයට ගෙන තිබුණ ද, ඉතා සංවේගී අයුරින් එම බිහිසුණු මතක නැවත කරළියට ගෙන ඒම මෙම ව්‍යාපෘතියේ ඉතා වැදගත් කොටස විය. මන්ද මේ සියලු දුෂ්කරතා ඉතා සංවේගී ලෙසින් ග්‍රහණය කර ගත්තේ ගෘහනියන් වීම ය.)
02. අධ්‍යාපනය
පෙර කල සිට ම ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කරන ලද “කොළඹට කිරි...ගමට කැකිරි” යන සටන් පාටයේ සෙවණැල්ල මත සිට ගනිමින්, අධ්‍යාපනයේ ඇති විෂමතා ඉස්මතු කර එමගින් ග්‍රාමීය මට්ටමේ ඇති අඩු පසුකම් අත්විඳින දරුවන් ගේ දෙමාපියන් මත වෛරය වැපිරවීම මෙහි අරමුණ විය. යටත්විජිත මාන්සිකතත්වයේ ශේෂවලින් ඇතිවූ “දරුවන්ට කොහොම හරි පාසල් අධ්‍යාපනය ලබා දිය යුතුය” යන සිතුවිලි අරමුණු කරගනිමින්, මෙම සාධකය ඔස්සේ මෙම වෛරී ප්‍රචාරණය දියත් කෙරුණි. සැමට සමාන පහසුකම් ඇති අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් හරිණි අමරසුරිය වැන්නවුන් ගෙන් ලැබුණු උණුසුම් ආමන්ත්‍රණ, මෙම අහිංසක කාන්තාවන් විශ්වාස කිරීමට පෙළඹුණේ, අධ්‍යාපනයට 6 %ක් වෙන් කිරීමට හරිණිලා ගෙනගිය උද්ඝෝෂණ පදනම් කරගෙන ය. ජෝසප් ස්ටාර්ලින් සහ මහින්ද ජයසිංහ වැන්නවුන් විටින් විට කරළියට ගෙන ආ උද්ඝෝෂණ, මෙම ව්‍යාපෘතියේ වූ අධ්‍යාපනය මාතෘකාවේ වෛරී ප්‍රචාරණය පැළකර ගැනීමට සුදුසු සරු පොළොවක් සකස් කළෝ ය.
03. සෞඛ්‍ය
ග්‍රාමීය සෞඛ්‍යය සහ එහි ඇති අවම මට්ටමේ පහසුකම් ගැන වූ ප්‍රචාරණය ඉතා සංවේගී මාතෘකාවක් විය. දරුවකු ගේ අසනීපයක් ගැන වැඩිපුර වග වෙන්නේ සහ වද වෙන්නේ කාන්තාව බව නොරහසකි. එම කාරණාව සහ එයින් මතුවන සංවේගීතා වෛරයක් බවට ඉතා පහසුවෙන් ම පරිවර්තනය කිරීමට මෙම ව්‍යාපෘතියට හැකිවූයේ, කෙහෙළිය රඹුක්වැල්ල වැන්නවුන් කළ ප්‍රකාශ සහ ඔවුන් හට එල්ලවූ චෝදනා මතින් වීම කා හට වුව ද තේරුම් ගැනීමට ඉතා අසීරු කාරණයක් නොවී ය. අධ්‍යාපනය ලැබීමට ඇති විෂමතාව ගෙන හැර දැක්වීමට සරු පසක් නිර්මාණය කළ අධ්‍යාපන වෘත්තීය සමිති මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ සෞඛ්‍ය වෘත්තීය සමිති ද, මෙම ප්‍රස්තුතය ඔස්සේ වෛරී හැගීම් සමාජය මත පැටවීමට ඉතා විශාල කාර්යභාරයක් කිරීමට සමත් වුණි.
විශිෂ්ට ගනයේ සම්මිශ්‍රණය
මෙහි දී පෙනෙන්නට තිබු ඉතා සුවිශේෂ සාධකය නම්, කාන්තාවන්ට ආමන්ත්‍රණය කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් නම් කර තිබු කාන්තා කතික පෞරුෂ ය. ආචාර්ය හරිණි අමරසුරිය බඳු උගත්, ඉහළ සමාජ පෙළැන්තියක් නියෝජනය කරන කාන්තාවක ගෙන් පටන්ගෙන, නිලන්ති කොට්ටහච්චි බඳු සංවේගී කථිකත්වයට හැකියාවක් ඇති පෞරුෂ සහ ලක්මාලි ප්‍රේමචන්ද්‍ර බඳු ආවේගශීලී ඇත්තියන් හරහා අම්බිගා සැමුවෙල් බඳු ඉතා පහළ දරිද්‍රතා මට්ටමේ ඇති වතු නිවාස නියෝජනය කරන කාන්තාවන් දක්වා මෙම බළ ඇණිය විහිදී තුබුණි. එය ඉතා විශිෂ්ට ගනයේ සම්මිශ්‍රණයකි. ඉතා නිවැරදි සමාජ පැතිකඩක බලවත් වූ ආමන්ත්‍රණ නිරාවරණයකි.
කාන්තාවන් පිරිමින්ට වඩා ඉතා සංවේගී යයි කියැවෙන සමාජ මතයට සහ එහි වූ එම සංවේගීතාව ඉස්මතු කිරීමට සමත් කාන්තා ආමන්ත්‍රණ සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට මෙම ව්‍යාපෘතිය අමතක කර තිබුණේ නැත. උදාහරණයක් ලෙසින් නිලන්ති කොට්ටහච්චි ගේ කතාවක ඉතා මනරම් අයුරින් සමාජ ව්‍යසනයක් මත ලියවූ රුවන් බන්දුජීව කවියා ගේ කවියක් ඉදිරිපත් කිරීම දැක්විය හැකි ය.
පියයුරැ දෙසීයයි
දෙකෙන් බෙදුවම ගැණු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරේ චූ යයි
එමෙන්ම නිරංජලා මංජරී බඳු ඉතා ඉහළ සංගීත සාක්ෂරතාවකින් හෙබි කලාකාරියන් මෙම සංවේගීතාව, සමාජ අසාධාරණය වෙනුවෙන් මතුවූ නිර්මාණ මගින්, මෙම වේදිකාව වර්ණවත් කර එම සංවේදීතාවට උත්ප්‍රේරකයක් එකතු කළෝ ය.
“ගැහැනු අපි එක මිටට” යටි අරුත
එනම්, “ගැහැනු අපි එක මිටට” යන ව්‍යාපෘතිය, ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට ඉතා සුවිශාල දායකත්වයක් සැපයු ව්‍යාපෘතියකි. එය නොතිබෙන්නට එම ජයග්‍රහණය ඔවුන් සාක්ෂාත් කර ගනු නැතයි සිතිය හැකි ය.
“එක මිටට” යන්න ගැන එරංග ගිනිගේ ලියු අදහසක් උපුටා දැක්වීමට සිතේ.
“එක මිටට යනු ජවිපෙ කාන්තාවන් එකට එකතු වෙලා හාල් ගැරීම වැන්නක් නොවෙයි. මාක්ස්වාදී දේශපාලනයේ සන්නිවේදනය තුළ ඇත්තේ ඇහැට පෙනෙන කණට ඇහෙන දෙය නොවේ. එහි වෙනත් යටි අර්ථයක් ඇත. 1971 කැරැල්ල ගැන ජවිපෙ සිය ත්‍රස්තයන්ට දැනුම් දුන්නේ “ජේවීපී අප්පුහාමි මියගියා. භූමදානය 5 වැනිදා 5 ට” යනුවෙන් ටෙලිග්‍රෑමයක් යවමිනි. (නූගත් මෝඩ හැත්ත වෙලාව වරද්දා ගත්ත එක වෙනම කතාවක්.) “එක මිටට” යනු ජවිපෙ විසින් සිය දේශපාලන ප්‍රතිවාදීන්ට කරන්නට යන දෙය ඉතා නිර්මාණශීලීව සිය ම්ලේච්ඡ සාමාජිකයන්ට දැනුම් දෙන ආකාරයයි. එනම් සිය ප්‍රතිවාදීන් “එක මිටට” වළ දමන බවයි. “සමූහ මිනීවළට” නොකියා “එක මිටට” කීම හරි ලස්සනයි..”
කාන්තාවන් ගේ ශෝකාන්තය
නමුත් ජාතික ජනබලවේගයේ රජයක් තුළ කාන්තාවන්ට එකමිටට ඇතිවී ඇති ශෝකාන්තය, එරංග ගිනිගේ ඉහතින් දැක්වූ අදහස අරුත් ගන්වන සිදුවීම් සමුදායක් සිදුවෙමින් පවතී.
ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින් 262 දෙනා අතර කාන්තාවන් සිටින්නේ 34 දෙනකු පමණක් වන අතර එය මුළු සංඛ්‍යාවෙන් සියයට 12.9 ක් පමණි. ඕනෑම දිස්ත්‍රික්කයකට ජාතික ජන බලවේගය විසින් නම් කරන ලද වැඩිම කාන්තාවන් සංඛ්‍යාව කොළඹ සඳහා වන අතර එය පස් දෙනකු (සියයට 23.8) වේ. කොළඹ හැරුණු විට, සාපේක්ෂව ඉහළ ආසන ප්‍රතිශතයක් ඇති කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල, ජාතික ජන බලවේගයේ කාන්තා නාමයෝජනා ප්‍රතිශතය දිස්ත්‍රික්ක සඳහා ජාතික ජන බලවේගයේ නාමයෝජනාවලින් සියයට 15 කටත් වඩා අඩු ය. කුරුණෑගල ඇතුළුව මැතිවරණ දිස්ත්‍රික්ක පහකට ලැබී ඇත්තේ කාන්තා අපේක්ෂකාවන් දෙදෙනකු පමණි. දිස්ත්‍රික්ක දහයකට ලැබෙන්නේ එක් ජාතික ජන බලවේගයේ කාන්තා අපේක්ෂකාවක පමණි. යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග ලැයිස්තුවේ එකදු කාන්තාවක්වත් නොමැත.
දැන හෝ නොදැන භාවිත වූ කාන්තා චරිත
හරිනි හැරුණු විට කැබිනට් අමාත්‍ය ධුරයක් ඇත්තේ සරෝජා පෝල්රාජ්ට ය. එනම්, එකම එක කාන්තා නියෝජනයක් පමණි. හරිනි ගේ අග්‍රාමාත්‍ය ධුරය සහ අමාත්‍ය ධුර ජාතික ජනබලවේගයේ සන්ධානයට හිමි එකඟතාවයට සහ නොදී බැරිකමට ලබා දුන් ඒවා බැව් සැවොම දන්නා කාරණයකි.
නිලන්ති කොට්ටහච්චි යනු ජාතික ජන්බලවේගයේ ජයග්‍රහණය උදෙසා තම සංවේගී ජනතා ආමන්ත්‍රණ හරහා සුවිශාල සේවයක් කළ මන්තිවරියකි. නමුත් ඉතා පරිස්සමින් නිරීක්ෂණය කළ විට පෙනෙන කාරණය නම්, ඇයව එම කාරණය සඳහා පාවිච්චි කර දැන් පසෙකට විසිකර දමා ඇතිබවය. එනම්, හෙන ගසන විට එළියට විසි කරන යකඩයක් බඳු තත්වයකට ඇයව ඇදදමා ඇතිබවය. එයට මුලික හේතුව ලෙස විද්‍යමාන වූ සිදුවීම නම්, නලින්ද ජයතිස්සට වඩා ඇය ජනප්‍රියතාවෙන් ඉහළට පැමිණීම ය. නිලන්ති කොට්ටහච්චි සහ නලින්ද ජයතිස්ස ගේ එළිපිටම කරළියට ආ ආරවුල සහ නලින්ද ජයතිස්ස විසින් ඇයව පහළට ඇද දැමීමට ඇය වෙත පවරන ව්‍යාපෘති මෙයට හොඳම නිදසුන් ය. සැවොම දන්නා පරිදි, යම් පසුපෙළ මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට, කතාවක් කිරීම හෝ සමාජ මාධ්‍ය පෙනීසිටිමක් බඳු දෙයකට පැළවත්තෙන් අවසර ගත යුතු ය. එසේ අවසර ලත් කතාවක් ලෙසින් ප්‍රකට “උගන්ඩා සල්ලි ගෙන ඒම” සහ මතුග මදී පැවතී “හරිනිට අපහාස නොකරණු” යන උද්ඝෝෂණය දක්වා යන සංසිද්ධි මගින් ඇයගේ ජනප්‍රියතාව පහළට ඇද දැමීමට කටයුතු කර ඇත.
“ගැහැනු එක මිටට”ම භාවිතයේ
මෙවන් සංසිද්ධීන් ගණනාවක්ම නිදසුන් ලෙසින් ගෙනහැර දැක්විය හැකි ය. ඉතා නුදුරුම සිදුවූ සංසිද්ධිය නම් හය වැනි ශ්‍රේණියේ මොඩියුලය හරහා මතුවූ පැනයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිචාරය යි. හරිණිව ද ඉතා නරක අයුරින් පාවිච්චි කරමින් සිටින බව ප්‍රත්‍යක්ෂ ලෙසම කිව හැකි ය. එය හරිණි අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන් දින සිට සිදුවූ සිද්ධින් එකමිටට පෙළගස්සවා බැලු විට එහි වූ රටාව අවබෝධ කර ගැනීමට අසීරු නැත.
“ගැහැනු එක මිටටම” පාවිච්චි කරන බවක් පෙනෙන්න්නට ඇත.
විපක්ෂයේ යන්නෙ කොහෙද මල්ලෙ පොල්
“ගැහැණු අපි එක මිටට” යන ව්‍යාපෘතිය හරහා විපක්ෂයට යමක් කිව යුතු ය. විපක්ෂයේ කිසිදු ව්‍යාපෘතියක් රටේ කාන්තාවන් ඉලක්ක කර දැනට නිර්මාණය කර නැත. එවැනි තැතකුත් පේන තෙක්මානයේ නැත. එවන්නක් විපක්ෂයේ කිසිදු පක්ෂයක් සතු වුවා නම්, හරිණිට, හරිණිගේ ස්ත්‍රීත්වයට මඩ ගැසීම, ඇයට අවලාද නැගීම යනාදි “යන්නේ කොහෙද, මල්ලේ පොල්” බඳු ජාතික ජනබලවේගයේ ව්‍යාපෘති, එම කාන්තා සමුහ ලවා ම කුඩුපට්ටම් කිරීමට හැකියාව තිබුණි. නමුත් අවාසනාවකට එවැන්නක් තවම බිහිවී නොමැත. එවැන්නක් තිබුණා නම්, කොට්ටහච්චිට සහ ඔෂානිට ඉතා සාර්ථක උත්තරයක් විපක්ෂයේ කාන්තා ශක්තිය හරහා පෙළගැස්සවීමට ඉතා ඉහළ මට්ටමේ අවස්ථාවක් තිබුණි. සජිත්ට සහ දිලිත්ට, කොට්ටහච්චිට සහ ඔෂානිට උත්තරයක් දීමට බැරිවූ බව මගේ නිරීක්ෂණය යි. මන්ද කාන්තාවක ගේ පැණයකට කාන්තාවක් හරහා ම උත්තර දීම වඩා සාර්ථක බව සමාජයේ ක්‍රියාකාරීත්වයෙන් ඔප්පු වී තිබේ. සජිත් සහ දිලිත් මෙවැනි සිල්ලර උද්ඝෝෂණ සඳහා සහභාගි වීමට අවශ්‍ය නැත. පක්ෂ නායකයින් ලෙස, ඔවුන්ට, මෙයට වඩා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන සඳහා මානව ශක්තිය එකතුකර ගැනීමේ ව්‍යාපෘති දෙසට තම හැකියා සහ ශක්තිය නිර්මාණශීලීව යොදාගත යුතුව ඇත.
සමාජය බලගන්වන කාන්තාවන්, සමාජයේ හුස්ම රඳාපවතින ගෘහණියන්, සමාජයට ආදරය ගෙනෙන කාන්තාවන් ඉල්ලකක කර නිර්මාණය කරන සමාජ ව්‍යාපාරයක් නොමැතිව ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණයක් ජයග්‍රහණය කිරීම ඉතා අසීරු කරුණක් බැව් විපක්ෂය තේරුම් ගන්නා තුරු, බොරුවේ චිත්‍ර ඇඳ, වෛරයේ විලවුන් ආලේප කර තැනු මෙම රජය පරාජය කිරීම ඉතා අසීරු කාරණයක් වනු ඇත.
දේශපාලන විශ්ලේෂක, වාස්තුවිද්යාඥ ඩෙනිස් ප්‍රනාන්දු

