රනිල් ගලවාගැනීමේ මෙහෙයුමේ ‘ටයිම්ස්’ බෝම්බය පුස්වෙඩිල්ලක් වූයේ ඇයි! | Sanath Balasooriya

 රනිල් ගලවාගැනීමේ මෙහෙයුමේ ‘ටයිම්ස්’ බෝම්බය පුස්වෙඩිල්ලක් වූයේ ඇයි! | Sanath Balasooriya

රනිල් වික්‍රමසිංහ බේරාගැනීම සඳහා පසුගිය ඉරිදා ටයිම්ස් පුවත්පත පත්තුකරන්නට ගිය ‘ටයිම්ස් බෝම්බය’ දැන් පුස්වෙඩිල්ලක් වී අවසාන ය.

රනිල්ගේ නඩුවට අදාළව සන්ඩේ ටයිම්ස් ඉදිරිපත් කර තිබූ එම වාර්තාව තනිකරම පකෂග්‍රාහී එකක් පමණක් නොව, රනිල් බේරාගැනීමට නීතිපතිවරයා ප්‍රමුඛ බලවේග දියත් කරන කුමන්ත්‍රණයේ ‘සතියේ මාධ්‍ය ආවරණය’ යි.

මේ බව කිසිදු බාහිර සාක්ෂි සාධකයකින් තොරව වුව, පුවතේ අභ්‍යන්තරයෙන්මත් සාධනය කළහැකි වීම විසින් පෙන්වා දෙන්නේ ඒ පුවතේ පකෂග්‍රාහීකමේ ඇති නිරුවත් හා බංකොලොත් භාවය යි.

ධූරාවලිය කනපිට ගැසූ ‘නිලධාරී තේරීම’

සන්ඩේ ටයිම්ස් සිය ප්‍රවෘත්තියට පදනම් කරගෙන තිබුණේ රනිල්ගේ නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරනුලැබූ නිරීක්ෂණ වාර්තා දෙකකි.

සන්ඩේ ටයිම්ස් ප්‍රමුඛත්වයට නොව, නීතිපති දෙපාර්තමේන්තුවේ නිල ධූරාවලියේ ප්‍රමුඛත්වයට අනුව ඒ නිලධාරීන් දෙදෙනා පෙළගැස්වුවහොත් එහි අනුපිළිවෙල මෙසේ ය.

1. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‍

මේ නඩුවේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ය. ඔහු මේ මොහොතේත් මේ නඩුවේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරයි.

2. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා

මේ නඩුවේ දී දිලීප පීරිස්ට සහාය වීම සඳහාය යි කියමින් නීතිපතිවරයා විසින් විමර්ශන අතරමැද දී නම්කරන ලද නිලධාරියා ය. දිලීපට වඩා නිල ධූරාවලියෙන් පහළ සිටින මොහු, මේ වනවිට මේ නඩුවෙන් ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වී සිටී.

වරද්දාගත් පදනම් මූලාශ්‍ර

මේ නිලධාරීන් දෙ දෙනා විසින් රනිල්ගේ නඩු කටයුත්ත සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ දක්වමින් නීතිපතිවරයාට ලබාදෙන වාර්තා දෙක සන්ඩේ ටයිම්ස් සිය වාර්තාවට පදනම් කරගන්නා අතර, ඒ වාර්තා දෙක පිළිබඳ තත්ත්වය අපේ තොරතුරුවලට අනුව මෙසේ ය.

1. නඩුවේ මේ මොහොතේත් ප්‍රධාන අධීක්ෂණ නිලධාරී දිලීප පීරිස්ගේ වාර්තාව පිටු 8කින් සමන්විත ය.

ඔහු එහි කියන්නේ, රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි දැනට සිදුකර ඇති සීඅයිඩී විමර්ශනවලින් පැහැදිළිවම හෙළිදරව් වී ඇති බව ය. ඔහුගේ වාර්තාව සැකසෙන්නේ මේ නඩුවේ සහාය නීති නිලධාරිනියක වන රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ සමදරී පියසේනගේ ද උදව්වෙනි‍. විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ලබාගෙන ඇති සියලු ප්‍රකාශ ඇතුළු සාක්ෂි සම්පිණ්ඩන සලකා බලා, විමර්ශන නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡා වට කිහිපයකින් ද අනතුරුව මෙම වාර්තාව සකස්වී තිබේ.

2. නඩුවෙන් මේ වනවිට ස්ව කැමැත්තෙන් ඉවත් වී සිටින, දිලීප පීරිස්ගේ සහායට නම්කරන ලද වසන්ත පෙරේරාගේ වාර්තාව පිටු 6කින් සමන්විත ය.

ඔහු එහි කියන්නේ රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් හෙළිදරව් වී නොමැති බව ය.

ඔහු රනිල් සම්බන්ධ විමර්ශනවල දී සීඅයිඩී අධීක්ෂණ නිලධාරියකු ලෙස කිසිදු අවස්ථාවක කටයුතු කර නැත. ඒ අනුව ඔහු අත මෙතෙක් සීඅයිඩීය සටහන් කරගත් සියලු ප්‍රකාශවල සම්පිණ්ඩන නොපැවැති අතර, ඔහුගේ ඉල්ලීමට අනුව ලබාදෙන ලද හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රකාශයේ සම්පිණ්ඩනයක් පමණක් තිබිණි.‍

ඔහු මේ විමර්ශන ගැන සිය නිරීක්ෂණ වාර්තාව ලබාදීමට පෙර අදාළ සීඅයිඩී විමර්ශන නිලධාරීන් සමඟ කිසිම අවස්ථාවක කිසිදු සාකච්ඡාවක් පවත්වා නැත.

(සාමාන්‍ය ක්‍රියා පටිපාටියට අනුව, අදාළ නඩුකටයුත්ත භාර අධීක්ෂණ නිලධාරියා/නිලධාරිනිය (ඇතැම් විට සහායක නීති නිලධාරී කණ්ඩායමේ ද සහාය ඇතිව) අදාළ විමර්ශනය සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිද නොහැකිද යන සිය නිරීක්ෂණය නීතිපතිවරයාට ලබාදෙන්නේ සීඅයිඩීය සපයන සාක්ෂි සම්පිණ්ඩන අධ්‍යයනය කිරීමට අමතරව, විමර්ශන නිලධාරීන් සමඟ පවත්වන සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව ය.)

ප්‍රධාන විය යුතු වාර්තාව කුමක්ද?

ෆේස්බුක් ලියන්නෙක්, යූටියුබ්කාරයෙක් වැනි සමාජ මාධ්‍යකාරයෙක් නොවන, ලංකාවේ ‘ප්‍රමුඛතම’ හා ‘කීර්තිමත්’ මුද්‍රිත මාධ්‍යයක වාර්තාකරුවෙක් තමන්ගේ වාර්තාවට පදනම් කරගත යුත්තේ මේ නිලධාරීන් දෙදොනා අතුරින් කවුරුන් විසින් ඉදිරිපත් කරන නිරීක්ෂණ වාර්තාවද?

දැනටත් නඩුවේ අධීක්ෂණය සිදුකරන, නිල ධූරාවලියේ වඩා ඉහළින් සිටින අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ පිටු 8ක වාර්තාවද?

නැතිනම්, දැනට නඩුවෙන් ඉවත් වී සිටින, නිල ධූරාවලියේ ඉහත නිලධාරියාට පහළින් සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ පිටු 6ක වාර්තාවටද?

එය පළමුවැන්නය යන්න, ජනමාධ්‍යවේදියකුට නොව සාමාන්‍ය සිහිබුද්ධියක් ඇති පාඨකයකුට පවා වටහාගන්නට බැරි රොකට් සයන්ස් එකක් නොවේ.

එහෙත් ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි පත්තරයක් වෙනුවෙන් මේ වාර්තාව සපයන, අවුරුදු බර ගාණක් උසාවි බඩගා වාර්තා සපයන බව කියන, මාධ්‍ය ආයතන අඩුම හතරක වැඩකර ඇති (අප හොඳින් දන්නා හඳුනන) Ranjith Padmasiri සිය වාර්තාවට තෝරාගන්නේ (වඩාත් නිවැරැදිව කියන්නේ නම් ඔහුට තෝරා දෙන්නේ) වඩා වැදගත් පළමු වාර්තාව නොව, වැදගත් කමින් ඉතා අඩු දෙවැනි වාර්තාව යි.

ඒ රනිල්ට නඩුදැමීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මත බෙදීමක් ඇති බවටත්, රනිල්ට හෝ වෙනත් කිසිවකුට එරෙහිව නඩුදාන්නට තරම් සාක්ෂි සීඅයිඩිය සොයාගෙන නොමැති බවටත් බොරුවක් ඇදබා ඊට අවශ්‍ය මතයක් විශේෂයෙන් නීති ක්ෂේත්‍රය තුළ හදන්නට ය.

මේ දෙකම පදනම් විරහිත කතා ය.
මත බෙදීමක් ඇතැයි කීම මුසාවක්!

නීතිපති දෙපාර්තමේන්තුවේ මේ නඩුව සම්බන්ධයෙන් බෙදුණු නිල මත දෙකක් නැත. ඇත්තේ එක් නිල මතයකි‍. ඒ මතය නම්, නඩු කටයුත්තේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටින, ‘නඩුකටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් අනාවරණය වී ඇතිය’ යන්න යි.

නඩුදාන්න සාක්කි නැතැයි කියන මතය දැනටමත් පරාජය වී ඇත්තේ ඒ මතය නිලවශයෙන් ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා නඩුවෙන් ඉවත්වී ඇති බැවිනි.

ඔහු ඉවත් නොවී නඩු කටයුත්ත සමඟ සිටියා නම්, නිලධාරීන් දෙදෙනෙක් ගෙන එන බෙදුණු මතයක් ඇති බව කිවහැකි ය. එහෙත් ඒ දෙවැනි මතය දරන්නා නඩුවෙන් ඉවත් වූ පසු පවතින්නේ එක් මතයක් පමණි‍.

මේ සරල තර්කය යටපත් කරන්නට, අවුරුදු 30 – 40ක් උසාවි බඩගෑ පද්මසිරිට හෝ ඔහු ලවා තමන්ට ඕනෑ දේ ලියවන නීතිපති දෙපාර්තමේන්තුවේ හා පත්තර කන්තෝරුවේ බලධාරීන්ට නොහැකි වන්නේ, ඔවුන් මේ ප්‍රවෘත්තිය දේශපාලන තක්කඩිකමකට භාවිත කරන බැවිනි‍.

ඇත්ත වශයෙන්ම නම් නීතිපති දෙපාර්තමේන්තුවේ දැන් නිල වශයෙන් ඉතිරිව තිබෙන්නේ දිලීප පීරිස් දරන ‘නඩු පැවරීම කළහැකි ය’ යන තනි මතය පමණි.

නීතිපතිවරයා ප්‍රධාන රනිල් වික්‍රමසිංහට පක්ෂපාතී පිරිසක් රහසින් අනෙක් මතය, එනම් වසන්ත පෙරේරාත් දරමින් සිට අවසන අතැරදමා යන්නට ගිය ‘නඩු පැවරිය නොහැක’ යන මතය දරා සිටියත්, ඔවුන් ඒ මතය දිනවීමට හැකි සියලු යටිකූට්ටු ගේම් ගසමින් සිටින බව පෙනුණත්, දිලීප ඉහත මතය දරාසිටින තුරු මේ ‘ක්‍රමන්ත්‍රණ කල්ලියේ මතය’ නිල මතය වන්නේ නැත. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් බෙදුණු මතයක් ඇතැයි කරන ටයිම්ස් වාර්තාකරණය මුසාවකි.

දෙන දේ ලියාගෙන සිටීමේ කලාව

වාර්තාකරුවා වශයෙන් සිය වගකීම හා විශ්වසනීයත්වයට ඇති බැඳීම පසෙක ලා, දෙන හා කියන දේ ලියන පද්මසිරිත්, සමාජමාධ්‍ය මෙන් නොව ‘කීර්තිමත්’ ජනමාධ්‍යයක් වන, එහෙත් දේශපාලන අරමුණකින් ප්‍රවෘත්තිය පැළකරන ටයිම්ස් එකත් කිසිදු ප්‍රශ්නකිරීමකින් තොරව මුළුමනින් අත්හැර දමන ප්‍රධානතම කාරණය කුමක්ද?

ඇත්තටම මේ ප්‍රවෘත්තියේ ප්‍රධාන මූලාශ්‍රය වියයුතුව තිබූ, රනිල්ට එරෙහිව නඩු දැමිය හැකියයි සියලු සාක්ෂි සම්පිණ්ඩන හා විමර්ශන නිලධාරී සාකච්ඡා ඇසුරින් නිර්දේශ කරන දිලීප පීරිස්ගේ වාර්තාව යි. ඔවුන් වාර්තාව කෝ කියා අසන්නේ නැත. එහි අඩංගුව ගැන අසන්නේ නැත. ඔවුන් ප්‍රවෘත්තිය පළකරන විටත්, දින 4ක් 5ක් තිස්සේ ඒ වාර්තාව අතුරුදහන් වී ඇති බව සොයාගන්නේත් නැත.

මන්ද, එය ප්‍රවෘත්තියක් සොයායාමක්, ගවේෂණයක් නොව, නීතිපති දෙපාර්තමේන්තුවත්, පත්තර කන්තෝරුවත් එක මල්ලේ ලුණු කමින් කරන 'නිවුස් ප්ලාන්ට් කිරීමක්' නිසා ය.

‘නිවුස් ප්ලාන්ට්’

පත්තර කන්තෝරුවට නම් තමන්ගේ කීර්තියට වඩා පත්තර හිමියාගේ බෑනා බේරාගැනීම ප්‍රමුඛ වන බැවින් මේ ප්ලාන්ට් කිරීම නොකරම බැරි ය. සන්ඩේ ටයිම්ස් ගහන්නේ රනිල්ගේ මවගේ බාල සහෝදරයා වන රංජිත් විජේවර්ධනට අයත් පත්තර ආයතනයේ ය යන්න නොදන්නා කෙනෙක් ඇතැයි නොසිතමු.

ඒත් මේ වගේ කොන්ත්‍රාත් කරන්නට ගියාම පත්තරකාරයෙක් හැටියට අවුරුදු තිහ හතලිහක් හම්බකරං කෑ රස්සාව බල්ලා මාක් එකට වැටෙන බැවින් පද්මසිරිටවත්, මේ ජාතියේ ඉල්ලීමක් හරි කරන්නට කොන්දක් තිබිය යුතුව තිබිණි.

“අනේ මගේ කලිසම ගැලවෙන හින්දා අර දිලීපගේ වාර්තාවේත් තියෙන්නේ මොනවද, ඒකට වුණේ මොකද කියලා වාක්‍ය දෙකක්වත් ලියන්ඩ දෙන්ඩ බැරිද?”
පද්මසිරි ඉල්ලුවාට ඒක කරන්නට බැරිය‍. ඒක හෙළිදරව් කළේ නම් ප්‍රවෘත්තිය ලියන්නට වෙන්නේ ඔය ලියාඇති හැටියට නොවේ ය.

දැන් ඇති AG’s Dept divided on filing charges against Ranil නම් හෙඩිම වෙනුවට එහි හෙඩිම වියයුතු වන්නේ මෙවැන්නක් නොවේදැයි කල්පනා කර බැලීම වටී.

''රනිල්ට විරුද්ධව නඩු දැමීමට තිබෙන සාක්ෂි ප්‍රමාණවත්: ප්‍රධාන අධීක්ෂණ නිලධාරී දිලීප පීරිස් කියයි''

ඕනෑ නම් සබ් හෙඩිමක් මේ විදියට දැමිය හැකි ය.

''නඩු දමන්න සාක්ෂි නැතැයි කී වසන්ත පෙරේරා නඩුවෙන් ඉවත් වේ''

ඒ අනුව ‘කීර්තිමත්’ සන්ඩේ ටයිම්ස් එකට තමන්ගේ තදබල වූද, තදාත්ම්‍ය වූද දේශපාලන අවශ්‍යතාව නිසාත්, වාර්තාකාර පද්මසිරිට බඩගෝස්තරවාදී වීම නිසාත් මේ පුවතේ ප්‍රවෘත්තිමය ජීවගුණය බේරාගන්නට හෝ ආචාර ධාර්මිකත්වය රැකගන්නට බැරි වී, එය දේශපාලන අරමුණින් සිදුකළ නිවුස් ප්ලාන්ට් එකක් බවට පත්වේ.

නීති ක්ෂේත්‍රයේ ‘ටයිම්ස්’ බෝම්බය

‘නීති ක්ෂේත්‍රයට වැඩිම බලපෑමක් කළ හැකි සති අන්ත පුවත්පත සන්ඩේ ටයිම්ස් ය’ යනුවෙන් මතයක් කලෙක බලවත්ව පැවැතිණි. සමාජ මාධ්‍ය මේ තරම් බලවත් වන්නට පෙර මේ ‘නොනිල බලය’ කොයි ආකාරයෙන් අභ්‍යාස කැරෙන්නට ඇද්ද යන්න බලාගැනීමට දැන් දැන් ටයිම්ස් නොබලන රටේ සාමාන්‍ය ජනතාවටත් වැඩි අවස්ථාවක් ලැබී තිබේ. ඒ අතරම ටයිම්ස්ට තිබූ ඒ බලය අද කිසිදු පත්තරයකට නොලියන රූපවාහිනියකට මුහුණ නොදමන නමුත් විශ්වසනීයත්වය හැකි උපරිමයෙන් ආරක්ෂා කරගන්නා ඒකපුද්ගල සමාජ මාධ්‍ය ගිණුමකට පවා යම් ප්‍රමාණයකින් ඇති බවට උදාහරණ අතලොස්සක් හෝ ලංකාවට තිබේ.

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ, ඉරිදාට ඉරිදාට සන්ඩේ ටයිම්ස් නම් ඔබේ ඔලුවේ ඉන්නා ‘ඉංගිරිසි මාධ්‍ය දෑවැන්තයා’ අනෙකුත් මාධ්‍ය වාර්තාකරණයන් හා විග්‍රහ විචාර අස්සේ ඔබා අල්ල මත පැළකරන මෙවැනි දේශපාලනිකව අභිප්‍රේරිත ප්‍රවෘත්ති, ටයිම්ස් කී නිසා ඒ කියන්නන් වාලේ උස්සාගෙන දුවන්නේ නැතිව, නිවිහැනහිල්ලේ විශ්ලේෂණය කර බලා ඇවැසි තැන අභියෝග කිරීමට නිර්භීත වන ලෙස ය.

ඔය මහා ජනමාධ්‍ය අධිරාජ්‍ය යුගය දැන් වේගයෙන් සමතලා වෙමින් එන්නේ ය.

ඒ සමතලා කිරීම උපරිමයෙන් වේගවත් කර පුරවැසියා සතු අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය වැඩි වැඩියෙන් පුරවැසියා සන්තක කිරීමට තැත් දැරීම මේ යුගයේ රැඩිකල් කාර්යභාරයක් නොවන්නේදැ’යි යන්න කල්පනා කර බැලීමට තරම් වටින දෙයකි.

ඊට අමතරව ටයිම්ස් වාර්තාවේ එන බොරු, සාවද්‍ය හා නොමඟ යවන මෙන්ම පැළකළ තොරතුරු ද ගැන අපි ඉතාම දීර්ඝව අපේ මුල් ලිපියෙන් කියා ඇති බැවින් මෙහි ඒ ගැන කිසිත් නොලියමු.

sanath(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න