ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේ 1977 බලයට පත්වූ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ. එතැන් සිට අද දක්වා, බලයට පත්වෙන්නට වලිකන සියලු ම දේශපාලන පක්ෂ මතුරන මන්තරය තමයි, අපි ලංකාව සිංගප්පූරුවක් කරනවා කියන එක. අවාසනාවට අපේ අටේ දේශපාලකයින්වත් ඊනියා ආර්ථික විද්‍යාඥයින්ටවත් භෞතික සංවර්ධනය හඹා ගිය ජාතීන් මුහුණ දෙන බිහිසුණු යථාර්ථය විවරණය කරගන්නට දැනුමක් නැහැ. අතීත ජපානයේ කඳු මුදුන්වල මහල්ලන්ව තනිකර දැමූ යුගයේ සිට, නූතන ටෝකියෝවේ හුදෙකලා මහල් නිවාස ඇතුළෙ තුච්ඡ ලෙස මියයන තරුණයින් දක්වා දිවෙන ශෝකාන්තය ගැන දැනගන්නට, එක්කෝ ඒ අයට වුවමනාවක් නැහැ, නැතිනම් දැන දැනත් ඒ යථාර්ථය හෙළිදරවු නොකර ඉන්නවා.
ආධ්‍යාත්මික දිළිඳුකමේ සෙවණැල්ල
හැමෝම හිතාගෙන ඉන්නේ ටෝකියෝවේ කේතුමතී පුරය වාගේ බබළන ක්ෂේම භූමියක් කියලා. විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව හිතන්නේ ස්ටුඩන්ට් වීසා එකක් හරි ගහගෙන ජපානයට පනිනවා කියලා. ඒක තමයි බහුතරය දකින ලෝකය. ඒත් ජපානය, දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව ආදී සෑම ආර්ථික ආශ්චර්යයකට ම පිටුපසින් නිහඬ, ආධ්‍යාත්මික දිළිඳුකමක සෙවණැල්ලක් ලුහුබඳිනවා. මේ රටවල් අතරින් ජපාන ඛේදවාචකයේ බරපතළකම තේරුම් ගන්න නම් 'උබාසුතේ' (Ubasute) ජනප්‍රවාදත්, 'ආඕකිගහරා' (Aokigahara) වනාන්තරයේ නූතන යථාර්ථයත් එකට කියවන්න ඕනේ. ජපන් භාෂාවෙන් 'උබාසුතේ' කියන්නේ හුදෙක් ජනප්‍රවාදයක් විතරක් නෙවෙයි. ඒක අතීත ජපානය මුහුණ දුන් දරුණු සාගතයක මාරාන්තික සංකේතයක්
'ආඕකිගහරා' (Aokigahara)
අතීත ජපානයේ ඇතැම් දරුණු සාගත කාලවල දි, පුරවැසියන් ගේ බඩගිනි නිවන්නට තරම් ආහාර නිෂ්පාදනය ප්‍රමාණවත් නොවුණු තැන, ඇතැම් ප්‍රදේශීය පාලකයින් දරුණු තීරණවලට එළඹුණා. ඔවුන් අණ කළා, එක්කෝ වැඩිහිටියන්ව ගෙවල්වලින් එළවා දමන ලෙස. නැතිනම් දුෂ්කර කඳු මුදුන්වලට උස්සාගෙන ගිහිං අතරමං කර එන ලෙස. තමන්ව පණ මෙන් රැකගත් දෙමාපියන්ව පවා තවත් එක බත් කටක් පමණක් ලෙස දකින තැනට සමාජයක් පිරිහෙන්නේ මිනිස්සු අධ්‍යාත්මිකව උපරිම සීමාවට තල්ලු වුනාම.
'චමින්දලා' ගේ දරුවෝ
වර්තමාන ලංකාව ද මෙවැනිම ඛේදජනක ඉරණමක් කරා තල්ලු වෙමින් තියෙනවා. අදවන විට ලංකාවේ වැඩිහිටි නිවාස හාරසිය පනහකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. 2024 අවසානය වෙන විට, ලංකාවේ ජනගහනයෙන් සියයට 12.6 ක් අවුරුදු හැටපහ පැනපු වැඩිහිටියෝ. විවිධ සාමාජීය හේතු නිසා, මේ වෙනවිට ඒවාට ඇතුළු වෙන අපේක්ෂාවෙන් පොරොත්තු ලැයිස්තුවල ඉන්න පිරිස දහස් ගණනක්. ලෝකය ඩිජිටල්කරණය වීමත් සමගම, ලොවපුරා තරුණන් වැඩිහිටියන් දෙස බලන ආකාරය උඩුයටිකුරු වෙමින් තියෙනවා. මගේ මිතුරකුගේ තිස් හැවිදිරි පුතෙක්, මෑත දවසක මා සමග කළ කතාබහක දී අපූරු එළිදරව්වක් කළා.
“මෙහෙමනේ අංකල්... ලංකාවේ වැඩිහිටියෝ ප්‍රෝග්‍රෙසිව් නැහැ. ඒ ගොල්ලෝ හිතන්නේ පරණ විදියට. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් වාගේ සෝෂල් මීඩියා චැනල්වල (influencers) දිහා බලලා ලයිෆ් එක අප්ඩේට් කරගන්න කියලා කට කැඩෙනකල් කිව්වත් අහන්නෑ. (Extra cheese, extra olives) එහෙමත් දාලා (Harpo's) එකෙන් ගෙනාපු (Thin crust) පීට්සා එකක් දිලිසි දිලිසි මේසේ උඩ තියෙද්දි, තළු මරමර පොලොස් ඇඹුල් එක්ක පොල් රොටි කනවා දකින කොට අපිට මල පනින එක සාධාරණ නැද්ද?”
මේ තමයි ඔහු ගේ අදහස; ඉතිං දරුණු ලෙස සමාජ ජාලා සංස්කෘතියකට අනුගත වුනු ඒ අයට, තමන්නේ දෙමාපියන්ව පවා පේන්නේ චමින්දලා විදියට.
නූතන සංවර්ධන මොඩලයට ඇති අභියෝග
ඔය කියන ඊනියා පුනරුදේට කවමදාකවත් තේරුම් ගන්න බැරි “ආධ්‍යාත්මික බැඳීම” ගැන ලස්සන කතාවක් ජපන් ජනප්‍රවාදයේ තියෙනවා. ඒක පටන් ගන්නේ කවියකින්
ගිරි ගැබ තුළ
ඒ මහලු මව අතු කඩා දැමුවේ කා වෙනුවෙන් ද?
තමා ගැන නොසිතා ම
ඇය එසේ කළේ සිය පුතු වෙනුවෙන් ම ය
අතීත ජපානයේ දුර්භික්ෂ කාලයක, එක්තරා රුදුරු පාලකයෙක්, වයස අවුරුදු 70 පැනපු සියලුම වැඩිහිටියන්, කඳු මුදුනක අතහැර දමා එන්න කියලා අණ කරනවා. මේ අණට පිටුපෑ නොහැකි වූ පුතෙක්, තම වියපත් මව කර තබාගෙන රළු කඳු පාරක් දිගේ ඉහළට ගමන් කරනවා. ටික දුරක් යනකොට මේ පුතාට ඇහෙනවා තමා පිටුපසින් කුඩා අතු කැබලි කැඩෙන හඬක්. ඔහු සැකමුසු හඬින් අම්මාගෙන් අහනවා
“අම්මා... ඇයි මෙහෙම අප යන මග දිගට අතු කඩා දමන්නේ,” කියලා
ඉතා නිවුණු සිතින් අම්මා දුන් උත්තරය තමයි ඒ කවියේ තියෙන්නේ. ඒ අම්මා කියනවා “මගේ පුතාට මේ කැලය මැද්දේ, අතරමං නොවී ගෙදර යන්න පහසු වෙන්න පහසු මග සලකුණු තියන්නයි මම මේ අතු කඩා දමන්නේ,” කියලා.
තමන්ව මරණයේ දොරකඩ අසලට ඔසවාගෙන යන දරුවන් ගැන පවා අම්මලා හිතන්නේ එහෙමයි. ඒ සෙනෙහස, ඒ ආත්මීය බැඳීම ඔය කියන අලුත් පරම්පරාවට තේරුම්ගන්න බැහැ. අපි මිනිසුන්ව ආර්ථික ඒකක විදියට විතරක් දකින්න ගත්තම අප ඇතුළෙ ලියලන මනුෂ්‍යත්වය දියාරුවෙලා යනවා. මේ අහිංසක අම්ම ගේ ක්‍රියා කලාපය නූතන සංවර්ධනය මොඩලයට ලොකු අභියෝගයක් කරනවා.
ඊනියා සංවර්ධනයේ අඳුරු අහුමුළු
අතීතයේ කඳු මුදුන්වල වුණු ඒ අතහැර දැමීම, අද සිද්ධ වෙන්නේ නූතන කොන්ක්‍රීට් කූඩු ඇතුළෙ. ජපන් භාෂාවෙන් හුදෙකලා මරණයට කියන්නේ ‘කොදොකුෂි‘ (Kodokushi) කියලා. අද ජපානයේ සාගත නැහැ. ඒ වෙනුවට සල්ලි, තාක්ෂණය, ආරක්ෂාව තියෙනවා. හැබැයි ඒ හැමදේම මැද මිනිස්සු තනි වෙලා. තමන්ගේ කාමරේ ඇතුළේ මැරිලා සති ගණනක් යනකල් කවුරුවත් දන්නේ නැති ‘කොදොකුෂි‘ හුදෙකලා මරණ ඊනියා සංවර්ධනයේ අඳුරු අහුමුළු හෙළිදරවු කරනවා.
‘කොදොකුෂි‘ (Kodokushi)
හරුකි වටනාබේ ගේ කතාව ඒකට හොඳ උදාහරණයක්. හරුකි වටනාබේ කියන්නේ ඔය කියන අලුත් ජපානය ගොඩනගාපු මැසිමේ එක ඉස්කුරුප්පු ඇණයක්. ඒ පරම්පරාවම හිතුවේ අන්‍යෝන්‍ය සම්බන්ධතා කියන්නේ කාලය කාබාසිනියා කිරීමක් කියලා. විශ්‍රාමයෙන් පස්සේ හරුකි වටනාබේ ඔසාකා නගරයේ කොන්ක්‍රීට් කූඩුවක තනි වුණා. එයාගෙ බැංකු ගිණුම හිස් වුණා. කුලී ගෙවීම ඉබේම නතර වුණා. ගෙවල් අයිතිකාරයා එයාව හොයාගෙන ආවමයි දැනගත්තේ මිනිහා කාමරේ ඇතුළෙ මැරිලා කියලා.
මුළු මහත් ජාතියක ම ආධ්‍යාත්මික කුණු වීමේ සංකේතය
2024-2025 කාලයේ විතරක් 76,000කට වඩා පිරිසක් ඔය විදියට ජපානයේ ගෙවල් ඇතුළෙ හුදෙකලාව මියගිහින් තියෙනවා. මේ ප්‍රශ්නයේ අශුභම ලක්ෂණය තමයි ‘ටොකුෂු සෙයිසෝ’ කියන විශේෂිත අපවිත්‍රතා පිරිසිදු කරන්නන් ගේ ව්‍යාපාරයේ ව්‍යාප්තිය. ඒ අය පිරිසිදු කරන්නේ ගෘහ භාණ්ඩවත්, වැසිකිළි, කැසිකිළිවත් නෙවෙයි. සමහර විට මැරිලා සති ගණන්, මාස ගණන් කුණු මනුෂ්‍ය ශරීරයි ඒ අය පිරිපහදු කරන්නේ. මෙවැනි සමාගම් 500 කට වැඩි සංඛ්‍යාවක් අද ජපානය පුරා විසිර තියෙනවා. ඒක මුළු මහත් ජාතියක ම ආධ්‍යාත්මික කුණුවීමේ සංකේතයක්.
ආඕකිගහරා කියන්නේ ෆුජියාමා කන්ද පාමුල තියෙන ඝණ වනාන්තරයකට. ඒක ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ (Death Forest) එහෙමත් නැත්නම් මරණයේ වනාන්තරය විදියට. සමාජයේ විවිධ තරාතිරම්වල මිනිස්සු තමන්ගේ දිවි තොර කරගන්නට මේ අඳුරු වනාන්තරය තෝරා ගන්නවා. සමහර අය ගිය දවසේ ම දිවිතොර කරගන්නවා. තවත් සමහරු දින ගණන් ඒ ඝණ වනාන්තරය ඇතුළෙ අතරමං වෙලා ඉඳලා, හිත වෙනස් වුණාම ආයාමත් ආයිමත් එළියට එනවා. ඒක පුදුමාකාර අද්භූත තැනක්. මේ වනාන්තරයට ඇතුළු වෙන තැන විශාල දැන්වීම පුවරුවක මේ සටහන ලියා තියෙනවා.
'ආඕකිගහරා' (Aokigahara)
“ඔබේ ජීවිතය ඔබේ දෙමව්පියන්ගෙන් ඔබට ලැබුණු වටිනා ත්‍යාගයක්. කරුණාකර ඔබේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ දරුවන් ගැන නැවත වරක් සිතා බලන්න. හුදෙකලාව පීඩා විඳින්න එපා. කරුණාකර කිසිවෙකු සමග කතා කරන්න ඉදිරිපත් වෙන්න.”
ලංකාව ලංකාව සිංගප්පූරුවක් හරි ජපානයක් කරන්න ඕනෑ කියලා කෑගහන හැම වෙලාවකම ඒ රටවල ඇතුළාන්තයේ තියෙන මේ ඛේදනීය හුදෙකලාව අමතක කරනවා. ගොඩ ඉඳන් මාළු බාන, දියුණුව ගැන විතරක් පාරම්බාන පාලකයින් සහ ආර්ථික ඔස්තාද්ලා ඒ රටවල මිනිස්සු විඳින ආත්මීය පරාජිත බව දකින්නේ නැහැ. දැක්කත් ඒ ගැන කතා නොකර ඉන්නට හිත හදාගෙන තියෙනවා.
විෂ්ණු වාසු

