කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද කෘතිම බුද්ධිය (AI) භාවිත කළ හැකි අතිනවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය අද (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවා සදහා එක් කළේ ය.
මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා වත්මන් රජය රුපියල් මිලියන 450කට අධික මුදලක් වැය කළේ ය; මෙවැනි අති නවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රයක් රජයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව ද මෙය යි.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සහ ස්නායු ශල්‍ය අංශය යන අංශවල ප්‍රතිකාර සේවා වඩාත් විධිමත්ව සිදුකිරීමේ අරමුණින් මෙම යන්ත්‍රය ස්ථාපිත කෙරිණි.
කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර (Magnetic Resonance Imaging) 03 පසුගිය කාලය තුළ වරින්වර අක්‍රීය තත්ත්වයට පත් වීම හේතුවෙන් රෝගී සත්කාරක සේවා ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට පත් විය.
නව රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි ගේ දැඩි අවධානය මේ සඳහා යොමු වූ අතර, ඒ අනුව එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර වරින් වර අක්‍රීය වීම පිළිබඳව කරුණු සොයා බලමින්, ලබාදුන් මගපෙන්වීම සහ උපදෙස් මත මේවන වන විට කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර 03ම සක්‍රීයව රෝගී සත්කාර සේවා සඳහා එක් කිරීමට හැකියාව ලැබුණි.
මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් MRI ස්කෑන් යන්ත්‍රය අද දින ස්ථාපිත කෙරුණේ එම යන්ත්‍ර තුනට අමතරව ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, හදිසි අනතුරු සහ සහ ස්නායු ශල්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික ජාගොඩ යන අය මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්


