මනුෂ්‍යත්වයේ බලාපොරොත්තුව වෙනුවෙන් උපන් සිනමා කාව්‍යයක්කාරයා; බෙලා ටාර්

මනුෂ්‍යත්වයේ බලාපොරොත්තුව වෙනුවෙන් උපන් සිනමා කාව්‍යයක්කාරයා; බෙලා ටාර්

බෙලා ටාර් මියගියා කියන හද කම්පා කරනවා පුවත අසන්නට ලැබුණි. කෙදිනකවත් සැබෑ ලෝකයේ දී මුණ නොගැසුණු මේ මිනිසා ගේ මරණය සමීපතමයකු ගේ මරණයක් තරමට හදවත වේදනාවෙන් පුරවාලයි.

ඔහුගේ චිත්‍රපටියක් මා පළමු වරට නැරඹුවේ 2014 දී පමණ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අප සංවිධානය කළ මාසික සිනමා දැක්මෙහි දී ය. ඒ ඔහුගේ "The Turin Horse" චිත්‍රපටිය යි. "Blown away" යන ඉංග්‍රීසි යෙදුමෙන් කදිම ලෙස විස්තර කරන අත්දැකීම එදින මම ලැබුවෙමි. 'කරකවා අත හැරියා' යන යෙදුම මෙයට ආසන්න සිංහල පරිවර්තනයක් විය හැකි ය.

විසිවෙනි සියවසේ සමාජවාදී අත්දහදා බැලීමේ විශිෂ්ට කැඩපත

බෙලා ටාර්ගේ සිනමාව මුල සිට නරඹන්නත්, ඒ සම්බන්ධ ඇති සාහිත්‍යය කියවන්නත් මා යොමු වූයේ ඉන් පසුවයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ හංගේරියාවේ සමාජවාදී පාලනය එහි අවසන් අඩියේ තිබෙන විටයි. එනිසාම ඔහුගේ මුල් කාලීන චිත්‍රපට විසිවෙනි සියවසේ සමාජවාදී අත්දහදාබැලීමේ සැබෑ ස්වරූපය අපට පෙන්වන විශිෂ්ට කැඩපතක් විය. නමුත් ඔහු කිසිදු අයුරකින් සමාජවාදය පිළිබඳව අදහස විසින් නියෝජනය කරන ලද විමුක්තිවාදී අදහස අත්හරින්නට සූදානම් වන්නේද නැත. එනිසාම අතිශය දුෂ්කර කොන්දේසි හමුවේ අපේ බලාපොරොත්තුව විය හැක්කේ කුමක්ද කියා ඔහු නැවත නැවතත් සොයා යයි.

ඔහුගේ සිනමාවේ ආකෘතික පොහොසත් බව විසින් ඔහු හමුවේ ඇති සමාජ යථාර්ථයේ දරිද්‍රතාවට තියුණු ලෙස අභියෝග කරයි. මුළුමනින් බලාපොරොත්තු බිඳ වැටුණු පසුත් අප හෙට දිනයේ නැවත සටන් කරන්නේ කෙසේද කියා ඔහු අපට අද්විතීය ලෙස පෙන්වයි. එම අර්ථයෙන් බෙලා ටාර්ගේ සිනමාව යනු මනුෂ්‍යත්වයේ බලාපොරොත්තුව වෙනුවෙන් නිමවූ මහා කාව්‍යයක් කියා මම සිතමි.

bela tarr jpg

බෙලා ටාර්ගේ සිනමාව සාකච්ඡාවට ගත්තේ ඇයි...?

දේශපාලනයේ සියලු බලාපොරොත්තු බිඳ වැටුණු පසු නැවත සමාජයක් ලෙස අප එකතු වූ 2024 වර්ෂයේ දී 'බටහිර ඉවුරේ දර්ශනය' ලෙස අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරණයේ දී සහය දෙමින් අප සංවිධානය කළ 'රැස්වීම්' මාලාවේ දී අප බෙලා ටාර්ගේ සිනමාව සාකච්ඡාවට ගත්තේ ඒ නිසාය. අප එම සම්මන්ත්‍රණ මාලාව නම් කළේ 'සමාජවාදයට පසුව ආ කාලය' කියා ය. අපට අනුව අනුර කුමාර දිසානායකට ඡන්දය දිය යුත්තේ ඇයි ද කියා අපට තහවුරු කළේ බෙලා ටාර්ගේ සිනමාවයි.

ඔහුගේ මරණය පිළිබඳව පුවත මට මුලින්ම උදිත කතා කර කියන විට මගේ හද දෙදරා ගියේ මේ සමීපත්වය නිසාය. එය 'බටහිර ඉවුරේ' අනෙක් අයට ද එසේම වනවා කියා සිතමි. නමුත් මෙය සත්‍ය වශයෙන්ම අපගේ අත්දැකීමක් පමණක් නොව බෙලා ටාර් නම් වූ මේ දැවැන්ත මිනිසාගේ අද්විතීය සිනමා සිතීම විසින් ස්පර්ශ කරන ලද දස දහස් ගණනක් වූ ලෝකය පුරා විසිර සිටින සිනමා රසිකයන්ගේ පොදු අත්දැකීමක්ද වන බව මම හොඳින් දනිමි.

බෙලා ටාර් 00

We will miss you

වංගීස සුමනසේකර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න