ත්‍රී වීල් කාරයෝ සහ ඌබරයෝ

ත්‍රී වීල් කාරයෝ සහ ඌබරයෝ

එක අතකින් ත්‍රී වීල් කාරයන්ට හොඳ වැඩේ ය. ලංකාවේ ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා වෙනුවට නිර්මාණය වූයේ ත්‍රීවීල් කාරයෝ ය. ඩ්‍රයිවරලා නොඑසේත් නම් රියදුරාලට පරණ පරම්පරාව කීවේ රියදුරු මහත්තයා කියා ය; ඩ්‍රයිවර් මහත්තයා කියා ය . මෙහෙම වුණේ ඇයි ?

දාර්ශනික මතවාදයක ඇති හිඩස

ප්‍රාග්ධන චලනයන් සහ එහි පැතිරීම විසින් සමස්ත මිනිස් විෂය ම පාරිභෝගිකකරණය වීම හමුවේ මෙතක් කාලයක් ඉතිහාසය පුරා ගලා ආ බොහෝ දෑ ඉරිතළා දෙදරා කුඩු වී දූවිලි අංශු බවට පත්ව නොපෙනී ගියේ ය. ඒ ඒ ජනසමාජ තුළ වූ සංස්කෘතික සාධක හරපද්ධති වෙළඳපොළකරණය හමුවේ දෑස අභිමුඛව ම වෙළඳ භාණ්ඩ බවට ඌනනය විය . අපගේ ආශාව ද, ජීවිතය ද, ඒ ප්‍රාග්ධනකරණ ප්‍රවාහයේ තීර විය. ත්‍රීවීල්කාරයන් බිහිවීම එකී සමාජීය කාරණා හරහා සිදුවූවක් බව අප තේරුම් ගත යුතු ය. දොස්තර ඉන්ජිනේරු විශ්ව විද්‍යාල සිහිනයෙන් බිම වැටුණු මේ පීඩිත තරුණයා කරන්නට වෙන කිසිවක් නොමැති වූ විට ත්‍රීවීල් එකක් සමග ප්‍රවිෂ්ට වූයේ ද විපරීත ජන සමාජයකට ය. මේ ත්‍රීවීල්කාරයා පීඩිත සමාජ වටපිටාවකින් බිහිවූවෙකි. ඔවුන් රස්තියාදුකාරයින් වූයේ ද නිකම්ම ම නොවේ. මෑත ඉතිහාසය තුළ ත්‍රීවීල්කාරයින් සහ අපරාධ මත්ද්‍රව්‍ය සහ තවත් බොහෝ අනීතික පාතල ක්‍රියාකාරකම් මේ ත්‍රීවිල් කාරයින් සමග බද්ධ විය. සියල්ල කුණුවෙමින් ගලා ගියා මිස කිසිවෙක් මේවා සීරියස් ලෙස වටහා ගත්තේ නැත. මිනීමරුවා කියා කෑ ගසනවාට වඩා වැදගත් වන්නේ කෙනකු මිනීමරුවෙකු වූයේ කුමන කරුණු කාරණා නිසෑදැයි අවංකව තේරුම් ගැනීමයි . ඇත්ත  උත්තරය සොයා ගත හැක්කේ එතනිනි. ත්‍රීවීල් කාරයෙකුයකුට ත්‍රීවිල් රියදුරෙකු වීමට දර්ශනයක් අවශ්‍ය ය.එය ඔවුන්ගේ ඔළුව ඇතුළට කාන්දු කිරීම දේශපාලන ක්‍රියාවකි. මිනිස් විෂය ලිහා බලන දේශපාලන දාර්ශනික මතවාදයක ඇති හිඩස මේ සියල්ලටම මුල ය.

fuel queue

 

ත්‍රී වීල්කාරයෝ ඌබරුන්ට පරාද වෙන හේතුව

බුදුන් දෙසූ නියත කරුණක් විය. ඒ වෙනස් වීමයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක පටන් අදටත්, හෙටටත් මේ විශ්වය පවතින තාක් අඛණ්ඩව සිදු වෙන එකම දෙය නම් වෙනස් වීමයි . ශිෂ්චාරයෙන් ශිෂ්චාරයට පරම්පරාවෙන් පරම්පරාවට සිදුවෙන මේ වෙනස් වීම ඒ ඒ කාළ වකවාණුවල විවිධ කාරණා නිසා වේගවත් විය. ගින්දර, රෝදය, ඔරලෝසුව, විදුලිය ආදී ලෙස එක එක වකවානු තුළ දී ඇතිවූ නව සොයා ගැනීම් මේ සමාජ මානව චලන වේගවත් වෙමින් වෙනස් වෙමින් ගලාගෙන යන්නට විය.

නූතන සන්නිවේදන තාක්ෂණික මෙවලම් මේ සිදුවෙමින් පැවැති වෙනස් වීම ඉතා වේගයෙන් වෙනස් විය . වෙනස් වීමකට අදාළ කාලයක් සඳහා එහි ඉඩක් නොතිබිණ. තාක්ෂණික සන්නිවේදන වර්ධන සමගම මේ සමාජය වෙනස් වූ වේගය හැට හැත්තෑව අසූව දශකවල ඉපිද දැනට ද ජීවත් වෙන පරම්පරා ඊට සාක්ෂි දරණු ඇත. මේ තාක්ෂණික විපර්‍යාසවලට යටත් වන්නට අප කාටත් සිදුවේ. එය ත්‍රී වීල්කාරයාට ද පොදු ය . කවුරු මොන මොකා මොනවා කීවත් ත්‍රීවීල්කාරයන්ට දිනෙක ඇප් හරහා තම පාරිභෝගිකයා පාමුලට යන්නට සිදුවෙනු ඇත. දිනෙන් දින ඔබ සොයා එන පාරිභෝගිකයින් අඩුවෙනු ඇත. ඔබ ඔවුන් පාමුලට ම යවන්නට නූතන තාක්ෂණය බල කරණු ඇත . ඇත්තටම ත්‍රී වීල්කාරයෝ ඌබරුන්ට පරාද වෙනු ඇත .

 

uber1

 

අපට ජාතික අදහසක්  දර්ශනයක් නැත

ඌබරයෝ රංචු පිටින් ඇල්ලට ගොස් ගේම ඉල්ලන විට ත්‍රීවීල් කාරයෝ ඊට පසු දින කොළඹට ඇවිත් ගේම ඉල්ලති. ඌබරයෝ ත්‍රීවීල්කාරයින්ට මානව අයිතිවාසිම් පුරවැසි අයිතිවාසිකම් කියා දෙද්දී ත්‍රී වීල්කාරයෝ: ඌබරයෝ පාරේ මග පහ කර, පාරේ ම බත්  කා, පාරේ ම නිදා ගෙන, පාරේ ම ජීවත් වෙන, හයර් මංකොල්ලකන හිඟන්නෝ යැයි කියති . මෙවැනි සිදුවීම් තවත් එක සිදුවීමක් ලෙස සලකා සිද්ධියට පිළියම් කිරීම  අදාළ වන්නේ පරන දේශපාලනයට යි. වැරැදි අර්ථකථන දුන් පොළිස් නිලධාරින් මාරු කිරීම ද පරණ දේශපාලනට අදාළ ක්‍රියාවකි.

IMG 20251222 WA0059

මේ සිදුවීම් තුළ ඇති සංකීර්ණතාවය වටහා නොගෙන කෙරෙනා දේශපාලනය ඇත්තටම පරණ පාරේම ගමන් කිරීමකි . වර්තමානයේ   දිනපතා වෙන සිදුවීම්වලින් අපට පැහැදිලි වන එක දෙයක් ඇත. එනම් අප සමාජය තුළ බේසික් නැති බවයි. මේ බොහෝ ගැටලුවල පරස්පරතා ඇතිවන්නේ ඇත්තටම අපට ජාතික අදහසක්  දර්ශනයක් නැති නිසා ය.

 

සරත් ප්‍රේමතිලක - Ego- ස්වර්ග රාජ්ජේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න