අනුර කුමාර කළ යුත්තේ කුමක්ද? | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුර කුමාර කළ යුත්තේ කුමක්ද? | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අයහපත් කාල ගුණ තත්වය වෙනස්වීම නිසා රටේ ජනතාව යම් තරමක පහසුවෙන් හුස්ම ගනිමින් සිටියද, එය දැනුණ පීඩනය අඩු වීමෙන් දැනුණ සතුටට වැඩි යමක් නොවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පුරවැසි ධෛර්යයත් රැගෙන නැවත රට ගොඩ නැගීමට අධිෂ්ඨාන කරගෙන සිටීම යනු මාලිමාවේ පා පිසි හෝ පැලවත්ත බුද්ධි මණ්ඩලයට පිටස්තර තවත් ලෝකයක් ඇති බව මේ ස්වභාවික ව්‍යසනය හරහා අවබෝධ කර ගත්තා නම් රටේ ජයග්‍රහණයකි.

වාචාලකමට රටක් රැවටිය හැකි වුවද, වාචාල කමෙන් රටක් තබා  බලු පැටියෙකු හෝ ආරක්ෂා කළ නො හැකිය යන්න අනුර කුමාර දිසානායකලා තවමත්  තේරුම් ගෙන නැතිද, අදටත් මාලිමාවට අනුර කුමාරට ඛෙහෙවින් ආදරය කරන උවිඳු කුරුකුලසූරිය එය තේරුම් ගැනීම රටේ වාසනාවකි.

නොවැම්බර් 12 වෙනිදා නිකුත් කළ අවදානම් නිවේදනය ගැන ආණ්ඩුව කළේ කුමක්දැයි ඇසිමට කබිර් හසීම්ට ඉඩ නො දුන් ආණ්ඩුව බිඳ වැටුණ රට ගොඩ නැගීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කළ යුතු හෝම් වර්ක් වලින් එකක් මා මිත්‍ර උවිඳු අනුර කුමාරට මතක් කර දී ඇති අතර එය මෙසේය.

 

''මොන දේශපාලන විරුද්ධවාදීකම් තිබ්බත් ඇයි මේ  ව්‍යසනය වෙලාවෙවත් අනුර චම්පිකව ළගට ගන්නෙ නැත්තෙ. මට තේරෙන්නෙ නැහැ ඇයි ඒ කියල. මම මේ ව්‍යසනය එන්න කලිනුත් කියපු එකක් චම්පිකව ළගට අරන් වැඩක් බාර දෙන්න කියන එකග කිසිම මොළයක් නැතිල අනුරට අබමල් රේනුවකින් උදව් නොකරපු උන්ව වටේට දාගෙන ඉන්නේ. ඉතිං ඇයි චම්පිකට මේ වෙලාවෙවත් වගකීමක් දෙන්නෙ නැත්තෙ. චම්පිකත් ගිය තැන ගම කනව තමයි. ඒත් අනුර වැඩක් බාර දුන්නොත් ඒක හරියට කරයි. දැන් ජාතිවාදී දේශපාලනයටවත් පරන ගේම් වලටවත් ඉඩ නැහැනෙ. ඉතිං මොකටද චම්පිකට බය වෙන්නෙ.''

 (උපුටා ගැනීම අවසන්ය.)

කුමණ පරස්පරතා තිබුණද, මහා ව්‍යසනයකට යටවුණ ජනතාව ඉන් මුදා ගෙන දේශය යළි ගොඩ ගැනීමට දේශපාලන ප්‍රතිවාදින් කොන්දේසි විරහිතව සහාය දිය යුතු වන අතර, මේ තීරණාත්මක මොහොතේදී අනුර තනි කරනවා කියන්නේ රටත් රටේ ජනතාවත් තනි කිරීමකි. එහෙත් 2024 සැප්තැම්බරයේ බලයට පත් වන තෙක් 54 වසරක් පුරාම රට මුහුණ දුන් හැම ව්‍යසන තත්වයකදීම රටටත් රටේ ජනතාවටත්ද්‍ රෝහිකම් කළ ජවිපෙය කොවිඩ් කාලයේ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම තහනම් කර තිබියදී මහින්ද ජයසිංහලා ජෝෂප් ස්ටාර්ලින්ලා ගුරු සංහතිය පාරට බස්සවා කළ හරිය ආසන්න උදාහරණයකි.



මාලිමාව බලයට පත්වූ පසුව සියල්ල කනපිට හැරිණ. ඔවුන් කල්පනා කළේ තම බල පරාක්‍රමය හමුවේ රටේ ස්වභාව ධර්මය පවා බියෙන් හැකිළේවි යන විශ්වාසයෙන් ආපදා කළමණාකරන රාජ්‍ය යාන්ත්‍රණය පවා අහෝසි කර දැමීය. රාජ්‍ය පාලනය කියන්නේ දේශපාලන හතුරන් හිරේ දැමීම සහ ආයතන වසා දමා වියදම් අඩු කර පෙන්වීම නොවන අතර, රාජ්‍ය නිලධාරින් හිරේ විලංගුවේ දැමීමෙන් ලැබුණ ප්‍රතිපලය රාජ්‍ය සේවය අක්‍රිය වීම පමණකි. රාජ්‍ය ආරක්ෂාව යනු යුද්ධයෙන් ආයුධ මාෆියාවෙන් බේරීම පමණක් ය යන ඔවුන් තුළ පැවති අවබෝධය පටු කල්පනාවකි. රටක රාජ්‍ය ආරක්ෂාව තහවුරු තිබේ නම් උදෑසන ගෙදරට පත්තර කාරයාත් කිරි කාරයාත් තැපැල් කරුත් නිර්බාධිතව පැමිණෙන වට පිටාවක් පැවතිය යුතුවේය යන නිදර්ශණයෙන් ජාතික ආරක්ෂාවේ සංකීර්ණ භාවය තේරුම් ගත හැකිය.

ජවිපේ කාරයන් 1971 සිට විප්ලවයේ නාමයෙන් පොදු බස් සේවාවට ජල සැපයුමට විදුලිය සැපයුමට වින කැටීමෙන් ජාතික ආරක්ෂාව අඩපන කළ  බව කීම යථාර්ථය මිස මඩ ගැසීමක් නොවේ. ඔවුන් 88-89 කාලයේ ආරක්ෂක අංශවල රස්සා කිරීම ද්‍රෝහිකමක් හැටියට ප්‍රකාශ කොට දහස් ගණනක් මරා දැමූ බව රහසක් නොවේ.
පසුගිය ලිපියෙන් මා විස්තර කළ ආකාරයට චේන් ෂෝස් යොදා මාර්ගය හරහා වැටුණ ගස් කොලන් ඉවත් කිරීමෙන් කළේ අප දන්නා ආකාරයට රාජ්‍ය ආරක්ෂාවේ පැවැත්මට අවශ්‍ය  මහා මාර්ග පද්ධතිය නිර්බාධිත කර දීමට සහාය වීම පමණකි. එදා තරුණ අප එසේ කල්පනා කළේ  ජිවත්වන රට අපේය යන විශ්වාසයෙනි.



එහෙත් රටේ ආරක්ෂාවට පිහිටුවා තිබූ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අහෝසි කළ පසුව රටේ ආරක්ෂාවට යමක් කිරීමත් අතට මාංචු වැටෙන ලෙඩක් බව කල්පනා කළ රාජ්‍ය නිලධාරින් පවා අකර්මන්‍ය විය.  පසුගිය දින කිහිපය රට මුළුමනින්ම අනාරක්ෂිත වූ අතර, ආරක්ෂාව යනු කඩුපොලූ කිනිසි ගල් කටස් පමණක් නොවන බව අනුර කුමාරලා තේරුම් ගන්නා විට මිනිස් ජීවිත පන් සියකට ආසන්න ගණනක් බිලි වී හමාරය. මේ ඉලක්කම් සේදී ගිය පස් කඳු හාරන විට දිනපතා ඉහළ යනු ඇත.  රට ගොඩ නැගීමට පුරවැසි ධෛර්ය අවශ්‍ය බවට අනුර කුමාර කළ කතාවට සවන් දීමට රටේ  බහුතරයකට විදුලිය පහසුකම් හෝ නො වීය.

කොඩිඩ් වසංගතය සමග ඇතිවූ  ආර්ථීකය අවපාතය නිසා රට කඩා වැටෙනු දුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂයේ සහාය අපේක්ෂාවෙන් 2022 මාර්තුවේ කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට විපක්ෂයේ අනුර කුමාර දිසානායකලා නො පැමිණියේ දේශපාලන කුහකකම නිසාය. ඒ  කැඳවීමට රනිල් වික්‍රමසිංහ සහ උතුරේ මන්ත්‍රීන්  සහභාගි වුණේ රටේ ජනතාව පැත්තෙන් හිතලා මිස ගෝඨාභය පළවා හැර රටේ බලය ඇල්ලීමේ යටි අරමුණකින්  නොවේ. එදා ආණ්ඩුව කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට නො පැමිණි විපක්ෂ සජිත් ප්‍රේමදාස, විපක්ෂය සංවිධානය කළ නොවැම්බර් 21 රැළියට නොපැමිණියේත් ප්‍රේමදාසලා තුළ පවත්නා උපන් ගෙහි දෝෂ නිසාය.


276167535 519872936365913 4387216046942434111 nගෝඨාභය රාජපක්ෂ 2022 මාර්තුවේ කැඳවූ සර්ව පාක්ෂික සමුළුව
එදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු නියෝජනය රනිල් වික්‍රමසිංහ පමණක් වූ අතර, ඔහුට තිබුණේ තමන්ගේ ඡන්දය පමණකි. සජිත් සිටියේ මන්ත්‍රීන් පනස් ගණනක් සමගය. අනුරට මන්ත්‍රීන් තිදෙනෙකු විය.

2022 අර්බුද අවස්ථාවේ මෙන් අදත් සජිත් ජනතාවගේ පැත්තේ නැත. සජබ නොවැම්බර් 21 නුගේගොඩට නො ගියේ අනුර කුමාරගේ ආරක්ෂාව වෙනුවෙනි.  2022 මාර්තුවේ ගෝඨා කැඳවූ  සර්ව පාක්ෂික රැස්වීම ආරම්භ වී ගතවූ විනාඩි පහ ඇතුළත ජනාධිපති ගෝඨාභය,  රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තේ බයට නොවේ. රට ගොඩ ගැනීමට අවශ්‍ය විපක්ෂය සහාය ලබා ගැනීමට තමා පා පිස්සක් වීමට වුවද සූදානම්ව සිටි නිසාය. අද ජනාධිපති අනුර කුමාර දිසානායක ද, එදා ගෝඨාභය මෙන් උද්ධච්ඡකම මාන්නය අතහැර රට වෙනුවෙන් පා පිස්සක් හෝ විය යුතුව තිබේ. මල්වතු ඔය මුහුදට වැටෙන ප්‍රදේශය හෝ නො දන්නා හඳුන්නෙත්තිලා වෙනුවට පාඨලී චම්පික කැඳවිය හැකි නම් එය වැදගත් වේ.



අනුර ජාතිය අමතා කතා කරමින් ඉල්ලා සිටි රටට අවශ්‍ය සහාය ලබා ගැනීමේදී පළමුව තමා නිවැරදි බව රටට තහවුරු කළ යුතුවේ. අනුර කවදත් සිටියේ සිය දකුණතේ අබරැගිල්ල ඍජුව කෙළින් කළ හැකි තරම් තැනක නොවේ. නැවත කෙළින් වුණ අබරැගිල්ල ඔසවා තර්ජනාත්මක ස්වරූපයෙන් ''කෙඳිරි ගාන්න නම්  එපා'' යනුවෙන් විපක්ෂයට තර්ජනය කරන්නට හයියක් තමාට තවදුරටත් නැති බව අනුර කුමාර දිසානායක නිහතමානීව තේරුම් ගත යුතුවේ. ''හා කරලා බලමු'' යනුවෙන් වහසි බස් දෙඩීමද නතර කළ යුතුවේ. ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් සහිත රටක මොකා බලයට පත් වුණත් ලෝකයම ගරු කරන බොහෝ සීමාවන්ට යටත් විය යුතුවේ.

 

 



තුවක්කුව විශ්වාස කළ අනුර කුමාරලා ප්‍රජාතාන්ත්‍රික සීමා තබා මොන ලබ්බක් වත් නො දන්නා බව ගෙවී ගිය එක් වසර තුළ ප්‍රමාණයටත් වඩා තහවුරු කර හමාරය.  එසේ නො විනි නම් ජනාධිපති ලේකම් ධුරයට කස්ටම් කාර කැම්පස් බැචෙකු තෝරා ගන්නේ නැත. ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන 1977දී පත් කර ගත් පී.බී. මැණික්දිවෙල 1950 රාජ්‍ය සේවයට එක්වූ 27ක් වසරක පළපුරුදු නිලධාරියෙකි. ප්‍රේමදාස විසින් කැඳවනු ලැබූ කේ.එච්.ජේ. විජේදාස 1960 88 සිවිල් සේවයට බඳවා ගත් වසර 28ක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔස්ටින් ප්‍රනාන්දු වසර 50ක් අත්දැකීම් ලැබූ විශ්‍රාමිකයෙකි. රනිල් 2022දී කැඳවූ සමන් ඒකනායක 37 අවුරුද්දක රාජ්‍ය සේවා අත්දැකීම් ලැබූවෙකි. ඒ කිසිවෙකුට කුමානායකට මෙන් මාලිමාව ඉහළින් අගයන ආචාර්ය උපාධි නම් නො වීය. මේ කියන්නේ රාජ්‍ය සේවය යනු ට්‍රාන්ස්පොමර් බස් ගිනි තැබීම මනුෂ්‍ය ඝාතන මෙන් හිත මිත්‍රයන් සමග කළමනාකරණය කළ හැකි තැනක් නොවන බවය.


HE SECනන්දික සනත් කුමානායක
මේ දිනවල එක දිගට සමාජ මාධ්‍ය දැනුවත් කරන සුනිල් කන්නන්ගර වැනි විශ්‍රාමික රාජ්‍ය නිලධාරින්ගේ  අත්දැකීම් මේ මොහොතේ අවශ්‍යව තිබේ. විශ්‍රාමික පරිපාලන නිලධාරි චන්ද්‍රසිරි බණ්ඩාර උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් හැටියට පත්ව මුලින්ම කළේ ආණ්ඩුකාර මහීපාල හේරත් එතෙක් භාවිතා කළ අසීමිත ඉන්ධන ප්‍රමාණය චක්‍ර ලේඛ අනුව සීමා කිරීම බව ප්‍රකට කතාවකි. ජනාධිපති වරයා හොඳින් දන්නා ධර්මසේන දිසානායක, ජයන්තා බුතමුල්ල වැනි ජ්‍යෙෂ්ඨයන්  තවමත් පලදායි මානව සම්පත් බව කිව යුතුය.

මේ සියලු පැහැදිලි කිරිම් අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකට මතක් කළ යුතුව ඇත්තේ තවමත් ප්‍රමාද නැති අතර, පැලවත්ත හමුවේ මාක්ස් වාදින්ට ආවේනික ස්වයං විවේචනයක් කර රට වෙනුවෙන් පෙනී සිටීමට කාලය පැමිණ ඇති බවය.

අනුර කුමාර දිසානායක ජාතිය ඇමතුවාටත් පසුව  ඇමති ලාල් කාන්ත කියනවා ''ආණ්ඩු බලය තියන අපියි මේක මෙහෙයවන්නේ නිලධාරින් ඒ ගැන අපෙන් අහන්න ඕනැ'' කියලා. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියන්නේ  ''ජලාශ හිස් කරන බව ගොතටුවේ ගංවතුර ගේට්ටු අරින බව ආණ්ඩුව නො දන්නා බව එවැන්නක් සිදු නොවුණා නම් ඒකට වාරිමාර්ග නිලධාරින් වග කියන්න ඕනැ'' කියලා. මේ ප්‍රකාශ ඇතුළත් හඬපට නිරික්ෂණය කරන්නෙකුට මාලිමා පාලනයේ අග මුල පැටළි ඇති ප්‍රමාණය තේරුම් ගත හැකිය.



නිදහස් ලංකාව යනු සාප ලත් දේශයක් හැටියට එක් දවසකට තුන් වරක්  ආඩම්බරයෙන් කී ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතින් හමුවට ගොස් ආඩම්බරෙන් කීවේ ලංකාවේ ඇති එකම ප්‍රශ්නය හොරකම සහ දූෂණය බවය.  එහෙත් රටම මළගමක් කළ මේ ස්වභාවික ව්‍යසනයට මුහුණ දුන් ආකාරය අනුව රටේ එකම ප්‍රශ්නය  අග මුල පැටළි ඇති මාලිමා පාලනය බව තේරුම් ගත යුතුවේ. පිරුණ ජලාශවල ඇති ජලය ආරක්ෂක හේතු මත වරින් වර මුදා හැරීමේ ක්‍රියාව නතර කළේ කවදා සිටද යන්න වර්තමාන පාලකයන් රටට හෙළි කළ යුතුවේ. ඒ පිළිබඳව මහනුවර වැසියෙකු තැබූ සටහනකින් කොටසක් මෙසේය.

 

''ගැටඹ පන්සලේ බෝධිය 1947 දී තමයි  මීට කලින් ගංවතුරට යටවෙලා තියෙන්නේ ගැටඹේ පන්සලේ බෝධිය තියෙන්නේ මහවැලි ගඟට වඩා අඩි 80ක් විතර උඩින්. බෝධියත් යට වෙලා. බෝධියෙන් උඩ කොළඹ - නුවර පාරත් යටවුනා.පාරෙන් එහා පැත්තේ පන්සලේ බිම් මහලේ භාගයකුත් යටවුනා.ඒ තරම් ලොකු වතුර පාරක් මම දැකලත් නෑ කලින් අහලත් නෑ.ඒ තරමට වතුර නගින්න හේතුවල වෙනදා කරන්නේ ඉහල කොත්මලේ සහ පහල කොත්මලේ ජලාශ හිස්කරනවා කල් ඇතිව.

image 9781af668f

12 වෙනිදා කාලගුණ එකෙන් අවධානම ගැන කිව්වම කදුකරයට මිලිමිටර් 200ට වැඩිය වහිනවා කිව්වම කරන්නේ රජය මැදිහත්වෙලා ඒ කියන්නේ වාරිමාර්ග එක මැදිහත්වෙලා මහ ජලාශ ඔක්කොම 20%ට,30%  ට බස්සනවා. එතකොට අලුතෙන් වහින වතුරෙන් ජලාශය පිරෙන්න සෑහෙන වෙලාවක් යනවා.මේ පාර එහෙම වතුර බින්දුවක්වත් අඩු කරලා නෑ.

මුන් කළේ එකපාරට මේ මහා ජල කදක් වැස්සෙන් එකතු වෙනකොට අර ජලාශවල කට ඇරියා.ඒ කියන්නේ යට තියෙනවනේ මඩ සොරොව්ල මඩ සොරොව් තියෙන්නේ ජලාශය පතුලේමයි.ජලාශය කඩාගෙන යයි කියලා මුන් මඩ සොරොව් ලයින් එකෙන්ම ඇරලා තියනවා.එතකොට ඒ එන වතුර කන්දරාවයි වැස්සෙන් එන වතුර කන්දරාවයි ඩබල් වෙලා ගඟට එනවා.ඊට පස්සේ ඉතින් ගඟට ඔරොත්තු දෙන්නේ නෑ.

දැන් මිනිස්සු මේක දන්නවා.මිනිස්සුන්ට යකා නැගලා ඉන්නේ.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇග්රි ෆැකිලිටිය කවදාවත් යටවුනේ නෑ.ඇග්රි ෆැකිලිටියේ බිම්මහල් ඔක්කොම යට වුනා. ඊළඟට පේරාදෙණියේ වල:නේපත්‍යාගාරයත් යටවුනා.ඒ කියන්නේ ගලහා පාරෙන් යට කැම්පස් එකට තියන මුළු ඒරියා එකම යට වුනා.අයිවර්ජෙනින්ස්ලා පේරාදෙණිය කැම්පස් එක හදන්නෙම පනස් ගණන්වල කදුකරයේ සුදුසුම භූමිය විදිහට ඔතන තෝරාගෙන.


IMG 1686 1024x565පේරාදෙණිය විශ්ව විද්‍යාලය
අන්තිමේදී මහවැලි ගඟේ ජලය ගඟට ඔරොත්තු දෙන්නේ නැතිව එහේට එනකං ගියා.ඒ කියන්නේ අරහෙන් ජලාශ ඇරියට පස්සේ තමයි කෙලිය ආවේ.නැත්තං වෙනදා වගේ ජලය අඩු කලා නං ඒ ටික කල් ඇතිව වැස්ස එන්න ඉස්සෙල්ලා ගඟ දිගේ ගලලා ඉවර වෙනවා.එතකොට ඊළඟට එන ටික ගඟට ඔරොත්තු දෙනවා.පැනිදෙනිය පැත්තෙන් එන රේල් පාලම තියෙන්නේ මහවැලි ගඟට වඩා අඩි 60ක් විතර උඩින්.

ඉතින් පාලම ඇද වුණානේ.පාලම දැන් සම්පුර්ණයෙන් ඇදවෙලා තියෙන්නේ.රේල් පීලී ඇදවෙලා.එතකොට වතුර පාරේ සැර කොහොමද කියලා හිතන්නකෝ.ඒ කියන්නේ ගඟේ ධාරිතාව වගේ තුන් ගුණයක වතුර කදක් ගලා ඇවිත්. එතකොට ගඟ පිටාර ගලලා දෙගොඩම යට වුණා. ඒක තමයි ඔය වුනේ රෑ. මේ සම්මත ජල කළමනාකරණය  පිළිබද අවුලක්.

මුන්ට බැරිකමේම අවුල ගමම දැක්කා facebook  එකේ දාලා තියනවා 12 වෙනිදා මේක ප්‍රකාශ කරපු දවසේ ඉඳන් ජනාධිපතිගේ කාලසටහන. 27 තමයි එයා වහිනවා කියලා දන්නේ ඇත්තටම ජලාශවල වැඩි ජලය අඩු කරා නමි ඔය පේරාදෙණිය ,ගම්පොල වගේ පැතිවල සිද්ධවුන මහා විනාශයෙන් සෑහෙන ප්‍රමාණයක් වළක්වා ගන්න තිබුණා.ගඟෙන් වෙච්චි හානි එහෙනං සෑහෙන දුරට බේරගන්න තිබුණා.

 

(උපුටා ගැනිම අවසන්. රටේ රාළට ස්තුතියි.)

කෙසේ වෙතත් මේ වනවිට රට ගොඩ නැගීමට නුගේගොඩට රැස්වූ හොරුන් දූෂිතයන්ගේ නියෝජනය කරන විපක්ෂයේ සහාය ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ. මාලිමාවට වඩා වේගයෙන් විපක්ෂ දේශපාලන පක්ෂ විපතට පත් ප්‍රදේශවල සහන සේවා ආරම්භ කර හමාරය. මේ සියල්ල සමාලෝචනය කළ කල්හී, ජනාධිපති අනුර කුමාර දිසානායක අද සිටින්නේ තමා මාසයකට පෙර සිටි හිර ගෙදර වාට්ටුවේ බවට කැළුම් ජයසුමන තැබූ සටහන මෙහිදී සිහිපත් වේ.  


592125346 1404042737758126 3601938012387443820 n
මෙතෙක් කළ සියලු  විවේචන අවසානයේ විශේෂයෙන් කිව යුත්තේ මේ උදාවි ඇත්තේ ආණ්ඩු පෙරළන අවස්ථාවක් නොවේ. බිඳ වැටුණ අකර්මන්‍යව පවත්නා  රට ගොඩ ගැනීමට ජාත්‍යන්තරය් මෙන්ම දේශිය සහාය ලබා ගැනීමට දේශපාලන ස්ථාවරත්වය අවශ්‍ය වේ. එ නිසා ජනාධිපති අගමැතිකම් ඛෙදා ගැනීමේ ව්‍යාපෘති කි්‍රයාත්මක කරන්නන් දෙස පක්ෂ භේදයකින් තොරව රටේ මධ්‍යස්ථ ජනතාව විමසිල්ලෙන් බලා සිටිය යුතුවේ.  රටම අපෙක්ෂා කරන එජාප සජබ එකමුතුව කල් මැරෙමින් පවතින්නේ ද සජිත් ජනාධිපතිකම ඉල්ලා සිටීම නිසා වන හෙයින් ජ්‍යොතිෂයේ කියැවෙන කෙහෙතාට කිසි සේත් බලවත් වීමට ඉඩ නො දිය යුතුව තිබේ.

 

Chandrasiri Senevirathne
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න