Image

වර්ධනය වන පරිගණක අපරාධ පාලනය කිරීමට රජය දැඩි පියවර ගත යුතුයි

වර්ධනය වන පරිගණක අපරාධ පාලනය කිරීමට රජය දැඩි පියවර ගත යුතුයි

පසුගිය මාසය කිහිපයක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ පරිගණක හා සන්නිවේදන ක්ෂේත්‍ර, ගෙවීම් පද්ධති සම්බන්ධ අපරාධ සීඝ්‍ර ලෙස වර්ධනය වීමක් නිරීක්ෂණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මහා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 2.5ක් අහිමිවීම, රජයේ තැපැල් දෙපාර්තමේන්තුවට ඩොලර් මිලියන 6 අහිමිවීම, රජයේ බැංකුවකට සහ සේවක අර්ථසාධක අරමුදලට කොටස් හිමි වාණිජ බැංකුවක රුපියල් බිලියන 13 ක් අහිමිවීම, තවත් වාණිජ බැංකුවක වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් යොදාගෙන ගනුදෙනුකරුවන්ට වංචා සිදු කිරීම,පසුගිය කාලසීමාව තුළ වඩාත් අවධානය යොමු වූ සිදුවීම් විය.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් ද...?

එසේම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ සංචාරක වීසා මත පැමිණ නීති විරෝධී පරිගණක වංචා සිදුකරන මධ්‍යස්ථාන (scam centre) පවත්වාගෙන ගිය විදේශ ජාතිකයින් දෙසීයකට අසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. විශේෂයෙන් ම චීන තානාපති කාර්යාලය ද මේ සම්බන්ධයෙන් රජය වඩාත් අවධානයට කටයුතු කළ යුතු බවට නිවේදනයක් නිකුත් කර ඇත. මේ සියලු කරුණුවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බවයි. ගුවන් තොටුපළේදී නීති විරෝධීව රට තුළට රැගෙන එන සංනිවේදන උපකරණ විශාල ප්‍රමාණයක්ද මෑත දී අත්අඩංගුවට පත්වීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.

පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන සිදුකිරීමට විශේෂඥ දැනුමක් ඇති පිරිස් අවශ්‍ය යි

ඩිජිටල්කරණය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන මේ රජය එම පද්ධතිවල ආරක්ෂාව පිළිබඳ වහාම ක්‍රියාත්මක විය යුතුය. 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත , 2006 අංක 19 සහ 2017 අංක 25 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු(සංශෝධන)පණත, 2005 අංක 28 දරණ ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත, 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යන අණ පනත් පරිදි ක්‍රියාත්මක කිරීමටත් එම පනත් යටතේ ඇති දඬුවම් ප්‍රමාණවත් නොවන්නේ නම් එම දඬුවම් වැඩි කිරීමට කටයුතු කිරීමත් කාලෝචිත ය.

එසේම විදේශිකයින් පැමිණ නීති විරෝධී පරිගණක වංචනික ක්‍රියා සිදුකිරීම අවම කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් පිහිටවීම සහ වීසා ප්‍රතිපත්ති පිළිබඳ නැවත සලකා බැලීම වහාම සිදු කළ යුතුය. එමෙන්ම පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන සිදුකිරීමට විශේෂඥ දැනුමක් ඇති පිරිස් පොලිස් සේවාවට බඳවා ගැනීමට කටයුතු කළ යුතුය. පසුගිය කාලසීමාව තුළ පොලිසිය සිදු කරන ලද බොහෝ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන සාර්ථකව නිම කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ව්‍යවස්ථාදායකයේ ද වගකීමකි.

නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

කැඳවුම්කරු, ජනතා අයිතින් සඳහා ජාතික මධ්‍යස්ථානය1000410366

1000410372

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න