වර්ණ සිතුවම් නිසා ප්‍රතික්ෂේප වූ 'The Tale of Peter Rabbit'
ද ටේල් ඔෆ් පීටර් රැබිට් (The Tale of Peter Rabbit) කියන්නේ බියට්‍රික්ස් පොටර් (Beatrix Potter) නම් වූ කතුවරිය විසින් රචිත ඉතාම ලස්සන කෘතියක්. ඒ විතරක් නෙවේ අමතක කළ නොහැකි අපූරු සිතුවම්වලින් මේ පොත වර්ණගැන්විලා තියෙනවා. පසුව මෙය සිනමාපට මාලාවක් ලෙසත් තිරයට එනවා.

මේ ආදරණීය ළමා පොත අදටත් ලොව පුරා අතිශය ජනප්‍රිය යි. නමුත් ඇරඹුමේ දී එය ප්‍රකාශනය කරවා ගැනීම පහසු එකක් වුණේ නෑ.
අරගල කරලා ප්‍රකාශයට පත්වූ හෝ අහඹු වාසනාවකින් ප්‍රකාශයට පත්වූ පොත් ගැන කතා කීපයක් කලින් කිව්වනේ, මේ එහෙම අරගලකරලත් ප්‍රකාශයට පත්කර ගැනීමට නොහැකි වූ කතාවක්. ඊට පස්සේ ඇය කුමක් කරන්න ඇති ද? ඒකත් දැනගන්න වටිනවනේ...
බිහිවීම
පොටර් මෙම කතාව ලියන්නේ ඇගේ හිටපු ගෘහ පාලිකා වූ ඇනී මුවර්ගේ පස් හැවිරිදි පුත් නොයෙල් මුවර් (Noel Moore) රතු උණ (scarlet fever) රෝගයෙන් පීඩා විදිමින් උන්න කාලේ ඔහු සතුටු කිරීම සඳහා යි. ඇය එම කතාව ලියන්නෙ එම කුඩා දරුවා වෙත යවන පින්තූර සහිත ලිපි මාලාවක් ලෙස යි. ඇය ඒ පින්තූර අපූරු ලෙස දියසායමින් වර්ණ ගැන්වූවා.
මෙම කතාවට කතුවරිය පදනම සොයාගන්නේ ඇය සතුව සිටි "පීටර් පයිපර්" (Peter Piper) නම් සැබෑ සුරතල් හාවාගෙන්. මේ ලිපි ලස්සන නිසාම නොයෙල් ඇතුළු මුවර් පවුලේ දරුවන් එම ලිපි ආරක්ෂා කරගෙන තියාගත්තා.1900 දී, ඇනී මුවර් බියට්‍රික්ස් පොටර්ට යෝජනා කරන්නේ ඇගේ පින්තූර ලිපි යොදාගෙන ළමා පොතක් ලිවීම ගැන සලකා බලන ලෙසයි.
ප්‍රතික්ශේප වීම
වසර ගණනාවකට පසු, පෝටර් එම ලිපි පොතක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරනවා. නමුත් ප්‍රකාශකයින් කිහිප දෙනෙක් ම එය ප්‍රතික්ෂේප කරන්නේ, එය ඔවුන්ට වෙන්කළ හැකි පිරිවැයට නොගැළපෙන බව පවසමින්. අවසානයේ දී, බියට්‍රික්ස් පෝටර් අධෛර්යමත් නොවී, 1901 දී තමන්ගේ ම මුදලින් පිටපත් 250ක් පමණක් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කළා.
නමුත් ඇයට හැකියාව තිබුණේ නෑ ඊට වර්ණ පිටු එක්කිරීමට තරම් විදයමක් දරන්න. එය ස්වයං-ප්‍රකාශිත පොතක් වුණත්, එහි ගුණාත්මකභාවය හා අපූර්වත්වය එක්ක ඉක්මනින් එය පාඨක ආකර්ෂණය දිනාගන්නවා. ස්වයං ප්‍රකාශිත කෘතියක් ලබන මේ ජනප්‍රියත්වය දුටු ෆ්‍රෙඩ්රික් වෝන් සහ සමාගම (Frederick Warne & Co.) ඇය සමග සම්බන්ධ වෙලා එය වාණිජමය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැමැත්ත පළකරනවා.
ඔව්...! ඒ, වර්ණ සිතුවම් එක්කම...ඔන්න ඊට පස්සේ තමා මේ පොත මහා පරිමාණයෙන් මුද්‍රණය වී බොහෝ පාඨකයින් ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට සමත් වෙන්නේ. අවසානයේ එය දේශීයව පමණක් නොව, විදේශීයව ද එදා සිට අද වෙන තෙක්ම බොහෝ පාඨක ආදරය ලැබූ කෘතියක් බවට පත්වුණා.
(Swarnarekha Sewwandi)