මං ජාතික රූපවාහිනියේ මාධ්‍යරූප සහ සජීවිකරණ ඒකකයේ සේවයට එක් වුණේ 1982 දි. හෙවත් රූපවාහිනිය පටන්ගත් වසරෙ දි.
ගිවන්ත අර්ථසාද් බොස්, බන්දුල පීරිස්, තිරාජ් ලෙස්ටර්, දේවරාජ, ගුණදාස පතිරණ, මහේන්ද්‍ර ස්තෙම්බු, නීල් රංජන්, සමන් ලියනගේ සහ එච්. චර්චිල් මං එනකොටත් එතන හිටියා. ඊට පස්සෙ නිකං අතරමැදක රූපවාහිනියට එක්කහු වුණු කෙනෙක් තමයි මං. සිසිර විජේසිංහ, ගෝර්ඩන් සිල්වා, අයෝම ජයසිංහ, නන්දන පීරිස්, ජගත් කුමාර, ආනන්ද දිසානායක, සුදත් රවීන්ද්‍ර, ටෙනිසන් ප්රේමරත්න, ලක්ෂ්මන් ලියනගේ, කමල්ඩීන්, ගිරිදරන්, මහිම ගෞතමදාස සහ ශිරාණි නානායක්කාර අපට එක් වුණේ 1983දි.
පරිගණක හෝ ජංගම දුරකතන ගැන හිතලාවත් නැති ඒ කාලෙ, සාමාන්‍ය කැමරාවක්වත් අපට තිබුණෙ නැති නිසා රූපවාහිනියෙ මං හිටිය කාලය තුළ යහළුවන් එක්ක ගත්ත සේයාරූ නෑ. තියෙන එකම සේයාරුව රූපවාහිනී හැඳුනුම්පතට ගත්ත මගේම සේයාරුව විතරයි.
ඇහෙන්ඩ කතා නොකළ ද දැනෙන්ඩ වැඩ කළා
ඉතිං පසුකලක සිසිර මගේ නාරාහේන්පිට කාර්යාලයට බොහෝ වර ඇවිත් තිබුණත් එතනදි ගත්ත සේයාරුවකුත් නෑ. රූපවාහිනියේ එකල අපේ ඒකකයේ 'එකම ගෑනු ළමයා' වුණු ශිරාණි චිත්‍රශිල්පය ප්‍රගුණ කරලා පසු කාලෙක කරපු 'ධ්‍යාන' චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරපු දවසෙ තමයි මං සිසිර එක්ක පළමු වරට සේයාරුවක් අරන් තියෙන්නෙ. ඒකෙ දකුණු කොණේ මගේ ළඟින්ම ඉන්නෙ සිසිර.

 එයා තරම් නිවුණු ගති ලක්ෂණ ඇති කෙනෙක් අපේ ඒකකයේ වෙන හිටියෙ නෑ. හරියට ඇහෙන්ඩවත් කතා නොකරන ගණයේ කෙනෙක් වුණු එයා වැඩවලින් කාටත් ඇහෙන්ඩ වැඩ පෙන්නුවා. රූපවාහිනිය ඇතුළෙ වගේම බාහිර ලෝකයේ විවිධ තැන්වල සිය දක්ෂතාව සටහන් කළා. ඔහු රූපවාහිනියෙ විවිධ වැඩසටහන්වලට සිය නිර්මාණ දායකත්වය ඉහළින්ම සැපයුවා.
මේ කොතරම් සුන්දර මිනිස්සු ද...?
සුනිල් සරත් පෙරේරා උන්නැහැ පරිසර අමාත්‍යංශයෙ ඉන්න කාලෙ කරපු 'සොබා' සඟරාව දිගට ම සැලසුම් කළා ඔහු. එක එක අයගෙ විවිධ පොත්පත්වල වැඩවලට දායක වුණා. චිත්‍රඇඳලා දුන්නා. හැබැයි ඒ හැම එකකදි ම ඔහු බලාපොරොත්තු වුණේ සිය ආත්ම තෘප්තිය පමණයි. සිනහමුසු මුහුණින් සුළු ප්‍රතිලාභයකින් තෘප්තියට පත් වුණා. මේ සේයාරුවේ දෙන්නෙක් දැන් අප අතර නෑ. ඒ සිසිර සහ හරියටම මීට වසරකට කලින් වියෝ වුණු සුදත්. සුදත් වියෝ වුණු වෙලාවෙ මට දැනුණු හැඟීමම සිසිර වියෝ වුණු අදත් ඇති වීම ගැන මට හරිම පුදුමයි. ඒ, 'මේ කොතරම් සුන්දර මිනිස්සු ද' කියන එකයි.
සුදත්ගේ වගේම සිසිරගෙත් කියන්ඩ තියෙන්නෙ 'හොඳ’ විතරයි. අපි ඉඳලා තියෙන්නෙ මේ වගේ හොඳ මිනිස්සු එක්ක නේද කියලා දැනෙන එකම කොච්චර දෙයක්ද... සිසිර මියගිය එක ගැන ශෝකයක් දැනෙනවා වගේම එයා හොඳ මිනිසෙකු ලෙස ජීවත් වුණ එක ගැන සතුටකුත් දැනෙනවා.

හිත හොඳ, නිවුණු, තැන්පත් මිනිසා - 'සිසිර' සදා මගේ මතකයේ තියේවි.
(සටහන - පුෂ්පානන්ද ඒකනායක)
උපුටා ගත්තේ Pushpananda Ekanayaka Face book පිටුවෙන්

