මේ මී මැසි ලෝකයේ පුදුම කතාවක්! රැජිනක් මිය ගියාම, රටක වගේ මී මැසි ජනපදයක අවුල් සහගත, අරාජික තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ.
ඒ වෙනුවට, සම්පුර්ණ ජනපදය ම නිහඬ අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙනවා.. මී වද බිඳ වැටෙන්නේ නෑ. එය අනුවර්තනය වෙනවා. මුළු මී වදය ම එකතු වෙලා අලුත් රැජිනක් වෙනුවෙන් කීටයෙක් තෝරා ගන්නවා. සාමාන්‍ය පෙනුමක් තියෙන කීටයන් සමූහයකින් කිහිප දෙනෙක්ව තෝරා ගන්නේ ඔවුන් විශේෂ නිසා නෙවෙයි, ඔවුන්ට විශේෂ වෙන්න පුළුවන් නිසා.

රාජකීය ජෙලි හෙවත් Royal Jelly
අනාගත රැජිනක් අනෙක් අයගෙන් වෙන් කරන්නේ දෛවය හෝ ජාන විද්‍යාව නෙවෙයි. එය ඇයට ලබා දෙන ආහාරය යි. එනම් ඇයට ලැබෙන විශේෂ ආහාරය හෙවත් රාජකීය ජෙලි (Royal Jelly) නිසයි. මේ ඝන, පෝෂ්‍ය පදාර්ථ බහුල ද්‍රව්‍යය පරිවර්තනයේ අමෘතය යි. ඒක තමයි සාමාන්‍ය කීටයෙක් අසාමාන්‍ය රැජිනක් බවට පත් කරන මැජික් එක.
මෙහි දී වැදගත් වෙන්නේ දෛවය නෙවෙයි, පෝෂණයයි. රාජකීය ජෙලි (Royal Jelly) කියන්නේ මී මැස්සන් විසින් නිපදවන විශේෂිත ද්‍රව්‍යයක්. මේක සුදු පැහැති, ක්‍රීම් වැනි පෙනුමක් තියෙනවා. මී මැසි ලෝකයේ දී, මේ රාජකීය ජෙලි තමයි රැජින මී මැස්සන්ගේ ජීවිතයේ සහ සංවර්ධනයේ ප්‍රධාන රහස වෙන්නේ. රාජකීය ජෙලි ප්‍රධාන වශයෙන් ජලය, ප්‍රෝටීන, සීනි වර්ග (ෆෘක්ටෝස් සහ ග්ලූකෝස් ඇතුළුව), ලිපිඩ, විටමින් (විශේෂයෙන් බී-සංකීර්ණ විටමින්), ඛනිජ ලවණ සහ ඇමයිනෝ අම්ල අඩංගු සංකීර්ණ මිශ්‍රණයක්. එහි ඇති සුවිශේෂී සංයෝගයක් තමයි 10-HDA (10-hydroxy-2-decenoic acid). මෙය රාජකීය ජෙලිවලට ආවේණික සංයෝගයක් වන අතර, එහි ඇති සෞඛ්‍යමය ගුණාංගවලට මෙය දායක වන බව විශ්වාස කෙරෙනවා.
රාජකීය ජෙලි හෙවත් Royal Jellyරාජකීය ජෙලි නිපදවනු ලබන්නේ තරුණ සේවක මී මැස්සන් (worker bees) විසින්. ඔවුන්ගේ ශරීරයේ ඇති ෆැරින්ජියල් ග්‍රන්ථි (pharyngeal glands) සහ මැන්ඩිබියුලර් ග්‍රන්ථි (mandibular glands)වලින් ශ්‍රාවය කරන ශ්‍රාව මිශ්‍ර වීමෙන් රාජකීය ජෙලි සෑදෙනවා. මී වදය තුළ සිටින වයසින් අඩු, විශේෂයෙන් දින 5 ත් 15 ත් අතර වයසැති සේවක මී මැස්සන් මේ සඳහා විශේෂිතයි. ඔවුන් තම උදරයේ ඇති මේද ග්‍රන්ථිවලින් මේදය සහ ප්‍රෝටීන අවශෝෂණය කර, පසුව ඒවා ෆැරින්ජියල් ග්‍රන්ථි මඟින් රාජකීය ජෙලි බවට පරිවර්තනය කරනවා.
රැජින කුටි හෙවත් queen cells
මී මැසි ජනපදයක රැජිනක් බිහි කිරීමට අවශ්‍ය වූ විට, සේවක මී මැස්සන් විසින් විශේෂයෙන් විශාල රැජින කුටි (queen cells) ගොඩනඟනවා. මේවාට රැජින බිත්තර දැමූ පසු, එම කීටයාට ජීවිත කාලය පුරාම බහුලව රාජකීය ජෙලි ලබා දෙනවා. අනෙකුත් සාමාන්‍ය කීටයන්ට රාජකීය ජෙලි ලැබෙන්නේ ඔවුන්ගේ මුල් දින කිහිපය තුළ පමණයි. සේවක සහ පිරිමි (ඩ්‍රෝන්) මී මැසි කීටයින්ට රාජකීය ජෙලි ලැබෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ මුල් දින 2-3 තුළ පමණයි. ඊට පසුව ඔවුන්ට මී පැණි සහ පරාග මිශ්‍ර වූ "බී බ්‍රෙඩ්" (bee bread) ආහාරයට ලැබෙනවා.
රාජකීය ජෙලිවල ඇති අද්විතීය පෝෂ්‍ය පදාර්ථ සහ හෝමෝන වැනි සංයෝග, රැජින කීටයාගේ ජානමය ප්‍රකාශනය වෙනස් කරමින්, සාමාන්‍ය මී මැස්සෙකුට වඩා විශාල, වැඩි කාලයක් ජීවත් වන සහ බිත්තර දැමීමේ හැකියාව ඇති රැජිනක් බවට පත් කරනවා. මෙය පෝෂණය මගින් ජීවියෙකුගේ දෛවය වෙනස් කළ හැකි ආකාරය පිළිබඳ පුදුමාකාර උදාහරණයක්.

මේ අනුව, රාජකීය ජෙලි කියන්නෙ මී මැසි ජනපදයේ පැවැත්මට අත්‍යවශ්‍ය, සුවිශේෂී මී මැසි නිෂ්පාදනයක් වන අතර, එය මී මැස්සන්ගේ පුදුමාකාර ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. රාජකීය ජෙලි දිගටම ලැබෙ න එකම කීටයා රැජින බවට පත් වෙනවා. ඇය විශාල වෙනවා, වැඩි කාලයක් ජීවත් වෙනවා, වදයේ නායකත්වය අරගෙන, එය නැවත ගොඩනගනවා. කලබල තිබුණු තැනට ඇය විනයක්, රිද්මයක් ගෙන එනවා. ඇය බලය වෙනුවෙන්ම උපත ලබන්නේ නැහැ, ඇයව ඒ වෙනුවෙන්ම ඇති දැඩි කරනවා.
අපිටත් ආදර්ශයක්...
මේක අපිටත් හොඳ පාඩමක් වෙන්න පුළුවන්. නායකත්වය කියන්නේ හැමවිටම තනතුරු, වරප්‍රසාද හෝ උසස් පරම්පරාවලින් ලැබෙන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට, ඒක සාමාන්‍ය මිනිසුන්ට ලැබෙන අසාමාන්‍ය සහයෝගය මත ඇතිවෙන දෙයක්. මී වදයේ වගේම, ශ්‍රේෂ්ඨත්වය සඳහා තියෙන හැකියාව අප අවටම තියෙනවා - ඒකට ඕන කරන්නේ හොඳ පෝෂණයක් විතරයි.
අපි එකිනෙකාව වඩා හොඳ අනාගතයක් පෝෂණය කරමු... පරිවර්තනය විශ්වාස කරමු...
සාරවත් දෙයින්, අනාගත රජුන්, රැජිනියන් නිර්මාණය කරමු..
© Timeline Tales
උපුටා ගත්තේ Niroshini Herath Face book පිටුවෙන්.

