ඡන්දය දෙන්නට කලින් “ඔබ අපේක්ෂා කරන ශ්‍රී ලංකාව” කවර ආකාරයේ ශ්‍රී ලංකාවක්දැයි සිතන්න
ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” තෝරා ගැනීම ඔහු රටේ ආර්ථිකය බේරා ගත්තේ යැයි කීමට සංකේතයක් ලෙස යොදා ගන්නකි. ඒ වෙනුවෙන් නාම යෝජනා බාරදී අවසන් වූ වහා ඔහුගේ මැතිවරණ ප්‍රචාරය ආරම්භ වූයේ වට්ස්ඇප් මගින් බෙදා හැරිය ඉතා නිර්මාණාත්මක වැකියක් සමගින් ය. ගෑස් සිලින්ඩරයක රූපයක් සමග එහි කියා තිබුණේ “කෝල් කරලත් ඉල්ලන්නේ ගෑස් ටැංකිය” කියාය. නමුත් එහි පොට පටලවාගෙන තිබූයේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ලකුණටත් ප්‍රසිද්ධියක් දීමෙනි. “කෝල් කරලා” ඉල්ලනවා යැයි කීමට එහි දුරකතනයක රූපයක්ද උඩින්ම යොදා තිබිණ. ඒ ප්‍රචාරය මා දැක්කේ රනිල් හැමදාම අවුල් කරගන්නා ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ සුන්දර සංකේතයක් විලසින්ය.
එය ලැබුණු විගස ඊළගට මට ලැබුණු දුර කතන ඇමතුමෙන් ඇසුවේ, “මෙදා මොකද වෙන්නේ?” යැයි කියා ය. “මෙනවද වෙන්න ඕනේ?” යැයි මා ඔහුගෙන් පෙරළා ඇසූ විට “ඉන්න පිරිසිදුම අපේක්ෂකයාට ඡන්දෙ දීපං” යැයි උත්තරය විය. බරපතල කාර්යක් මට බාර දෙමින් ඔහු ඒ විගස දුරකතනය විසන්ධි කළේය. “දැන් හොයපංකො පිරිසිදු එකෙක්” කියා මම මටම කියා ගත්තෙමි.
“දූෂණය” යැයි අර්ථ ගැන්වෙන්නේ කුමක්දැයි මම කල්පනා කළෙමි. සියලු දේශපාලන නායකයින් දූෂණ වංචා ලඝු කර තිබෙන්නේ විගණනය නොවන සෘජු මුදල් ගනුදෙනුවලට ය. රාජපක්ෂලාට එරෙහිව එල්ල කෙරෙන චෝදනා සහ ජ.වි.පෙ ඒ වෙනුවෙන් ගොඩ ගැසූ ලිපි ගොනු ප්‍රමාණය එවැනි සෘජු මුදල් ගනුදෙනුවලට සීමා වූ චෝදනා විය. ඒවා මුදල් මළු එහා මෙහා කෙරෙන කතා නොවුනි. වර්තමානයේ මුදල් ගනුදෙනු සිදු වන්නේ බැංකු ගිණුම් හරහා පොත්වල සටහන් කෙරෙන බැර කිරීම් හා හර කිරීම් මගින්ය. එහෙත් දූෂණය යනු එපමණද?
“දූෂණය” එතැනින් එහා බොහෝ දුර යන කතාවකි. කවුරුත් දන්නා නිදසුනක් ගතහොත් 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවා තෙමසක් යන්නටත් කලියෙන් වූ පළමු මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙහි වූ අක්‍රමිකතා මගින් දූෂණයක් සිදුවිනැයි චෝදනා විය. ආරම්භයේදීම අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ගෝලයින් වැනි වූ ඔහුගේ පක්ෂයට සම්බන්ධ නීතිඥ කමිටුවක් පත්කර බැඳුම්කර වංචාවක් නොවුනි යැයි වාර්තාවක් ලබා ගත්තේය. අගමැති වික්‍රමසිංහට බැඳුම්කරයෙන් මුදල්මය වාසියක් නොවුනු බව කවුරුත් පිළිගන්නා කාරණාවකි. එහෙත් ඒ දූෂණයෙහි ඔහුගේ හවුලක් වගකීමක් නොවුනිද? ඔහු තවදුරටත් පිරිසිදු ද?
දූෂණය තේරුම් ගැනීමට එතැනින් තව එහාට ගියහොත් 2004 දෙසැම්බරයේ සුනාමි ව්‍යසනය සමග විපතට පත් අනාථ වූ පවුල්වලට ආධාර ලෙස සතර දිග් බාගයෙන් ලංකාවට ලැබුණු විශාල ඩොලර ආධාර වංචා කළේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණයෙහි චෝදනා ගොනු කෙරුණි. මහින්දව නිදොස් කොට නිදහස් කිරීමට එවකට සිටි අග විනිසුරු සරත් එන්. සිල්වා මුල් විය. එය තමා අතින් මේ රටේ ජනතාවට සිදු කෙරුණු බරපතල වරදක් යැයි ඔහු පසුව ප්‍රසිද්ධියේ කීවේය. පළමු දිනයේ සිටම සමාජයේ පොදු මතය වූයේ මහින්ද රාජපක්ෂ සුනාමි අරමුදල් වංචාවට වරදකරුවකු බවය.
එවැන්නකු සිංහල-බෞද්ධ ජනාධිපති අපේක්ෂකයෙකු වූ විගස, ඔහුව ජනාධිපති ලෙස ජයග්‍රහණය කරවීමේ කීර්තිය හා වගකීම වෙනුවෙන් පෙනී සිටින්නෙකු හැඳින්විය හැක්කේ කෙසේද? “අප පෙනී සිටියේ යුධ ජයග්‍රහණයක් වෙනුවෙන්” යැයි කීමෙන් සුනාමි අරමුදල් වංචාව හංගන්නේ කාගේ සේප්පුවේද? එපමණක්ම නොවේ. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවෙන් ලබා ගත් ඇමතිකම් තුනෙන් එකක් වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ බලය යොදා ගනිමින් සිය පක්ෂ ශාඛා මගින් “සුනාමි පුනරුත්ථාපන ජනතා කමිටු” ලේබල අලවා දකුණේ වෙරළබඩ ජනතාවට ලැබිය යුතු වූ සුනාමි අරමුදල් සිය පක්ෂ අරමුදලට හැරවූ පක්ෂයක් පිරිසිදු දේශපාලකයින්ගේ පක්ෂයක් විය හැකිද?
කවුරුත් කතා නොකරන මහජන මුදල් ගසා කන තවත් දූෂණයක් වන්නේ මහජන මුදලින් නඩත්තු කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණක් වන නිල නිවාස අවභාවිතා කිරීමය. හිටපු මන්ත්‍රීවරුන්ට හෝ පාර්ලිමේන්තුවේ නියෝජනය වන නිසා හෝ පක්ෂයක ප්‍රධානීන්ට ඒ නිල නිවාස තමන්ගේ කොළඹ පදිංචියට තබා ගැනීමේ කිසිදු නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නැත. බලාධිකාරීන් ඒ ගැන ප්‍රශ්න නොකිරීම නිසා ඒවා අවභාවිත කිරීම වරදක් නොවන්නේද?
දූෂණ වංචා සඳහා ලොකු පොඩි යැයි ගණන් හැදීමක් නැත. ආණ්ඩු පාලනයේ සහ දේශපාලන බලය මත සිදුකෙරෙන දූෂණවල බොහෝ විට ඇත්තේ පාර්ශව දෙකක් පමණක් නොවේ. දූෂණ වංචාවල පංගුකාරයින් වන්නේ ඒවායේ මුදල් අත ගෑවුන් පමණක්ද නොවේ. එවැනි දූෂිතයින් පාලන බලයට ගෙන එන්නට කවර ආකාරයකින් දායක වූවත් ඔවුන්ද දූෂණයේ පංගුකාරයින්ය. දූෂණ සම්බන්ධ එවැනි බොහෝ කරණා සමග මම තොරතුරු ටිකක් පෙළ ගැස්සුවෙමි.
මෙය ඡන්දදායකයින් සම්බන්ධයෙන් කිව යුතුය. අවුරුදු 45 ක් පුරා හැඩ වුනු පදම් වුනු දූෂිත සමාජයක් අනිවාර්යෙන් පසුගාමී ආත්මාර්ථකාමී සමාජයකි. කුමන පක්ෂයක වූවත් මැතිවරණ ක්‍රියාකාරීන් ඡන්දය තීන්දු කරන්නේ “මට මොකද්ද ලැබෙන වාසිය” යැයි ගණන් හදා මිස “රටට ලැබෙන වාසිය කුමක්දැයි” ගණන් හදා නොවේ. ඔවුන් ඡන්ද එකතු කරන්නේ විරෝධාකල්ප වගා කිරීමෙනි. රටේ ප්‍රධාන ප්‍රශ්න සඳහා විසඳුම් ගැන කතා කිරීමෙන් නොවේ. එවැනි අති බාල දේශපාලනයක සංවර්ධන සැළසුම් ඉල්ලා ඒ අනුව ඡන්දය දෙන ඡන්දදායකයින් හැදෙන්නේ නැත. මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි තුන්වන පරම්පරාවටද ඡන්දය ලැබුණු මෙවර ජනාධිපතිරණයෙහි ඡන්දදායකයා තවමත් ඒ පසුගාමී, ආත්මාර්ථකාමී ඡන්දදායකයාම ය.
කවුරුත් කතා වන ඉදිරිපෙළ අපේක්ෂකයින් හදන්නේද ඒ පසුගාමී, ආත්මාර්ථකාමී ඡන්දදායකයාම ය. ඔවුන්ගෙන් කවරෙකුට ඡන්දය දුන්නත් ඉතිරි වන්නේ එකම අවාසනාවන්ත ඉරණමකි. එනිසා මගේ බලාපොරොත්තුව මේ ජනාධිපතිවරණයේදී ලබන වර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා “අප ඉදිරියේදී බලාපොරොත්තු විය යුතු ශ්‍රී ලංකාව” සම්බන්ධ සංවාදයක් ගොඩ නගා ගැනීම ය.
කුසල් පෙරේරා
2024 අගෝස්තු 17 වන දින
Kusal Perera
Journalist
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
