Language Switcher

V2025

දේශපාලකයන් වෙනුවට වඳුරන්ට රට පාලනය කිරීමට ඉඩ දෙන්න !

(දෙවන කොටස)

ලංකාවේ හොරු ඇල්ලීම කියන්නේ අපිට දෙන පොඩි ආතල් එකක්..! 

මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ පාලනයෙන් මිනිස්සු ඉල්ලුවේ පෙර පැවති ආණ්ඩුවේ ජඩ වැඩ සහ හොරකම්, වංචා දූෂණ කළවුන්ට දඬුවම් කරන ලෙසයි. මිනිස්සු කන්න බොන්න හෝ රැකී රක්ෂා ඉල්ලුවේ නැහැ. එහෙත් ඔවුන් ඒ සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබුවේ "එපා වාහෙට හොදි බෙදන්නා වාගේ" ලීලාවෙන්. වසර හතරක අවසානයේ "නටපු තොවිලයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ."

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති පදවියට පැමිණියේ හොරු අල්ලා රැගෙනවිත් ගෝල්ෆේස් පිටියේදී කස පහර දෙන බව කියමින්. මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ තමන්ගේ ෆයිල් ගැන කතා නොකළද තමන් යටතේ සිටි ඇමතින්ගේ ෆයිල් ළඟ ඇති බව කියා සිටියා මතකයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තමන් ජනාධිපතිවරණය ජයගන්නා දිනම රාත්‍රී ගුවන් තොටු පොළ වසා හොරු අල්ලන බවයි. පසුව ඔහුම ඉඟි කළ එකී හොරුන්ට දින 52 ක ආයුෂ තිබූ ආණ්ඩුවක්ද පිහිටුවා දුන්නා. දැනුදු හිටපු ජනපතිවරයා, ඔහුම අනාවරණ කළ "හොරු සමග හෙළුවෙන්" සිටිනවා.

ලෝකයේ බොහෝ රටවල නායකයන් වංචා දූෂණ, මහජන දේපළ අයථා පරිහරණය පිටුදැකීම සඳහා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. එනිසාම එම රටවල එවැනි ක්‍රියාවල නිරත සාමාන්‍ය පුද්ගලයාගේ සිට නායකයන් දක්වා දඬුවම් ලබනවා. මේ උදාහරණ කිහිපයක්.

බංග්ලාදේශ හිටපු අගමැතිනි Khaleda Zia - මූල්‍ය වංචා, 2018 දී වසර 5 ක සිරදඬුවම් නියම කෙරුනා.

පාකිස්ථාන හිටපු අගමැති Asif Ali Zardari - මුදල් විශුද්ධිකරණය, 2019 සිට මේ දක්වා සිරදඬුවම්

ඊශ්‍රායල හිටපු අගමැති Ehud Olmert - අල්ලස් ලබා ගැනීම, 2015 දී වසර හයක සිරදඬුවම් නියම කෙරුනා.

මැලේසියා හිටපු අගමැති Najib Razak - වංචා දූෂණ, 2018 දී වසර 12 ක සිරදඬුවම් නියම කෙරුනා.

ඉතාලි හිටපු අගමැති Silvio Berlusconi - නීතිවිරෝධි මූල්‍ය කටයුතු, 2013 දී වසර 4 ක සිරදඬුවම් නියම කෙරුනා.

ප්‍රංශ හිටපු අගමැති François Fillon - මහජන අරමුදල් අපහරණය සහ වංචා, 2020 දී වසර පහක සිරදඬුවම් නියම කෙරුනා.

පිලිපීන හිටපු ජනාධිපති Joseph Estrada - රජයේ මුදල් සොරකම් කිරීම, 2007 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුනා

එල්සැල්වදෝර් හිටපු ජනාධිපති Antonio Saca - වංචා දූෂණ, 2018 සිට මේ දක්වා සිරදඬුවම්

එල්සැල්වදෝර් හිටපු ජනාධිපති Mauricio Funes-අල්ලස් ලබා ගැනීම හා මූල්‍ය වංචා, 2017 දී අවුරුදු 10 ක සිරදඬුවම් නියම කෙරුනා.

තායිවාන් හිටපු ජනපති Chen Shui-bian-අල්ලස් ලබාගැනීම 2010 දී වසර 11 ක සිරදඬුවම් නියම කෙරුනා.

මොංගෝලියා හිටපු අගමැති Saikhanbileg Chimed-අල්ලස් හා දූෂණ, මහජන අරමුදල් තම කම්පැණිවලට බැරකර ගැනීම, 2018 සිට සිරදඬුවම්

පේරු හිටපු ජනපති Ollanta Humala - මූල්‍ය වංචා, 2017 සිට මේ දක්වා සිරදඬුවම්

අපට වඩා දියුණු යැයි සැලකෙන රටවලත් එසේ නොවන රටවලත් තරාතිරම නොබලා වංචාවට, දූෂණයට, සොරකමට දඬුවම් කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ නායකයෙකු නොව ආණ්ඩුවකට දේශපාලන ලැදියාවක් සහිතව වැඩකළ, හොරකමට උදව් කළ නිලධාරියෙකුට හෝ දඬුවම් කරයිද? මැති ඇමතිවරුන් හා අනෙක් නායකයන් ගැන කවර කතාද?

දැනට ජිවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකුට නිසි අධිකරණ ක්‍රියාමාර්ගයකින් වරදකරු වී සිරදඬුවම් නියම වූයේ යැයි උපකල්පනය කරමු. කවර දේ රටේ සිදුවෙයිද?

හොරකම් කළ බව සීයට සීයකින් තහවුරු වී තිබුණද දඬුවම් ලබන නායකයා ගැන දුක් ගී ගයන තරමට රටේ ජනතාව හුරු වී තිබෙනවා. අපේ හදවත් උණු වී කඩා හැලෙනවා.

අනෙක් අතට තම නායකයා බේරා ගැනීමට මරාගෙන මැරෙන වර්ගයේ විරෝධතා ඇරඹනවා. අධිකරණ වටලනු ඇති. සංඝ බලකායන් සිවුර දණහිසින් උඩට ඔසවා ගෙන පෙරමුණේම ඉඳීවි. (සොරකම් සිදුවන අවස්ථාවේ එකී හිමිවරු භාවනානුයෝගීව වැඩ විසූහ)

දේශපාලන නායකයෙක් අදත් වංචා දූෂණ සම්බන්ධ නඩු කටයුත්තක සැකකරුවෙකු වී අධිකරණයට ගොස් ඉන් එළියට එන අවස්ථාවේ ඔහු කෙතරම් නම් ඉහළින් පිළිගැනෙනවාද? තමන්ගෙම සල්ලි සොරකම් කළ නායකයන් මෙලෙස අදහන පාක්ෂිකයන් වෙන කිසිදු රටක නැහැ. ඉතින් අපි විචාරවත් ජාතියක්ද?

ශ්‍රී ලංකාවේ මැර හා දූෂිත ක්‍රියාවල නිරත දේශපාලන නායකයන් කියන්නේ ජනප්‍රිය කණ්ඩායමක්. එවැන්නෙක් අධිකරණයකින් වැරදිකරුවකු වුවහොත් ඔහු බේරා ගැනීමට ඇරඹෙන අරගලයම ආණ්ඩුවක් පෙරළා දැමීමට තරම් සමත් වෙනු ඇති. නව ආණ්ඩුවක් බලයට පැමිණි විගස නව නීති සම්පාදනය කිරීමෙන් හෝ ජනාධිපති සමාවකින් හෝ වැරදිකරු නිර්දෝෂී වී දඬුවම් ලැබීමෙන්ද බේරා ගැනෙනු ඇති.

නායකයන් පමණක් නොව රටේ ආයතන පද්ධතියද වංචා, දූෂණ සඳහා අවැසි ලෙස නිර්මාණය වී තිබෙනවා. රේගුවේ බඳු වංචා, ආදායම් හංගා බදු වංචා ආදිය සිදුවන්නේද එහි ප්‍රතිඵල හැටියට.

දියුණු රටවල සල්ලි හංගන්න පහසු නැහැ. කළු සල්ලි සුදු කරන්න බැහැ. එහෙත් අපේ රටේ ඒ වෙනුවෙන්ම අණපනත්ද සම්මත කර ගැනෙනවා. රටේ ලොකු පොඩි සැමගේ ඉපැයීම් වගේම වියදම් කරන ආකාරයත් මොනිටර් වෙන සිස්ටම් එකක් හදන්න කිසිදු නායකයෙක් හෝ ආණ්ඩුවක් කටයුතු කරන බවක් පේන්නේ නැහැ.

රටේ ජනතාවගෙන් බහුතරයක් ජීවන වියදම ඉහළ යාම නිසා හූල්ලමින් සිටිනවා. තමන් ඡන්දය දුන් පාලකයන් හොරා කෑම නිසාත් එකී බර තමන්ට පැටවී ඇති බවත් අප තේරුම් ගන්නේ නැහැ. රට ලෝකෙට ණය වන විට නායකයන් සාක්කුවට දාගන්නා කොටසත් එක්ක ගෙවන්න වෙන්නෙ අපිට බව තේරුම් ගන්න ඕන. එහෙත් අපි ඒ හොරු වෙනුවෙන් තවමත් පෙනී සිටිනවා.

ආණ්ඩු මාරුවෙනවා. හොරු ඇල්ලීම නම් කිසි දිනෙක සිදුවන්නේ නැහැ. හොරු මාරු වෙනවා. ආණ්ඩුව වගේම විපක්ෂයේ අයත් අපේ ආවේගවලට ආමන්ත්‍රණය කර අප රවටා සැඟව යනවා.

"එයාලා කවුරුත් සදාතනික යාළුවෝ" වන විට හාල් මැස්සන් මිස තෝරු, මෝරු කිසිවෙක් කිසිදා කිසිදු දැලකට අහුනොවෙනු ඇති.

මේ වංචා, දූෂණ, සොරකම් නතර නොවන්නේ නම් දැන් කළ යුත්තේ කවරක්ද? Mehmet Murat Ildan කියූ පහත අදහස සිතට ගැනීම පමණකි.

"දේශපාලකයන් වෙනුවට වඳුරන්ට රට පාලනය කිරීමට ඉඩ දෙන්න. අඩුම තරමින් ඔවුන් සොරකම් කරන්නේ කෙසෙල් ගෙඩි පමණි."

|මහින්ද රුබසිංහ

FB IMG 1633947996587

(ඡායාරූපය-සොරුන් පත්කර ගන්නා පුරවැසියන්)