රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරමින්, රාජ්‍ය බලය පැහැර ගැනීමේ 22 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා ද? එසේත් නොමැති නම් අඩියක් පස්සට ගනිමින් එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටිනවා ද ?යන්න තීරණය කිරීමේ අවසාන අවස්ථාවට ජනාධිපතිවරයා මුහුණ දෙමින් සිටින බව සමගි ජනබලවේගයේ ගම්පහ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 22 සම්මත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන අවසානාත්මක තීරණය රටේ ඉදිරි ගමනේ ස්වභාවය සනිටුහන් කරන ඵෙතිහාසික මොහොතක් ලෙස හැදින්විය හැකි බවයි. 22 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන මොහොතේ ජනාධිපතිවරයා සිටි මානසිකත්වය සහ ඔහු අද සිටින මානසිකත්වය අතර පැහැදිලි වෙනසක් ඇති බව පැවැසූ රාජපක්ෂ: පෙනුමෙන්, කතාවෙන්, චර්යාවෙන් ජනාධිපතිවරයා පත්ව සිටින පීඩනය හොඳින් ම පැහැදිලි වන බව ද කියා සිටියේ ය.
වරුණ දීප්ත රාජපක්ෂ මේ බව කියා සිටියේ, කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මාලිමාව ඇතුළෙන් ම විරෝධයක් - හරිනිට ලොකු වගකීමක්
“22වන සංශෝධනයට මේ වන විට මාළිමාව ඇතුළෙන් ම විරෝධය එල්ල වී තිබෙනවා. ලාල් විජේනායක එළිපිට ම විරුද්ධ වුණා. ඒ වගේම උපුල් කුමරප්පෙරුමලා, හරිනි අමරසූරියලා දැන් නිහඬ පිළිවෙතක ඉන්නේ. සමහරවිට ඔවුන්ට තමන්ගේ බලනහර ගැන බියක් ඇති වෙලා වෙන්නත් පුළුවන්. හරිනි අමරසුරිය අගමැති වුණත් 22 ගැන වචනයක් කතා කරන්නේ නෑ. කොණ්ඩේ මල්ගහගෙන තැන තැන ගියත්, ඇය 22 ගැන කතා කරන්නේ නෑ. ඇත්තට ම මේකෙන් අපිට තේරෙන්නේ අගමැතිනියත් ලොකු පීඩනයකින් ඉන්න බව. ඒත් මේ රටේ ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ ජේ.වී.පී. එක ගැන විතරක් විශ්වාසය තියලා නෙමෙයි. හරිනිලා වගේ අය ගේ එකතුවීමත් එක්කයි ජනතා විශ්වාසයක් ගොඩනැගුණේ. එහෙම නම් රට අඳුරේ ගිල්වන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන තමන්ගේ හදවතේ උපදින අදහස ප්‍රකාශ නොකර ඉන්න හරිනි අගමැතිවරියට අයිතියක් හෝ අවස්ථාවක් නෑ. හරිනි අනිවාර්යෙන්ම තමන්ගේ ස්ථාවරය රටට ප්‍රකාශ කළ යුතුමයි.”
මේ වන විට ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ට විපක්ෂයෙන් මෙන්ම මාලිමාව අභ්‍යන්තරයෙන් ද විරෝධයක් එල්ල වෙමින් පවතින බව පැවැසු වරුණ රාජපක්ෂ පෙන්වා දුන්නේ, රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ කුමන්ත්‍රණය සැලසුම් කළ පැලවත්තේ පාර්ශ්වය මේ වන විට ජනාධිපතිවරයා ද අතරමං කර ඇති බවයි.
“ඒ නිසා ඇත්තට ම මේ වෙලාවෙ හරිනිට ලොකු වගකීමක් තිබෙනවා. මේ සංශෝධනය වැළැක්විය හැකි ප්‍රධාන චරිතය හරිනි. හරිනිට පුළුවන් මාලිමාව නියෝජනය කරන 22 ට එරෙහි බලවේග සමග එකතුවෙලා මේක වළක්වන්න. එහෙම වුණොත් හරිනිගේ වටිනාකම වැඩිවෙනවා වගේම, රාජ්‍ය බලය අත්පත්කර ගැනීම කෙසේ වෙතත් ආණ්ඩු බලය හෝ යම් තරමකින් ආරක්ෂා කරගෙන ජනපතිකම කරගෙන යන්න අනුරටත් අවස්ථාවක් සලසලා දෙන්න පුළුවන්. නැත්නම් වෙන්නේ ආණ්ඩුවත් අතහැර ගෙදර යන්නටයි.”
22වන සංශෝධනය විවාදයට ගන්නා ලබන 24වන දා පාර්ලිමේන්තු වටරවුමේ දැවැන්ත විරෝධතාවක් සංවිධාන කිරීමට සමගි ජනබලවේගය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද රාජපක්ෂ අදහස් පළ කළා.
22ට මුවාවී සමගියට ගල්ගසන නිවටයින්ට ගල්ගැසෙන පිළිතුරක්
මෙහි දී මාධ්‍යවේදියකු විමසා සිටියේ, 22වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවටත්, එය සජිත් - අනුර ඩීල් එකක් බවටත්, සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන ප්‍රවෘත්තියට හේතුව කුමක්ද යන්නයි.
“ 22ට එරෙහිව සමගියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ කියලා පිරිසක් කැම්පේන් එකක් කරනවා මමත් දැක්කා, ඒ අයට ජනබලයක් තියෙනව ද? කියලා අපි මුලින්ම බලන්න ඕන. පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගත නොහැකිවූ සහ ජනතාව සහමුලින් ම ප්‍රතික්ෂේප කරපු පරාජිත පක්ෂ විසින් මෙම මතවාදය ව්‍යාප්ත කරන බව අපිට පේන්න ම තියෙන යථාර්ථය.”
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සමාජයට ඉව වැටුන මොහොතේ සිට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය ඊට එරෙහිව සමාජය තුළත්, දේශපාලන ක්‍ෂ්ත්‍රය තුළත්, පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී සිදුකළ මැදිහත්වීම පිළිබඳ සටහන් කළ දින වකවානු සහිත මුද්‍රිත වාර්තාවක් මාධ්‍යට ඉදිරිපත් කළේ ය.
“22 වන සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාමාර්ගයක් බව පෙන්වාදෙමින් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේ මැයි මාසෙ 06 වැනිදා. නමුත් එහෙම විවාදයක් දෙන්න තරම් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි වුණේ නෑ. ඊට පස්සේ අපි පක්ෂයක් ලෙස මැදිහත් වෙමින් මේ සංශෝධනයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාව මත ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. 22වන සංශෝධනයේ ඇති බලපෑම පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරන ලෙස අපි නීතිඥ සංගමයට ඉල්ලීමක් කළා. නමුත් ඒකටත් ආණ්ඩුව ඉඩ දුන්නේ නෑ. ඒ වගේම විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී අවස්ථා කිහිපයක දී ම මෙහි ඇති අනතුර ගැන කරුණු පෙන්වා දුන්නා. අධිකරණය හමුවේ ඇති ගැටලු විසදිමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හදන්නත් යෝජනා කළේ අපි. ගමක් නගරයක් පාසා ගිහින් මේ අනතුරුදායක තත්ත්වය ගැන ජනතාව දැනුවත් කරමින් මහජන පෙත්සමක් අත්සන් කරන්න මූලික වුණෙත් අපි. නීති ක්‍රියාමාර්ගවලට දායකත්වය වගේ ම නායකත්වය දුන්නෙත් සමගි ජනබලවේගය. ඒ වගේ ම පිටකොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක දී විරෝධතා පැවැත්වුවෙත් අපි. දැන් මේක පාර්ලිමේන්තුවට ගේන 24වැනි දා විශාල විරෝධය දක්වන්න සූදානම් වෙන්නෙත් සමගියේ අපි විතරයි.
කඩිනමින් නඩු විසඳීම සඳහා 22 ඉදිරිපත් කරන බව තමයි ආණ්ඩුව කියන්නේ. ඒක ආණ්ඩුව කියන බොරුවක්. නඩු කඩිනම් කරන්න අවශ්‍ය නම් ඇත්තට ම කළ යුතු දේ ආණ්ඩුවට පෙන්වා දුනේ සමගි ජනබලවේගය යි. නඩු ප්‍රමාදයට හේතුවන කරුණු ගණනාවක් අපි පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ඉල්ලලා ඒ ඔස්සේ මේ පිළිබඳ පැහැදිලි කිරීම් ගණනාවක් සිදුකළා. පාර්ලිමේන්තුව මේ වෙනුවෙන් සිදුකළ හැකි සියලු අරගල අපි සිදුකරල තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටතදීත් අපි බොහෝ දේ කළා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන විසින් සංවිධාන කර තිබු සම්මන්ත්‍රණ ගණනාවකට අපි අපේ සහය ලබාදුන්නා. විපක්ෂයේ සියලු පක්ෂ කැඳවලා 22 ගැන පුළුල්ව සාකච්ඡා කරන්න විපක්ෂ නායකතුමා කටයුතු කළා. ආණ්ඩුවේ ඒකාධිපති ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් දැනුම්වත් කරන පියවර ගත්තේ අපි. ඒ නිසා අපි මේ වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙන බව, මේ වාර්තාවේ පිටු 78 කියෙව්වා නම් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්.”
22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මොනවද කළේ?
එලෙස සජිත් ප්‍රමුඛ සමගිය 22කට එරෙහිව සිදු කළ සැබෑ අරගලය ගැන කරුණු පැහැදිලි කළ රාජපක්ෂ, අවධාරණය කර සිටියේ…,
“22 මත එල්ලී පක්ෂක් ලෙස දේශපාලන වාසි ලබාගැනීමේ අවශ්‍යතාවක් සමගි ජනබලවේගයට හෝ විපක්ෂ නායකවරයාට නැහැ. ජනතාව රැස්කර ගන්න බැරි බංකොලොත් කණ්ඩායම් එල්ල කරන චෝදනාත් අපි ගණන් ගන්නේ නැහැ. විවිධ දේ කියමින් සමගියට ඇගිල්ල දිගු කරමින් මේ සටනේ අයිතිය උදුරා ගැනීමට ඇතැම් පිරිස් මාන බලමින් සිටින බව පේනවා 22 ට එරෙහිව කිසිවක් හෝ නොකළ, පරාජිත අවස්ථාවාදින්ට එසේ කළ හැකි වුවත්, ප්‍රතිපත්තියක් සහිත පක්ෂයක් ලෙස සමගියට එවැනි මඩ දේශපාලනය සිදුකිරීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙම නම් අපිටත් පෙරළා අහන්න තියෙන්නේ, 22කට එරෙහිව ඔවුන් මොනවද කළේ කියලා තමයි.”
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
