Language Switcher

V2025

කොරෝනා වෛරසය මැඩලීමේ චීන උපකරණ බාලයි : යුරෝපයෙන් චෝදනාවක් !

කොරෝනාවෛරසය (Covid 19) පැතිරයාම වැළැක්වීම සඳහා චීනයේ නිෂ්පාදිත උපකරණ යුරෝපා රටවල් කිහිපයක ආණ්ඩු විසින් බැහැර කරනු ලැබ ඇත.

ස්පාඤ්ඤ, තුර්කි සහ නෙදර්ලන්ත බලධාරීන්ට අනුව චීනයේ නිෂ්පාදනය කරන ලද කොරෝනාවෛරසය පිරික්සීමේ උපකරණ දහස් ගණනක් මෙන් ම සායනික මුඛ ආවරණ ද ප්‍රමිතියෙන් තොර, එසේත් නැත්නම් පළුදුවීම් වැනි අඩුපාඩු සහිත ඒවා වෙති.

මේ වන විට යුරෝපා රටවලින් කොරෝනාවෛරස ආසාදිතයන් ලක්ෂ ගණනක් වාර්තා වී ඇත.

වසංගතයක් ලෙස පැතිර යමින් පවතින වෛරසයට ගොදුරුව ඉතාලියේ පමණක් මරණයට පත් ජන සංඛ්‍යාව දස දහස ඉක්මවයි.

කොරෝනාවෛරසය (Covid 19) පසුගිය වසර අවසානයෙහි මුලින් ම හඳුනා ගන්නා ලද්දේ චීනයෙනි. ඒ සමග එය පැතිරයාම පාලනය කර ගැනීම සඳහා චීන ආණ්ඩුව නගර අතර සංචාරය හෝ වීදි බැසීම තහනම් කරමින් මහ ජනතාව නිවෙස් තුළ ම රඳවා තැබෙන විධිවිධාන ක්‍රියාවට නංවනු ලැබීය.

අඩුපාඩු මොනවාද?

පසුගිය සෙනසුරාදා (මාර්තු 28) නිවේදනයක් නිකුත් කළ නෙදර්ලන්ත ආණ්ඩුව චීන මුඛ ආවරණ හය ලක්ෂයක් (600,000) භාවිතයෙන් ඉවත් කරන බව ප්‍රකාශයට පත් කළේය.

චීනයේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එම මුඛ ආවරණ මාර්තු මස 21 වන දින නෙදර්ලන්තයට ළඟා වූ අතර, අනතුරුව ඒවා කොරෝනාවෛරස ආසාදිත රෝගීන් සමග කටයුතු කරන වෛද්‍ය කාර්ය මණ්ඩල අතර දැනටමත් බෙදා හරිනු ලැබ ඇත.

චීනයෙන් සපයන ලද මුඛ ආවරණ සඳහා ප්‍රමිති සහතිකයක් ලබාගෙන ඇතත්, ඒවා මනාව පැළඳිය නොහැකි මෙන් ම බලාපොරොත්තු වූ මට්ටමින් ඒවායේ පෙරහන (filters) ක්‍රියා නොකරන බව නෙදර්ලන්ත නිලධාරීහු පවසති.

''අප විසින් ඇණවුම් කරන ලද මුඛ ආවරණ තොගයේ ඉතිරි සැපයුම් වහා ම අත්හිටුවන ලෙසත්, ලැබී ඇති තොග බෙදා හරිනු ලැබීම නතර කරන ලෙසත් දැනුම් දී ඇත," නෙදර්ලන්ත ආණ්ඩුව විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වේ.

''එම සැපයුමට අයත් නිෂ්පාදනවලින් කිසිවක් භාවිතයට නොගැනීමට තීන්දු කරනු ලැබ ඇත.''

කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ ද යන්න විනිශ්චය සඳහා චීනයේ සමාගමකින් ආනයනය කරන ලද පිරික්සුම් උපකරණවල ද ඉහත කී ආකාරයේ අඩුපාඩු පවතින බව ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් හඳුනාගනු ලැබ ඇත.

වෛරසය ආසාදනය වී තිබේ ද යන්න හඳුනා ගැනීමට භාවිත කරනු ලබන උපකරණ ලක්ෂ ගණනක තොගයක් චීනයෙන් ආනයනය කරන ලද නමුත්, භාවිතයට ගත් හැට දහසකට ආසන්න එම උපකරණ ආසාදනයවීම් නිවැරදි ලෙස හඳුනා නොගත් බව ස්පාඤ්ඤ ආණ්ඩුව නිවේදනය කළේය.

ඒ සමග 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කළ ස්පාඤ්ඤයේ පිහිටි චීන තානාපති කාර්යාලය, ඉහත කී උපකරණ නිෂ්පාදනය කර ඇති 'Shenzhen Bioeasy Biotechnology' නම් සමාගම එවැනි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රයක් චීන වෛද්‍ය බලධාරීන්ගෙන් ලබා නොමැති බව අනාවරණය කළේය.

තවදුරටත් කරුණු පැහැදිලි කරන චීන තානාපති කාර්යාලය, චීන ආණ්ඩුව සහ 'අලිබාබා' (group Alibaba) සමූහ ව්‍යාපාරය විසින් ප්‍රදානය කරන ලද ද්‍රව්‍ය තොගයට 'Shenzhen Bioeasy' සමාගමේ නිෂ්පාදන ඇතුළත් නොවන බව සහතික කර ඇත.

මේ අතර ප්‍රකාශයක් කළ තුර්කිය චීන සමාගම්වලින් ආනයනය කරන ලද කොරෝනාවෛරස ආසාදන පිරික්සුම් කට්ටල 350,000 ක් පමණ හොඳින් ක්‍රියාත්මක වුවත්, ඇතැම් ඒවා නිවැරදිව අකුරට ම ක්‍රියාත්මක නොවන බව හෙළිදරව් වී ඇතැයි නිවේදනය කළේය.

අඩුපාඩු සහිත වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ඉහත කී විවේචන එල්ල වන්නට වූයේ, චීනය කොරෝනාවෛරසය පැතිරයාම සිය බලය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ''උපයෝගී කරගන්නා'' බවට විවේචකයන් විසින් අනතුරු අඟවනු ලැබීමත් සමගය.

යුරෝපා හවුලේ ජ්‍යෙෂ්ඨ තානාපති ජෝසෆ් බොරෙල් විසින් පසුගිය සතියේ පළ කරන ලද 'බ්ලොග්' සටහනක් මගින් මෙවැනි අනතුරු ඇඟවීමක් කරනු ලැබ තිබිණි.

''ත්‍යාගශීලී දේශපාලනය'' සහ වහා පෙරට පැනීම මගින් කෙරෙන බල අරගලයක් ඇතුළත් භූ දේශපාලන අඩංගුවක්."

''ඇමෙරිකා එක්සත් ජනපදය මෙන් නොව තමන් වගකිවයුතු, විශ්වසනීය හවුල්කරුවෙක්ය යන පණිවුඩය චීනය පෙරට දමන්නේ ආක්‍රමණශීලී මුහුණුවරකින්. කරුණුවලින් සන්නද්ධව සිය විනාශකාරීන්ට එරෙහිව අපි යුරෝපය ආරක්ෂාකර ගැනීමට පියවර ගත යුතුයි," යනුවෙන් තානාපතිවරයා සටහනක් තබා ඇත.

යුරෝපයේ පවතින තත්ත්වය කුමක්ද?

කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මේවනවිට ස්පාඤ්ඤය සහ ඉතාලිය යන දෙරටෙහි මරණයට පත් ජන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ගත්තද චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත.

වෛරසය ආසාදනය වීමෙන් ලෝකයේ වැඩි ම මරණ සංඛ්‍යාව මෙතෙක් වාර්තා වූයේ ඉතාලියෙනි. ඉතාලියේ මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා ගිය අතර ආසාදිත ජන සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් අවසන්ය.

අත්‍යවශ්‍ය නොවන වෘත්තිකයන් රැකියා සඳහා නිවෙස්වලින් පිටවීම තහනම් කරමින් ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් නව රෙගුලාසි ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එම විධිවිධාන තවත් සති දෙකක්වත් බල පැවැත්වෙනු ඇත.

මරණ සංඛ්‍යාව අඩු නමුත් වැඩි ම ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

(බීබීසී)