ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දුමින්ද : විජේදාසට NO චාන්ස් !

ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දුමින්ද : විජේදාසට NO චාන්ස් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත්කරගෙන තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (25) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රීලනිප වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මෙම දේශපාලන රැස්වීම පවත්වා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය දවසින් දවස ඔඩුදුවන්න ගෙන ඇති බවක් කෙරේ.

ඊයේ (24) දිනට පමණක් එම පක්ෂයට අදාළ අධිකරණ වාරණ නියෝග තුනක් පැනවිණ.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත්කළ වාරණ නියෝගය, පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කල වාරණ නියෝගය සහ , මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස ගනු ලැබු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කල වාරණ නියෝගය වශයෙන්ය.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබුනේ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය.

මෙම වාරණ නියෝග මැයි මස 08 දක්වා බලපැවැත්වෙන බවද නියෝගවල සඳහන් වෙයි.

මෙසේ වාරණ නියෝග පැනවීමත් සමඟ ශ්‍රීලනිප සිරිසේන පාර්ශවයේ වැඩ ඇනහිට ඇති බවත් වාර්තා වෙයි. එහිදී හිටපු ජනාධිපති සිරිසේන පාර්ශ්වය නියෝජනය කළ තිලංග සුමතිපාල ද එම සබඳතා අත්හැර දමන තැනට පැමිණ ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂය තවදුරටත් ඉදිරියට ගෙනයා හැකි බවට විශ්වාසයක් පක්ෂයේ සාමාජිකයන් තුළ නොමැති බවත් , ඔහු කෙරෙහි පක්ෂයේ සාමාජිකයන් තුළ තිබූ විශ්වාසය ඔහු විසින්ම මේ වනවිට මුළුමනින්ම අහිමි කරගෙන ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල පවසා තිබේ.

ඒ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදීය. එහි වැඩිදුරටත් පවසා ඇත්තේ අධිකරණ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් පැනවීම දෛවයේ සරදමක් බවය. තමන්ගේ බලය සහ ශක්තිය අයුතු ලෙස යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට නීත්‍යානුකූල නොවන අයුරින් පත්වීම හේතුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ නියෝගයක් නිකුත්වීම එතුමාගේ තනතුරටත්, දේශපාලනයටත් කැළලක් ලෙස ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මෙම නඩු හබ හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට ශ්‍රීලනිප ''අත '' ලකුණෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමේ අවස්ථාවද අහිමිවනු ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න