කරාපිටිය රෝහලට නවීන CT Scanner යන්ත්‍රයක්

කරාපිටිය රෝහලට නවීන CT Scanner යන්ත්‍රයක්

ඉදිරි වසර තුල ගාල්ල කරාපිටිය ශික්ෂණ  රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

එම රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම අද (24) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජපානයේ නිෂ්පාදිත අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී ඇති අතර, රෝහලේ විකිරණ විද්‍යා අංශය (Department of Radiology) තුල ස්ථාපිත කර ඇත. පසුගිය සදුදා දින මෙම CT Scanner යන්ත්‍රය ස්ථාපිත කර අද දින තෙක් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරන ලද අතර, අද දින සිට රෝගීන්ගේ CT Scan පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

දිනකට CT Scan පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේ දී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරිමට හැකි වේ. එමගින් දැනට CT Scanner පරීක්ෂණ කටයුතු සදහා වන පොරොත්තු ලේඛණ අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මීට පෙර ස්ථාපිත කර තිබූ සීට් ස්කෑන් යන්ත්‍රය වසර 15 ක් පමණ පරණ CT Scanner යන්ත්‍රයකි. CT Scanner යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම අංශය සදහා අවශ්‍ය මානව සම්පත් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ සංවර්ධන කටයුතු ද මෙහිදී නිරික්ෂණය කරන ලද අතර, දැනට සිදු කෙරෙන ප්‍රතිංස්කරණ කටයුතු ඉතා කඩිනමින් අවසන් කරන ලෙස කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් වෙත උපදෙස් ලබාදෙන ලදි. මෙම වසරේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් යෝජනා වී ඇති වැඩසටහන් රාශියක් අතර, එක් කටයුත්තක් ලෙස මෙම නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් යන්ත්‍රය ලබාදීම පෙන්වා දිය හැකි බවත්, දකුණු පළාතේ ජනතාවට විශාල සේවාවක් සපයන කරාපිටිය ශික්ෂණ රෝහලෙහි පැරණි අබලන් සීටි ස්කෑනර් යන්ත්‍රය වෙනුවට මෙම රුපියල් මිලියන 220 ක් පමණ වටිනා සීටී ස්කැනර් යන්ත්‍රය ලබාදුන් බවත්, ඉදිරි වසර තුල දී රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට රුපියල් කෝටි 100 ක් සහ වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 ක මුදලක් වෙන් කර ඇති බව ද පැවැසීය. නව මහාචාර්ය ඒකකයත්, ශල්‍ය ඒකකයත්, ස්ථාපිත කර රෝහලේ රෝගී තදබදය ද අවසන් කිරීමට පියවර ගන්නා බව පැවැසීය.

මෙම අවස්ථාවට කරාපිටිය ශික්ෂණ රොහලේ අධ්‍යක්ෂ ස්.ඩී.යූ.එම් රංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) එච්.එම්.එන් දිනිප්‍රිය හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) ජනප්‍රිය කරුණාතිලක යන  මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න