Language Switcher

Ad

Ad 01

V2025

වියට්නාමය 'බූලොයි' සුළි කුණාටුවට සැරසෙයි

වියට්නාමය  ඊයේ  (28) එරට සියලු ගුවන්තොටුපොළ වසා දැමීමට පියවර ගත්තේය. ළඟ එන 'බූලොයි' (Bualoi) සුළි කුණාටුව හේතුවෙන් එම පියවර ගෙන තිබේ.

ඊට මැදි වෙතැයි අපේක්ෂිත කලාපවල දහස් සංඛ්‍යාත පිරිස් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට ද රජය විසින් කටයුතු යොදා ඇත.

කුණාටුව හේතුවෙන් ෆිලිපීනයේ ද ගංවතුර තත්ත්වයක් හටගෙන ගැනිණි.

අද (29) උදෑසන වන විට සුළි කුණාටුව පැයට කි.මී.133කට අධික සුළං ප්‍රවාහ සමගින්, මධ්‍යම වියට්නාමයට පතිත වීමට නියමිතය. කුණාටුව වෙරළ තීරයට ලඟා වීමත් සමග සුළඟේ වේගය අඩාල වනු ඇතැයි කාළගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

සුළි කුණාටුව පැමිණීමත් සමග ඇති විය හැකි දැඩි සුළං ප්‍රවාහ, තද වර්ෂාපතනය, සාමාන්‍ය සහ හදිසි ගංවතුර තත්ත්වයන්, නාය යාම් සහ වෙරළ ඛාදනය වැනි විපත් පිලිබඳ අනතුරු ඇඟවීම් දැනටමත් නිකුත් කර තිබේ.

ලබන මස 01 දින පසු වන තෙක් උතුරු සහ මධ්‍යම වියට්නාමයේ මි.මී.600 ඉක්ම වූ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. නදී ජල මට්ටම මීටර 9 තෙක් ඉහළ නැගීමෙන්, ගංවතුර සහ නාය යාම් විපත් සිදු විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.

මධ්‍යම වියට්නාමයේ, හා-ටින් (Ha Tinh) පළාතේ පූර්ව විපත් කළමනාකරණ ආරම්භ ව පවතින අතර, පුද්ගලියන් 15,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ. හමුදා භටයින් දහස් ගණනක්, විපත් කළමනාකරණ සහ මුදා ගැනීමේ මෙහෙයුම් පිණිස සූදානම්ව සිටිති.

මේ වසරේ හටගත් කජිකි (Kajiki) සුළි කුණාටුව ද වියට්නාමයට විපත් රැසක් ගෙන දුන්නේය. හෙට සිට එරට පාසල් රැසක් ද යළි දැනුම් දෙන තෙක් වසා තැබේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/28/2025

මුලාශ්‍රය :

Vietnam evacuates thousands, shuts airports as Typhoon Bualoi nears