වසර 27ක් පැරණි, ඉන්දීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ පී.ටී. ඌෂා ගේ මීටර් 200 වාර්තාව (තත්පර 23.90) තත්පර 23.58කින් බිඳ හෙලමින් තත්පර 11.53ක මීටර් 100 වාර්තාවක් ද සමගින් රන් පදක්කම් 3ක් දිනූ ෂෆියා යමික් යනු ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාවේ නූතන පෙරළිය යි. 2025 රාංචි හි පැවැති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට අනුශූරතාවය හිමිකර දීමට ඇය දැක්වූ දක්ෂතාව අතිවිශිෂ්ට ය.
ෂෆියා යමික්
මහනුවර කටුකැලේ බහුවාර්ගික පරිසරයක හැදී වැඩුණු ෂෆියා, විහාරමහා දේවි බාලිකාවෙන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවා ය. පාපන්දු ක්‍රීඩාවට ආශා කළ ඇයව කෙටි දුර ධාවනයට යොමු කළේ පාසල් ගුරුතුමිය සහ ක්‍රීඩා නායිකාව විසිනි. අවුරුදු 16න් විවාහ වී තමන් විඳි සීමාමායිම් දරුවන්ට නොදී, ඕනෑම සමාජයකට මුහුණ දිය හැකි පරිදි දියණියන් පස්දෙනා හැදූ මවගේ ප්‍රගතිශීලී චින්තනය ඇගේ ගමනට විශාල ශක්තියක් විය.
මේ ජයග්‍රහණ පිටුපස නිහඬව කැපවුණු දැවැන්තම චරිතය ඇගේ පියා ය. දියණිය ගේ පුහුණුවීම් වෙනුවෙන් තමන් ගේ සපත්තු කර්මාන්තශාලාව පවා වැසී ගොස් සිල්ලර කඩයක් පටන් ගැනීමට සිදු වුව ද ඔහු පසුබට වූයේ නැත. තරගාවලි අතරතුර සංවිධායකයන් ගෙන් ලැබෙන කිරි පැකට් එකෙන් සහ මාළු බනිස් ගෙඩියෙන් බඩගින්න නිවාගනිමින්, ක්‍රීඩාංගණ බංකු මත රාත්‍රිය ගත කරමින් ඔහු කළ කැපකිරීම් අද ඵල දරා ඇත.

2019 දකුණු ආසියානු තරගාවලියට තේරී පත් නොවීමේ කනගාටුව සහ කොවිඩ්-19 අභියෝග හමුවේ නොසැලී පුහුණු වූ ඇය, මීටර් 100 ඉසව්ව තත්පර 11.51කින් නිම කරමින් සුසන්තිකා සහ දමයන්තිට පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ තුන්වන වේගවත් ම කාන්තාව බවට පත්වූවා ය.

ජාති ආගම් භේද පසෙකලා එකමුතුව නැගී සිටීමේ වැදගත්කම රටට ම ප්‍රත්‍යක්ෂ කර දුන් ෂෆියාගේ ඊළඟ ඉලක්කය වන්නේ 2026 ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි මෙන් ම 2028 ඔලිම්පික් පදක්කමයි.
මූලාශ්‍ර - Sports Lanka
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
