පාකිස්තානයේ සිට මොරොක්කෝව වෙත ප්‍රති-නැව්ගතකිරීමේ (Transshipment) මුවාවෙන් කොළඹ වරායට රැගෙන ආ බහලුමක සඟවා තිබූ රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 475ක පමණ විශාල තොගයක් සොයා ගැනීමට ඊයේ (31) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.
ඉකුත් ජූනි මස 27 වැනිදා දිවයිනට පැමිණ ඇති මෙම සැක සහිත බහලුම් දෙක රැගත් නෞකාවෙහි අන්තර්ගත අදාළ බහලුම ගෙන්වන ලද බවට සැකපිට කොළඹ මැලිබන් වීදියේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව, සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිවුදෙනෙකු ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පොලිස් වැටලීමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු දැන සිටි බවට සැකකෙරෙන වාප්පු ලිපිකරුවකු (Wharf Clerk) පලාගොස්, පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර වී ඇත.
පසුගිය මාස කිහිපය තුළ නාවික මාර්ග ඔස්සේ සිදුකළ දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් ජාවාරම්කරුවන් මේ වන විට බහලුම් වැනි විකල්ප මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට පෙලඹී ඇතැයි මේ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කර ඇත. එමෙන් ම ඉකුත් මාස කිහිපය තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය කිලෝ 18,000කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 260,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද ඔහු පවසා ඇත.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමග මීට පෙර අවස්ථාවල දී සෘජු පරීක්ෂාවට ලක් කළ යුතු ‘රෙඩ් ලේබල්’ සහිත බහලුම් ඇතුළු බහලුම් 300කට අධික සංඛ්‍යාවක් නිසි පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කිරීමේ සිද්ධිය ද නැවතත් කතාබහට ලක්ව පවතී.
පරීක්ෂාවකින් තොරව බහලුම් පිටතට යැවීමෙන් පසු ඒ තුළ මත්ද්‍රව්‍ය නොතිබූ බවට ආණ්ඩුව සහ ඇමැතිවරුන් කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි. විචාරකයෝ පෙන්වා දෙන්නේ බහලුමක් වරායෙන් පිටතට ගිය පසු එහි ඇතුළත් ද්‍රව්‍ය වෙනස් කිරීමට ජාවාරම්කරුවන්ට හැකියාව පවතින බැවින්, පසුපසින් සිදුකරන පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ බරපතළ ගැටලු මතුවන බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොළකරුවන් සහ ඊට ආධාර අනුබල දුන් පිරිස් අනාවරණය කර ගැනීම සඳහා ඉදිරි විමර්ශන පවත්වති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
