Image

මාලිමාව ගැන හේන් ගොයියෝ කියන කතා

මාලිමාව ගැන හේන් ගොයියෝ කියන කතා

මේ කාලෙ හේන් කරන්නෙ නැති උනාට හේන් ගොයියො ඉඳල හිටල හවස් යාමවල එනව තමන් ගෙ වාඩිය අලි කඩලද බලන්න. සමහර වාඩිවල ඔය ඉතිරි වෙච්ච, සවුත්තු වෙච්ච බොල් කළු ඇට, මුං ඇට මලු දාල යනව. ඒ මොනව ඇතැත් නැතැත් අලිය ආවම ඉතිං හොඬේ දාල සේරම අවුස්සනව. වාඩි කඩනව කියල හිතාගෙන අලි වැඩකරන්නෙ නෑ. ඒත් ඔය මොනව හරි කන්න දේවල් හොයන කොට මේ වාඩි කැඩෙනව. හොඳට ඇට්ටර වෙච්ච අන්දර කටු තොල්ලන් ලීයක් කියන්නෙ අලියෙකුට තුත්තිරි ගහක් වගේ. ඉතිං හවසට ඉඳල හිටල හේනට ඇවිල්ල යන හේන් ගොයියො මාව බලන්න එනව. බලු බල්ලෙක් නැති හේනක හැමොක් එකකට වෙලා පොත් කියවන සර්ටත් මේ එන හේන් ගොයියො කියන්නෙ කතරට දිය දෝතක් වගේ. තේ ඩිංගක් ලිපේ තියල ඔතනව පුස් ඕලයක්. කහට බිබී බුලත් විඩ කකා  ඔන්න සර් මෙයාලට කොකු ගහල හිතේ තියෙන අදහස් එලියට ඇඳල ගන්නව .මුලින් මුලින් එක එක වල් පල් කතා කරල ඔන්න එනව රටේ තොටේ විස්තර.

"මොකෝ ටවුමෙ කඩවල්වල කතාව", "ආණ්ඩුවේ තත්වෙ මොකෝ ? කට්ටිය මොකෝ දොඩන්නෙ ?"

ඔන්න ඉතිං පටං ගන්නව. සර් කාරය කං දෙක අලි කං දෙකක් වගේ කරං කර ඇරං හූමිටි තිය තිය අහං ඉන්නව.

"ආණ්ඩුව හොඳ ලු කොළඹට. ගං වලට වෙනස්කං ලු. එහේ බස් දානව ලු. අරව මේව හදනව ලු. බුලත් කෙළ පොඩ්ඩකවත් ගහන්න දෙන්නෙ නෑ ලු.හි තෙන හිතෙන තැන හුජ්ජ කරන්නවත් දෙන්නෙ නෑ ලු. ණයත් වෙලාවට ගෙවනව ලු. ඒ උනාට ගමක ඇතුළක පාරක්වත් හැදෙන්නෙ නෑ ලු. කලින් මහින්ද මහත්තලය හොරකං කරා උනාට ගම් අස්ස්වල් මුලුවල පාරක් හැදුන ලු. දැං එහෙම නෑ ලු.  ඒ වැඩවලින් කිසිම හොරකමක්වත් කරන්න බැරි නිසා කොන්තරත්කාරයො උනත් ඉස්සර වගේ නෑ ලු; පස්ස ගහනව ලු. දැන් මේ හේන්වල ගොයියන්ට තමන්ගෙ බෝගෙ පොළට ගිනියන්න මේ කැඩිච්ච පාරක්වත් හදන්නෙ නෑ ලු. දැං ඔය නිලධාරී මහත්තරු උනත් වෙනද වගේ වැඩ කරන්නෙ නෑ ලු. බය වෙලා ලු. පොඩිවටවත් හොරකං කරන්න බැරි නිසා කම්මැළි වෙලා ලු"

මම ඉතිං අහනව ඒ කඩපොළේ කතාවෙන ඒව ගැන ඔහේ මොනවැයි හිතන්නෙ කියල. ඔන්න ඉතිං එයැයි එයැයිගෙ අදහසත් කියනව.

"අනුර විතර ලු හොඳ… අනුර ජනාධිපති උස්සල දෙන තරමට අනිත් අය ගහන්නෙ නෑ ලු. තාම රටේ  මිනිස්සු හරියකට ඔය ඉන්න ඇමැතියොං ගෙ මංත්‍රීල ගෙ නම්වත් දන්නෙ නෑ ලු.  රටේ ආදායම සීයට සීයකින් වැඩි වෙලා කියන එකට වඩා මිනිස්සුන්ට ඕන පරිප්පු හාල් රුපියල් දහයකින් අඩුවෙන එක ලු. බඩු මිළ අඩු වෙන එක වෙන්නත් ඕන ලු. රටට සල්ලි තියෙනව නම්. සේරෝම සල්ලි එක එක ඒවට යටකරල ම හරි යන්නෙ නෑ ලු. කොටින්ම මිනිස්සු අතේ සල්ලි එහා මෙහා වෙන්නෙ නෑ ලු ඉස්සර වගේ. හොඳයි වගේ කියල ඔළුවට තේරුනාට බඩට ඒක දැනෙන්නෙ නෑ ලු. ආණ්ඩුවක් උනාම ඔළුවටයි පපුවටයි දෙකටම දැනෙන්න ඕන ලු. ආණ්ඩුව හොඳ ලු ඒ උනාට මොකද්ද මංදා පරහක් තියෙනව ලු."

කෝකටත් මම ඇහුව මොකෝ විපක්සෙ මහත්තරු කියන්නෙ…? අර නඩුකාරයන්ගෙ සේවා කාලෙ එහෙම මිනිස්සු දන්නව ද කියල.

මෙහෙම නේ අනුර ජනාධිපති රටට නරකක් කරන්නෙ නෑයි කියල බත් කන ඈයොන්ට නම් තේරෙනව ලු. ඔය විපක්ෂෙ ඈයො බය වෙලා ගූ හුජ්ජ බය නිසා ලු කෑ ගහන්නෙ. හැබැයි මේ ආණ්ඩුවට තිබ්බ ලු නීතිකාරයො එක්ක පොඩ්ඩක් කතා බහ කරල උන්ට උන්ගෙ තැන දීල එයැයිලවත් එකතු කරං මේක කරන්න. පොඩි උද්ධච්චකමක් තියෙනව ලු ආණ්ඩුවේ.

මම ඉතිං ඇහුව මොකෝ මෙහෙම ගියොත් ආණ්ඩුව වැටේවි ද කියල.

පිස්සුද අහනව… විපක්ෂෙ මහත්තුරුන් මෙයැයිලට වඩා හොඳයි කියල මිනිස්සුන්ට තේරෙන දවසට ලු මේ ආණ්ඩුව පරදින්නෙ.

සර් කාරය ඉතිං මුංගෙ කතා අහ අහ ඔන්න ඔහේ ඉන්නව. මම සර් කාරය දිහා බලාගෙන ඉන්නව.

 

293695475 10227735264264407 2521685758293633108 n 

 

 

සරත් ප්‍රේමතිලක - 

(Ego -ස්වර්ග රාජ්ජේ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න