Image

'අනුරාග මාලය' ඇසුරෙන් මාතර රති කාව්‍යයේ ලෞකික ස්වරූපය; Male Gaze සහ ස්ත්‍රී ආත්මීයතාව පිළිබඳ විග්‍රහයක්

'අනුරාග මාලය' ඇසුරෙන් මාතර රති කාව්‍යයේ ලෞකික ස්වරූපය; Male Gaze සහ ස්ත්‍රී ආත්මීයතාව පිළිබඳ විග්‍රහයක්

මාතර යුගයේ කාව්‍ය වංශය තුළ හමුවන "අනුරාග මාලය" යනු අනුරාධපුරයේ සිට මහනුවර යුගය දක්වා පැවති ආගමික සහ උපදේශාත්මක රාමුවෙන් බැහැර ව, මෙලොව මානුෂීය ආශා සහ ලෞකික යථාර්ථ සෘජු ව කාව්‍යයට නැගූ රති කාව්‍යයකි. ආගමික වාරණවලින් මිදී ලිංගිකත්වය, ශාරීරික ආකර්ෂණය, විරහව සහ පීතෘමූලික සංස්කෘතිය තුළ ස්ත්‍රිය ගේ භූමිකාව සාකච්ඡා කිරීමට මෙම කෘතිය ලෞකික අවකාශයක් සපයයි.

කාව්‍යයේ ප්‍රධාන වස්තු විෂය

නාරිදේහය, ලිංගිකත්වය සහ Male Gaze (පුරුෂ දෘෂ්ටිය) ලෝරා මුල්වි (Laura Mulvey) ඉදිරිපත් කළ Male Gaze න්‍යාය ඇසුරින් විමසීමේ දී, "අනුරාග මාලය" තුළ ස්ත්‍රී ශරීරය සහ ලිංගික ආශාවන් නිරූපණය කිරීමේ දී පුරුෂ දෘෂ්ටිය සහ ලෞකික භාණ්ඩකරණය ප්‍රබල ව මතු වේ. කවියා කිසිදු පැකිලීමකින් තොර ව රාගය සහ රති කෙළිය කාව්‍යයේ ප්‍රධාන වස්තු විෂය බවට පත්කර ගනී.

1 Hd2NGtPSwSUGGzNeXKB TwMale Gaze න්‍යාය ඉදිරිපත්කළ බ්‍රිතාන්‍ය ජාතික ලෝරා මුල්වි (Laura Mulvey)

එමෙන් ම මාතර යුගයේ 'අනුරාග මාලය' බඳු කෘති තුළ ස්ත්‍රිය හුදෙක් පිරිමියාගේ රති ආශා පිනවන අක්‍රීය වස්තුවක් ලෙස නො ව, පුරුෂ දේහය සහ පුරුෂ ලක්ෂණ ස්වකීය නිරීක්ෂණයට මෙන් ම ආශාවට ලක්කරන කෙනෙකු ලෙස ස්ථානගත වීම ලංකා සාහිත්‍ය වංශයේ ඉතා ප්‍රගතිශීලී මානයකි. පීතෘමූලික සමාජ සදාචාර විසින් හිරකර තිබූ ස්ත්‍රී ලිංගිකත්වය සහ විරහ අත්දැකීම, ස්ත්‍රියක ගේ ම ආත්මීය කෝණයෙන් සහ ස්වාධීන නියෝජනයකින් ප්‍රකාශමාන වීම මෙහි ඇති විශිෂ්ටතම සංස්කෘතික ලක්ෂණය යි.

“පරසිදු තුනු රුවින් දිනූු ලක සලෙලු හට

වෙරි මුදු හිමි සඳුගෙ දඟ යුවළ සරි කොට

මොනරිඳු කර නො කියමි විගන බර දිට

නුපුබුදු තැඹිලි මල් යුවෙළක සිතෙනු මට”

(සිංහල මාල කවි සංග්‍රහය 144 පිටුව)

ස්වකීය වල්ලභයාගේ ජඞ්ඝා යුග්මය මයූර ග්‍රීවයකට නො ව නුපුබුදු තැඹිලි මල් යුවෙළකැ යි තමාට සිතෙන බව විරහිනිය කියයි.

“නුපුබුදු තැඹිලිම ල්

ඇගෙ දඟ යුගට මනක ල්

පැරද සැඟවුණු තු ල්

කොළපු ඇතුළට පිවිසි ඇම කල්”

(කාව්‍යශේඛර මහා කාව්‍යය 53 පිටුව)

මෙය කාව්‍යශේඛර කවියා විසින් සේනක පඬිතුමා ගේ මවගේ දඟ යුග වර්ණනා කිරීම උදෙසා ලියැවුණු කවියකි. අනුරාග මාලයේ විරහිනිය නුපුබුදු තැඹිලි මලට සම කරන්නේ සිය වරයාගේ දඟ යුග යි. එය කව්සේකරයෙහි ස්ත්‍රී වර්ණනාවක දී භාවිත කර ඇත.

මන් පුන් සඳ උවනත පිරි සිරි රඳන

මන් යොන් විලස සූසැට රති කෙළි දත් තන

පින්වත් මහිමි වටොරෙහි රැක ඒ පටින

රන් ටැන් අයුරු බඳිනා සලෙලුන් වරණ

මෙම කවිය ද 'අනුරාග මාලය' කෘතියේ එන ඉතා ශෘංගාරාත්මක මෙන් ම ස්ත්‍රී ආත්මීයතාව නිරූපණය වන ප්‍රබල පද්‍යයකි. මෙහි එන සංකේත සහ උපමා ස්ත්‍රීවාදී හා කාව්‍යමය කෝණයෙන් මෙසේ විග්‍රහ කළ හැකි ය.

පුරුෂයා අනංගයාට සම කිරීම (සූසැට රති කෙළි දත්) සුවිශේෂ ය. මෙහි "මන් යොන්" යන්නෙන් අදහස් වන්නේ අනංගයා යි. සිය හිමියා (ප්‍රියයා) හුදෙක් සාමාන්‍ය පිරිමියෙකු නො ව, අනංගයා මෙන් සූසැට රති කෙළි ශාස්ත්‍රයෙහි නිපුණ අයෙකු ලෙස ස්ත්‍රිය විසින් වර්ණනා කරනු ලබයි.

 

ප්‍රගතිශීලී ලක්ෂණ

පීතෘමූලික සමාජයක් තුළ ලිංගිකත්වයේ දැනුම සහ වින්දනය පිරිමියාට පමණක් සීමා වූ දෙයක් ලෙස සැලකුව ද, මෙහි දී ස්ත්‍රිය තමන් ලැබූ ලිංගික තෘප්තිය සහ පිරිමියාගේ රති නිපුණතාව විවෘත ව අගය කර තිබීම ප්‍රගතිශීලී ලක්ෂණයකි.

මුහුණ පුන් සඳට සම කිරීම (පුන් සඳ උවනත) අනෙක් වෙසෙස් කරුණ යි.

සම්ප්‍රදායික කාව්‍යවල ස්ත්‍රිය ගේ මුහුණ පූර්ණ චන්ද්‍රයාට සම කිරීම වඩාත් ම සුලභ උපමාව යි.

පිරිමි කවීන්, ස්ත්‍රිය ගේ රූපශ්‍රීය වර්ණනා කිරීමේ දී ඇගේ මුහුණ පූර්ණ චන්ද්‍රයාටත්, තොල් බිම්බ ඵලයටත්, පියයුරු රන් කුඹු හෝ හංසයන්ටත් සම කිරීම සාමාන්‍ය රීතිය විය.

නමුත් මෙහි දී ස්ත්‍රිය ප්‍රකාශිකාව වී, තමා ගෙන් වෙන් ව ගිය පුරුෂයා ගේ රූපකාය වර්ණනා කිරීමට එම සම්ප්‍රදායික උපමාව ම භාවිත කරයි. මෙහි දී පුරුෂයා ගේ ප්‍රභාෂ්වර භාවය සහ සෞන්දර්යය දැක්වීමට "මන් පුන් සඳ උවනත" යනුවෙන් ඔහුගේ වත සඳට සම කරයි. එබැවින් සාමාන්‍යයෙන් එය ස්ත්‍රිය උදෙසා යෙදෙන උපමාවක් වුව ද, මෙම කාව්‍යය තුළ ස්ත්‍රියක විසින් පිරිමියකු ගේ රූපය සෞන්දර්යාත්මක ව වර්ණනා කිරීම සඳහා එම උපමාව ආපසු පිරිමියා දෙසට යොමු කිරීම ඉතා ප්‍රගතිශීලී කාව්‍යමය සංකල්පයක් ලෙස හඳුනාගත හැකි ය.

 

පුරුෂ වර්ණනය

පුරුෂයාගේ වටොර රන් ටැඹකට (රන් ටැන්) සම කිරීම තවත් විශේෂත්වයකි.

මෙහි "රන් ටැන් අයුරු බඳිනා සලෙලුන් වරන" යන්නෙන් අදහස් වන්නේ, සලෙළුන් අතර ශ්‍රේෂ්ඨ වූ සිය හිමියාගේ කළවා රත්තරන් ටැඹකට (රන් කණුවකට) සම කිරීම යි.

  • Female Gaze (ස්ත්‍රී දෘෂ්ටිය): සාම්ප්‍රදායික කාව්‍යවල ස්ත්‍රී ශරීරයේ අංගප්‍රත්‍යංග පිරිමි කවීන් විසින් වර්ණනා කළ ද, මෙහි දී ස්ත්‍රිය විසින් පුරුෂයා ගේ වටොර රත්තරන් ටැඹකට සම කරමින් ස්වකීය ආශාවේ වස්තුවක් ලෙස ප්‍රති-වර්ණනාවක යෙදෙයි.

රති සුවය සහ විරහවේ මතකය (රැක ඒ පටින) පින්වත් වූ සිය හිමියාගේ උකුළෙහි/කළවෙහි (වටොරෙහි) රැඳෙමින් අතීතයේ ලැබූ ඒ රති කෙළි සුවය සහ ආලිංගන ඇය නැවත සිහිපත් කරන්නී ය. වෙන් ව ගිය ප්‍රියයා නැවත සිහිපත් වන විට, අතීතයේ විඳි ශාරීරික හා මානසික සුසංයෝගී භාවය ඇගේ සිත තුළ විරහ වේදනාව තවත් තීව්‍ර කරයි.

  • ලිංගික තෘප්තිය සහ රති කෙළි පිළිබඳ ස්ත්‍රියකට ඇති විවෘත අයිතිය මෙයින් පෙනී යයි.
  • පුරුෂ දේහය, මුහුණ සහ රූපය ස්ත්‍රී ඇසින්/ආශාවෙන් වර්ණනා කිරීම.
  • පීතෘමූලික තහංචි හමුවේ තමන් ලැබූ ලෞකික වින්දනය බියක් නොමැති ව කාව්‍යයට නැඟීම. යන කාරණා මෙම නිදසුන්වලින් තහවුරු වෙයි.

 

ස්ත්‍රිය සහ පුරුෂයා අතර සම්භෝගයෙහි උත්කර්ෂය

මනා සුවඳ ගාගෙන සිට දෙදෙන වෙර

තනා තිබු ඉඹුල් කා පුසුම ගරු තර

උනා සුමුදු ගත ඇඳි වත් ඉවත් කර

සිනා මුකුළු සහ සිප බඳ තුරුල් කර

දෙතන මැද යුගැස මුල මුව දී වුවන

අතින රහස අල්ලා රතදර බොමින

ලමින අටෙකරැවු වටොරෙහි ඉඳු වමින

සොඳින සුරති කෙළියෙහි සපැමිණ දෙදෙන

 

ඇනලා පහර තද කර තුඟු නෙත අතුරු

දීලා තරක හිමි උණු කෙරුවෙන් සිරුරු

වීලා උමතු රාගෙන් ලද තුනු සිරුරු

පෑලා සුසැට මායම් රති කෙළින යුරු

 

මන් සරොසින් දුදනන් බස් ගෙන නපුරු

වෙන් ව ගියත් මෙතුවක් කල් නුඹ සොඳුරු

දුන් සැප සිහි ව උන්නෙමි විලස තපසරු

ඉන් වෙන කත නොපතමි දිවි තිබෙන තුරු

ඉහත කවිවලින් මුල් කවි තුන මගින් ස්ත්‍රිය සහ ඇය වෙත නැවත පැමිණි පුරුෂයා අතර ඇති වන සම්භෝගය උත්කර්ෂයට නංවයි. කවිවල යෙදී ඇති අතීත කාල ක්‍රියා පද සහ වර්ණනා රටාව දෙස බලන විට, ඒවා ස්ත්‍රියකගේ හෝ පුරුෂයාගේ තනි ආත්ම - කථනයකට වඩා නැවත හමු වූ පෙම්වතුන් යුවළ ගේ සංසර්ගය නිරීක්ෂණය කර විස්තර කරන බාහිර කථකයකු ගේ විස්තරයක් ලෙස සැලකීම වඩාත් සුදුසු ය.

මේ සම්භෝග වර්ණනාවෙහි ගීත ගෝවින්දයේ සහ කාම සූත්‍රයේ ඇසුර ප්‍රකට ව පෙනේ.

 

පියඹ ගේ සෞන්දර්යය සහ රති නිපුණතාව

පුරුෂයා සිය සිරුරේ උණුසුම සහ ලිංගික ප්‍රවේගය ලබා දෙමින් ස්ත්‍රිය ගේ ශරීරය උණුසුම් කරවයි. එනම් පුරුෂයා ස්වකැමැත්තෙන් ම ස්ත්‍රී ශරීරය සක්‍රිය ප්‍රපංචයක් බවට පත් කරනු ලබයි. සංසර්ගය අවසන් වූ පසු, පිරිමියා සිය පියඹ ගේ සෞන්දර්යය සහ රති නිපුණතාව අගය කරමින් ඇයට පවසන ප්‍රකාශයක් පහත කවියෙහි එයි.

"ඉඳ වටොරෙහි පියඹුව ලෙස ගෙල නීල

මඳ හසකර පෑ දළ වැනි මුතු මාල

බැඳ ඉඳුරන් පස රති සැප දෙන ලීල

ළඳ නුදුටිම් ගෑනු නුඹ ලෙස මනමාල"

ඇය ලිංගික කාර්යයේ යෙදෙන්නේ කිසියම් පීඩනයකින් හෝ අකමැත්තකින් හෝ නො ව, ස්වකීය ආශාවෙන් සහ උමතු වූ රාගික උද්යෝගයකින් යුතු ව ය. රති කෙළිය නිමා වූ වහා ම, ප්‍රියයා සිය ප්‍රියාව අමතා "ළඳුනි, නුඹ මෙන් රති කෙළියෙන් මත් වූ, මෙතරම් සැප දෙන වෙනත් කිසිදු ගෑනියක මා දැක නැත" යනුවෙන් සෘජු ව ම ඇයට පවස යි.

පුරුෂයාගේ මෙම ප්‍රකාශයෙන් ද ස්ත්‍රිය ලිංගික කාර්යයේ දී දැක්වූ අසමසම සක්‍රිය භාවය සහ නිපුණතාව නැවත තහවුරු වේ.

'අනුරාග මාලය' තුළ, පිරිමියා සූරාකන හෝ අතහැර දමන ලෞකික අවකාශය තුළ, ස්ත්‍රිය හුදෙක් අක්‍රිය ලිංගික වස්තුවක් පමණක් නො ව තමන් ගේ පෞද්ගලික වේදනාව සහ ආවේගාත්මක ශ්‍රමය සලකුණු කරන සැබෑ මනුෂ්‍ය ආත්මයක් ලෙස පෙනී සිටි යි.

 

ස්ත්‍රී කෝණයෙන් කෙරෙන තියුණු අභියෝග

පීතෘමූලික පුරුෂ හැසිරීම් පිළිබඳ ස්ත්‍රී විවේචනය සලකා බැලුවහොත් රැඩිකල් ස්ත්‍රීවාදී ආකෘතිය තුළ එන Female Agency (ස්ත්‍රී ක්‍රියාකාරීත්වය) සහ (ස්ත්‍රී සාමූහිකත්වය) යන සංකල්ප මෙම කාව්‍යයේ වඩාත් ම ශාස්ත්‍රීය ලෙස මතු වන තැන යි. පිරිමින්ගේ තාවකාලික ආදරය සහ බොරු පොරොන්දු පිළිබඳ ව ස්ත්‍රී කෝණයෙන් කෙරෙන තියුණු අභියෝග මෙහි අඩංගු වේ.

"සිත යට තිබෙන තෙක් පිරිමින්ගෙ සෙනෙහස

යන විට මදව පෙර නුඹ නාරිමි දිගැස

බොරුවට සපත කර ඉඳ එක පණ විලස

සිහියට පමණ නොගනිත් වෙන් වුණු දවස"

පිරිමින්ගේ වාචික සහ ආවේගාත්මක වංචනික බව අත්විඳින ස්ත්‍රිය, ඒ පිළිබඳ ව තනි ව ම ළසෝ තැවුල් නොවී අන් ස්ත්‍රීන්ට පවා අවවාද කරමින් පීතෘමූලික සමාජයේ පිරිමි ආධිපත්‍යයේ අඳුරු පැත්ත විවේචනය කරයි. මෙහි දී ස්ත්‍රී සාමූහිකත්වය හරහා පීතෘමූලික හැසිරීම්වලට එරෙහි ස්වාධීන හඬක් ගොඩනැගේ.

 

ස්ත්‍රී ආත්මීයතාවේ ප්‍රගතිශීලී සහ නිදහස් ස්වරූපය

මේ අනුව "අනුරාග මාලය" යනු හුදෙක් ශෘංගාරය අලෙවි කළ කාව්‍යයක් නො වේ. එය මාතර ලෞකික කාව්‍ය සංස්කෘතිය තුළ පැවති Male Gaze එක සහ ලිංගික ආශාවන් විවෘතව ප්‍රකාශ කරන අතරම, පීතෘමූලික සමාජ තහංචි හමුවේ ස්ත්‍රියගේ විරහව, ආත්මීයතාව (Female Subjectivity) සහ පිරිමි ආධිපත්‍යයට එරෙහිව ඇය නැඟූ ස්වාධීන කතෲත්වය (Female Agency) ශාස්ත්‍රීයව තහවුරු කරන ප්‍රබල ප්‍රාථමික මූලාශ්‍රයකි.

අනුරාග මාලය යනු සිංහල කාව්‍ය වංශයේ ස්ත්‍රී නිරූපණය පිළිබඳ සංකේතාත්මක සංධිස්ථානයකි. විරහව, නැවත එක්වීම, සහ සංසර්ගයෙන් පසු අගය කිරීම යන සංකීර්ණ නාට්‍යමය ආකෘතිය තුළින් දිගහැරෙන මෙම පෙළෙහි, ස්ත්‍රිය හුදෙක් පීතෘමූලික ආශාවන්ගේ අක්‍රීය වස්තුවක් නො ව, රති කෙළිය සක්‍රීය ව මෙහෙයවන කෙනකු ලෙස ස්ථානගත වේ. පිරිමියා ගේ පැමිණීමෙන් පසු සිදු වන රති සංසර්ගයේ දී ඇය දක්වන සක්‍රිය භූමිකාවත්, එය පිරිමියා විසින් ම උසස් කොට අගය කිරීමත් මගින් සම්ප්‍රදායික Male Gaze සංකල්පය ආපසු කැරකැවීමට ලක්වන අතර, මාතර යුගයේ ස්ත්‍රී ආත්මීයතාවේ ඇති ප්‍රගතිශීලී සහ නිදහස් ස්වරූපය මෙයින් අසමසම ලෙස සංකේතවත් වේ.

 

Saadhya Kodithuwakku 02.jpg

 

 

 

 

සධ්‍යා කොඩිතුවක්කු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න